( ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ සමඟ සාකච්ජාවක්)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී යහපාලනය ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම නීතියේ ස්වාධිපත්‍යය ඇතිකරලීම යනාදිය පිළිබඳව රටේ සුවිශාල අවධානයක් යොමුවුණා. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධවද විශාල කතාබහක් ඇතිවුණා. නමුත්, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තරමටම වැදගත් වන රටේ හතරවන ආණ්ඩුව ලෙසද සැලකෙන ජනමාධ්‍ය කෙරෙහි එහිදී ප්‍රමාණවත් අවධානයක් යොමුවුණේ නැහැ.
ජනාධිපතිවරණයෙන් පසුව පවා ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි, ඉරිදිගමන පිළිබඳව පුළුල් කතිකාවක් රට තුළ ගොඩනැගුනේ නැහැ. එය බරපතළ අඩුපාඩුවක්.
පසුගිය කාලයේ ජනමාධ්‍යයේ හැසිරීම පිළිබඳ විවිධ චෝදනා හා විවේචන එල්ල කෙරුණා. නමුත් ජනමාධ්‍ය එවැනි චෝදනා ලබන තත්ත්වයකට ඇදවැටුනේ කුමන හේතුවකින්දැයි සොයා බැලීමට කිසිවකු විධිමත් පියවරක් ගනු ලැබුවේ නැහැ.
නමුත් එම හේතු සාධක සොයා බැලීම විවේචන හා චෝදනාවන්ට වඩා වැදගත් වනවා. ඒ අනුව මේ මොහොත, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට සුදුසුම මොහොතක් වන බව මගේ අදහසයි.
ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන ජාතික සමුළු ලේකම් කාර්යාලය ස්ථාපිත කළේ එම අරමුණ සහිතවයි.
කොළඹ විශ්වවිද්‍යාලයත්, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඇතුළු ආයතන කිහිපයක් එකට එක්ව දැනට මාස 3කට පෙරයි මෙම ලේකම් කාර්යාලය පිහිටවූයේ. මේ හරහා අප ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කතිකාව ආරම්භ කළා.
අප මෙහිදී ලෝක තත්ත්වයන්ද අවධානයට ලක් කළා. ඒ අනුව ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනය, ජනමාධ්‍ය සංවර්ධනය පිළිබඳ දර්ශක ක්‍රමවේදයක් කෙරෙහි අපගේ අවධානය යොමුවුණා. වඩාත් සරලව කිවහොත් එය රටක ජනමාධ්‍ය සංවර්ධනය කළ යුතු ආකාරය සොයා බැලෙන ක්‍රමවේදයක්. මෙම ක්‍රමවේදය අප අපගේ මාර්ගෝපදේශය ලෙස තෝරා ගත්තා.
එම ක්‍රමවේදයට අනුගත වෙමින්, සිවිල් සංවිධාන, රාජ්‍ය ආයතන හා ජනමාධ්‍ය ආයතනවල විවිධ කොටස් නියෝජනය වන පරිදි 30 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කණ්ඩායමක් තෝරාගෙන අප විමර්ශන දියත් කළා.
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව එම විමර්ශනයන් දියත් කළ ආකාරය පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහොත් ?
ඔව්, මෙහිදී අප අංශ කිහිපයකින් අපගේ විමර්ශනයන් හා දත්ත එක්රැස් කිරීම් ඉදිරියට ගෙනගියා. අප සාහිත්‍ය විමර්ශනයන් සිදුකළා. විවිධ වාර්තා අධ්‍යයනය කළා. මාධ්‍ය ආයතන හිමිකරුවන්, නීතිඥවරුන්, දේශපාලනඥයින් ආදි විවිධ කොටස් සමග සම්මුඛ සකච්ඡා පවත්වා මෙරට ජනමාධ්‍ය පිළිබඳ වත්මන් තත්ත්වයන්ට අදාළ විවිධ දත්ත හා තෙරතුරු ලබාගත්තා.
