Friday, April 26, 2024

වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්‍රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය

වීන ඔත්තු සේවා ඒජන්තයින්ට රජයේ විරුද්ධවාදින් යැයි සැළකුණු පිරිස් නොදැනෙන පරිදි ඝාතනය කිරීම පිණිස සුවිශේෂ ඉදිකටු වර්ගයක් සියම් බටයක අධාරයෙන් ඉතා වේගයෙන් විදීමට පුහුණු කර තිබූ බව කියනු ලැබේ. ඇමෙරිකානු සිඅයිඒ ඔත්තුකරුවෝ නයි විශ විදින පිස්තෝල ද ආසනික් වස පෙවූ මුදු ද සිය විරුද්ධවාදීන් ඝාතනයට යොදා ගත්හ. රුසියානු රාජ්‍ය ඔත්තුකරුවෝ 2006 තරම් මෑතදීත් විකිරණ විස කැවීමෙන් ලංඩනයේ දී සිය විරුද්ධවාදියකු ඝාතනය කළහ. අපේ ශ්‍රී ලංකාව දැන් ඒ සියලු උපක්‍රමයන් පරදවයි. මෙරට ජනාධිපතිවරයාට වෙඩි තැබීමට ගෙන යන්නේ වතුර බෝතලයකි.

පොලිසිය කියන්නේ ජනාධිපති සිරිසේනට වෙඩි තැබිය හැකි මානයට පැමිණි නාමල් රාජපක්ෂගේ ආරක්ෂක හමුදා සොල්දාදුවා ළඟ උන්ඩ පිරවූ පිස්තෝලයක් තිබූ බවයි. නාමල් රාජපක්ෂ දිවයිනට කීවේ එම සොල්දාදවා ළග තිබුණේ වතුර බෝතලයක් පමණක් බවයි. මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ එම හමුදා භටයා සිය පිස්තෝලය ජීප් රථයේ රියැදුරුට බාර දුන් අතර ඔහු රුස්වීම් භුමිය ඇතුළට නොගිය බවයි. පොලීසිය, පියා සහ පුතා කියන්නේ කතා තුනකි.

මේ කතාවත් හරියට විරවංශ පවුලේ හොර විදේශ ගමන් බලපත්‍ර සිදුවීම වැන්න. එම ගමන් බලපත්‍ර ගැනීමට ඉදිරිපත් කල හොර ලියැවිලි ආගමන විගමන දෙපාර්ථමේන්තුවෙන් අතුරුදහන් වී තිබේ.ඒ වෙනුවට එහි දැන් තිබෙන්නේ එම හොර ගමන් බලපත්හි ඇති හොර උපන්දින නිවැරදි කරන සේ විරවංශ විසින් කල්තබා යවන ලදැයි කියන ලිපියකි. නඩු දැමිමට අවශ්‍ය කැරෙන ලියැවිළි නැති වී විරවංශ නිදොස් කැරෙන ලිපියක් පමණක් ඉතිරි වී තිබේ.

පුදුමයි! ඒත් ඇත්ත ය!!

අන්තිමේ දී සිදුවනු ඇත්තේ පිස්තෝලය වතුර බෝතලයක් වී සැකකාර ඝාතකයා නිදොස් කොට නිදහස් කිරීම වුව හොත් අප පුදුම විය යුතද?

මෙමගින් අපට පෙනෙන්නේ කුමක් ද? රාජපක්ෂ ජන්දයෙන් පැරදුණු නමුත් රාජපක්ෂ විසින් කවා පොවා ඇති දැඩි කළ දූෂණයේ සහ භීෂණයේ යාන්ත්‍රණය තවමත් එළෙසම පවතින හැටි ය. එම රාජපක්ෂවාදී භීෂණ – දූෂණ යාන්ත්‍රණය ජනාධිපති සිරිසේන වටා දැන් කඳවුරු බදිමින් සිටී. ජනවාරි 08 දා සිදුවූ බවට විදේශ ඇමැතිවරයා කළ පැමිණිල්ල වළ දමනු ලැබුවේ නීතිපති සහ පොලිස්පති විසිනි. ජනමාධ්‍ය වාර්තා දක්වන්නේ එම කුමන්ත්‍රණයට අවශ්‍ය පරිදි යුද හමුදා සේනාංක කොළඹ ස්ථාන ගත කළ බවට චෝදනා ලද එවකට සිටි යුද හමුදාපතිවරයා දැන් තානාපතිධුරයකින් පුද ලබන්නට යන බවයි. රාජපක්ෂගේ කුටෝපා මාධ්‍ය මෙහෙයුම් බාරව සිටි පිරිස් ජනාධිපති කාර්යාලයේ ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේ ද තවම ඉහළ පුටුවල වැජඹෙති. ජනාධිපතිවරණ සමයෙහි මෛත්‍රීපාල සිරිසේන දරුවකු පැහැරගෙන ගොස් සඟවා ඇතැයි යනුවෙන් කළ බොරු ප්‍රචාරයක් ගෙතූ වසළ දේශපාලනඥයා දැන් ජනාධිපතිගේ පක්ෂයේ ප්‍රකාශකයා ය. රාජපක්ෂගේ නිල ජායාරූපවේදියා සිරිසේනගේ යටතේද එම ධුරයම දරයි.