එසේම මහජනතාව, ජනමාධ්‍ය පිළිබඳව සිතන ආකාරයත් ඉතා සියුම්ව විමර්ශනය කළා. මේ දත්ත සියල්ල එක්රැස්කර විධිමත් විශ්‍ලේෂණයන්ට භාජනය කරලීමට අප දැනටමත් පියවර ගනිමින් සිටිනවා. තවමත් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වනවා. සියලුම දත්ත විශ්‍ලේෂණය සඳහා වසරක පමණ කාලයක් ගතවේවි.
ඒ හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු වන ලෙස, මේ රටේ ජනමාධ්‍ය සංවර්ධනය කළ යුතු ආකාරය හා ඊට අවශ්‍ය වටපිටාව සැකසීම පිළිබඳ නිර්දේශ හඳුනා ගැනීමට අප බලාපොරොත්තු වනවා.
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රධානතම ගැටලු ලෙස මෙම විමර්ශන හරහා හඳුනාගත හැක්කේ මොනවාද ?
ප්‍රධානතම ගැටලුව වන්නේ තවමත් ශ්‍රී ලංකාව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නිසිලෙස තහවුරු වී නොතිබිමයි. එම නිදහස තහවුරු වීමට සුදුසු වාතාවරණයක්ද රට තුළ නැහැ.
රටේ මාධ්‍ය හිමිකාරිත්වය තුළ ඒකාකාරී බවක් ගොඩනැගිලා ඇති බවක් පෙනෙනවා. මේ නිසා මාධ්‍ය තුළත් විවිධත්වය හීන වෙලා. රජයේ මාධ්‍යවල මෙන්ම පෞද්ගලික මාධ්‍යවලත් විවිධත්වයක් නැහැ.
ප්‍රජා මාධ්‍ය හා ජනතා සේවා මාධ්‍ය රටකට අවශ්‍යයි. නමුත් ඒවාට සුදුසු වාතාවරණයක් මෙරට තුළ ගොඩනැගී නැහැ. ඒවාට සුදුසු වාතාවරණයක් නීතිමය ලෙස රට තුළ ගොඩනැගිය යුතුයි. ජනමාධ්‍යය නිදහස ගොඩනැගීමට අදාළ මෙම කරුණු පිළිබඳව මෙරට ව්‍යවස්ථාව තුළට ඇතුළත් කළ යුතුයි.
එසේම මෙරට තුළ ගුවන් විදුලි හා රූපවාහිනී බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන්ද පවතින්නේ ආවෘත සංකීර්ණ ක්‍රමෝපායක්. එය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේදී ණාත්මක බලපෑමක් සිදුකරනවා.
ගුවන් විදුලි තරංග මාලා හා රූපවාහිනී සංඛ්‍යාත යනු සීමිත පොදු දේපළක්. ඒ අනුව ඒවා බෙදාදීමේදී ඉතා විවෘත පැහැදිලි නිර්නායක භාවිතා කළ යුතුයි. එසේම ස්වාධීන ආයතනයක් මගින් එම බෙදාදීම සිදුකළ යුතුයි.
මතෛක් මෙරට සිදුවුණේ, දේශපාලනඥයින් තම ගජ මිතුරන්ට මෙම තරංගමාලා හා සංඛ්‍යාත බෙදාදීමයි. රටේ මහජනතාවට අයිති, ඔවුන් විසින්ම කළමනාකාරණය කරන මහජන ප්‍රශ්න පිළිබඳ මැදිහත්වන, ව්‍යාපාරික අරමුණුවලින් තොර ස්වාධීන ජනතා මාධ්‍යයන් රටකට අවශ්‍යයි. ජනතාවට වගකියන එවැනි මාධ්‍යය සඳහා අවස්ථාව ලබාදීම වැදගත්.
අද (13) හා හෙට (14) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණ ජාතික සමුළුව තුළින් සිදුකෙරෙන කාර්යභාරය පිළිබඳව පැහැදිලි කළොත් ?
අපගේ විමර්ශනයන් හා දත්ත රැස්කිරීම් සාර්ථක කර ගැනීම සඳහා, මාධ්‍යවේදින්ගෙන්, මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් ඇතුළු ප්‍රධාන පාර්ශ්වයන්ගෙන් උපදෙස් හා අදහස් ලබාගැනීම තමයි අප මෙම දෙදින තුළ සිදුකරන්නේ. මෙය උපදේශාත්මක ජාතික සමුළුව ලෙස නම් කළොත් වඩාත් නිවැරදියි.
මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසකට අප ආරාධනා කර තිබෙනවා. එසේම විශේෂයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්ටත් අප මේ සඳහා ආරාධනා කර තිබෙනවා. ඒ සියලුම දෙනාගේ අදහස් අප දත්ත ලෙස එකතු කර ගන්නවා.
මේ සියලු දත්ත එක්රැස් කර ඉදිරියේදී අප, ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු වන ලෙස බහුවිධ හා බහුත්තවාදී ජනමාධ්‍ය කර්මාන්තයක් ඇතිකිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් සහිතවන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා. එයයි අපගේ අරමුණ හා ඉලක්කය.
රට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීමේදී රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වනවා නේද ?
ඔව් රජයේ හා දේශපාලනඥයින්ගේ මැදිහත්වීම මේ සඳහා ලබාගැනීමට අප විධිමත් වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. අපගේ වාර්තාව මත පදනම්ව කටයුතු කරන ලෙසට අප සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එසේම, තම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් තුළ මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තම ප්‍රතිපත්ති හා තීරණ ඇතුළත් කරන ලෙසද අප එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
රජය මේ වනවිට, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ඉදිරිපත් කරලීමට සූදානම් වනවා. මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට එය කෙලෙස බලපානු ඇතිද ?
ඉදිරිපත්වීමට නියමිතව ඇති මෙම පනත් කෙටුම්පත හරහා මෙරට ජනමාධ්‍ය නිදහස සියයට සියයකින් ස්ථාපිත වනු ඇතැයි සිතිය නොහැකියි. එසේම එය මෙරට ජනමාධ්‍යය ක්ෂේත්‍රයේ සියලු ගැටලුවලට පිළිතුරු සපයනු ඇතැයිද විශ්වාස කළ නොහැකියි. නමුත්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කුමන හෝ පනතක්, ඉදිරිපත්වීම රටක මාධ්‍ය නිදහස තහවුරුවීමට ධනාත්මක බලපෑමක් එල්ල කරන බව නම් ප්‍රකාශ කළ යුතුයි.
කෙසේ නමුත් මෙම පනත පිළිබඳව තවමත් මෙරට මහජනතාව නිසි ලෙස දැනුවත් කර නැහැ. මෙවැනි පනත් සැකසීමේදී වඩාත් විවෘත හා විනිවිද පෙනෙන ආකාරයකට එය සිදුවිය යුතු බව මගේ අදහසයි. එසේම මෙවැනි පනත් හා ප්‍රතිපත්ති සම්පාදනයේදී මහජනතාවගේද අදහස් ලබාගනිමින් ඔවුන්ගේ සහභාගිත්වයද ඒ සඳහා ලබාගත යුතුයි.
ඔබලා පූර්ණ අවධානය යොමුකර ඇත්තේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳවයි. නමුත් ජනමාධ්‍යයන්හි ඇතැම් කටයුතු හේතුවෙන් මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාද තිබෙනවා නේද ?
ඇත්තෙන්ම එය ඉතා වැදගත් කරුණක්. ඒ නිසාම අප ඒ පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ජනමාධ්‍යවේදීන් සඳහා විධිමත් ආචාරධර්ම පද්ධතියක් ගොඩනැගීම මීට ප්‍රධානතම විසඳුමක් ලෙස හඳුනාගත හැකියි. නමුත් මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කළ යුත්තේ රජය හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් නොවේ. එය වෘත්තීය ජනමාධ්‍යවේදීන් විසින්ම සකසා ගත යුතුයි. ඔවුන් ඒ පිළිබඳව නිශ්චිත එකඟතාවයකට පැමිණිය යුතුයි.
එසේම මෙසේ සකසා ගනු ලබන ආචාරධර්ම පද්ධතිය, මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින්ද පිළිගත යුතුයි. එසේ නොමැතිනම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකියි. ඒ අනුව එම ආචාරධර්ම පද්ධතීන් ආයතන තුළ නීතිගත විය යුතුයි. කර්තෘ නිදහස ආරක්ෂා කරලීම සඳහාද මෙය වැදගත් වනවා.
එසේම මෙම ආචාරධර්ම සුරක්ෂිත කරලීමේදී වෘත්තීය මාධ්‍ය සංවිධාන ශක්තිමත්ව තිබිමද ඉතාමත් වැදගත් වනවා. පුවත්පත් පැමිණිලි කොමිසමත් දැනට වඩා ශක්තිමත් විය යුතුයි. පැමිණිල්ලක් ඉදිරිපත් කළත් නැතත් මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනි යමක් සිදුවූ විට ඒ සඳහා මැදිහත් වීමට පුවත්පත් පැමිණිලි කොමිසමට හැකියාව ලැබිය යුතුයි.
පුවත්පත් පැමිණිලි කොමිසම වැනි ආයතනයක් විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන්ද ස්ථාපිත වීම වැදගත්. මාධ්‍ය ආචාර ධර්මයන්ට බොහෝවිට හානි සිදුවන්නේ මෙම විද්‍යුත් මාධ්‍ය හරහායි. ඒ අනුව එම තත්ත්වයන් පාලනය කරලීමට ස්වයං විවේචනාත්මක සංවිධාන ව්‍යුහයක් අවශ්‍යයි.
අන්තර්ජාලය හා ඊට සමගාමී සමාජ මාධ්‍ය හරහා සමස්ත ලෝකයේම ජනමාධ්‍ය දැවැන්ත පෙරළියකට ලක්වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවටත් මෙහි බලපෑම මේ වනවිට දැනෙන්ට පටන්ගෙන තිබෙනවා.
ඇත්තෙන්ම අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක මෙම සමාජ මාධ්‍ය අද ශ්‍රී ලංකාව තුළත් ඉතාමත් ප්‍රබල තත්ත්වයකට පැමිණෙමින් තිබෙනවා. එය රටක ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගමනටය ධනාත්මකව බලපානවා. මෙම සමාජ මාධ්‍ය තුළින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටද ශක්තියක් ලබාදෙනවා.
එසේම මේ හරහා මතෛක් ජනමාධ්‍යවේදියා හා ජනමාධ්‍ය ආයතනය වෙත කේන්ද්‍රගතව තිබූ ජනමාධ්‍යයක් වෙනුවට පොදු පාඨකයා කේන්ද්‍ර කරගත් ජනමාධ්‍යයක් බිහිවෙමින් පවතිනවා. මේ හේතුව නිසාම මතෛක් කලක් මාධ්‍යවේදියාට හෝ මාධ්‍ය ආයතනයකට හිමිව තිබූ බලය පොදු පාඨක ප්‍රජාව වෙත ලැබෙමින් පවතිනවා. එය යහපත් ප්‍රවණතාවයක්. පුවතක අන්තර්ගතය පාලනය කිරීමේ බලය පවා මෙම සමාජ මාධ්‍ය හරහා පාඨකයාට ලැබි තිබෙනවා.
කෙසේ වෙතත්, නිශ්චිත පාලනයකින් තොරවීම නිසා මෙම සමාජ මාධ්‍ය හරහා සමාජයට අහිතකර වූ දේද සිදුවනවා. ඒ පිළිබඳවත් ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි. විශේෂයෙන්ම මෙම සමාජ මාධ්‍ය පාලනය කිරීමේ බලය ජනතාව සතුව ඇති බැවින් මෙවැනි සමාජ විරෝධී හා සමාජයට අහිතකර දේ මෙම මාධ්‍ය හරහා ප්‍රචාර වීම වැළැක්වීමේ වගකීමද පැවරෙන්නේ ජනතාවටයි.
– පැතුම් වික්‍රමරත්න/ ලක්බිම