පුදුමයි! ඒත් ඇත්ත ය!!

ජනාධිපති සිරිසේන ඝාතනය කිරීම සඳහා නිදහස් දින යුද හමුදා පෙළපාළිය අතර තුර සැලැස්මක් තිබූ බවට ඒ දිනයන්හිම ඉංග්‍රිසි පුවත් පත් ගණනාවක්ම වාර්තා කළෝ ය. ඊට අනුව එම සැළැස්ම වුයේ එකවරම කඩා වදින යුද හමුදා ට්‍රක් රථයකින් බිමට පනින සොල්දාදුවන් කණ්ඩායමක් විසින් දිගට හරහට වෙඩි තැබිම ය. ජනාධිපතිවරණය දා තමන් ඝාතනය කැරෙනු ඇතැයි බියට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා රැය ගත කළේ රනිල් වික්‍රමසිංහ විසින් සකස්කරන ලද සැළසුමට අනුව කුරුනෑගල පොල්වත්තක ය.

එකී ඝාතක සැලසුම් දැන් අහවරද?

රටෙහි සිදුවන සියළු දේශපාලන වෙනස්කම් අතරවාරයේ මහින්ද රාජපක්ෂ ඉන්දියානු පුවත්පතකට අපූරු කතාවක් කීවේ ය. එනම් තමා පවා දෙනු ලැබූයේ තමාගේ නිල කාලය පුරාම ආරක්ෂාව බාරව සිටි පොලිස් ප්‍රධානියා (ඔහු ජනවාරි 08 දා රාජපක්ෂ සමඟ හෙළිකොප්ටරයෙන් හමබන්තොටට පවා ගියේ ය) සහ තමාගේ ප්‍රධාන කෝකියා විසින් බවයි. මේ වනාහී අපුරු කතාවකි. ඊටත් වඩා අපූරු කතාව නම් එම පුද්ගලයින් දෙදෙනා ජනාධිපති සිරිසේන යටතේ ද එම තනතුරුම දැරීම ය.ආතක් පාතක් නැතිව හදිසියේම රාජපක්ෂට එවැනි කතාවක් කියන්නට සිත් දුන්නේ ඇයි? ෂර්ලොක් හොම්ස් සිටියා නම් එක එල්ලේම කියනු ඇත්තේ ජනාධිපති සිරිසේන මෙම දෙනොගෙන් ප්‍රවේශම් විය යුතු බවයි. රාජපක්ෂට අවශ්‍ය එම දෙදෙනා තමාගේ සතුරන් බව පෙන්වා ජනාධිපති සිරිසේනගේ ආසන්තම වළල්ලේ සිටුවීම නොවිය හැකි ද?

මේ අතර වාරයේ තවත් අපුරු දෙයක් සිදු විය. ඒ 19වන සංසෝධනය සම්බන්ධයෙනි. සංසෝධනය ගැන සාකච්ජා කරත්දී රාජපක්ෂ සට්ටැඹියකු වන ජි.එල්. පිරීස් සංසෝධනයක් ගෙන ආවේ ය. එනම් ජනාධිපතිවරයා අබල දුබල වීමක් හෝ හදිසි මරණයකට පත් වීමක් නිසා හෝ එම ධුරය හිස් වූ විට කතානායක වරයා වැඩ බලන ජනාධිපති ලෙස පත්විය යුතුය යන වගන්තිය අගමැතිවරයා ලෙස වෙනස් විය යුතුය යනුවෙනි. අගමැති රනිල් වික්‍රමසිංහ ඊට එකඟ විය. සමහර විට ජි.එල්. පිරිස් කල්පනා කරන්නට ඇත්තේ එලඹෙන මහා මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ අගමැති වනු ඇති බවත් කවරකු හෝ වතුර බෝතලකින් වෙඩි තබා ජනාධිපති සිරිසේන ඝාතනය කළ හොත් රාජපක්ෂ ජනාධිපති කර ගැනීමටත් ය. පුදුමයකට මෙන් දිනට පසු ජි.එල්. පීරිස් තමා ගෙන ආ සංසෝධනය ඉවත් කර කතානායකවරයාටම හදිසි තත්වයකදී ජනාධිපති තනතුර ලැබිය යුතු යැයි කියා සිටියේ ය. (එම යෝජනාව පිළි නොගැනුනි.) ජී.එල්. පීරිස්ගේ ස්ථාවරය වෙනස් වූයේ මහා මැතිවරණකට පෙරම වතුර බෝතලකින් වෙඩි තබා ජනාධිපති සිරිසේන ඝාතනය කළහොත් රාජපක්ෂවරයකුම වන කතානායකට ජනාධිපති තනතුර ලබා දීම නොවිය හැකිදැයි අසා තිබුණේ දැනුම් තේරුම් ඇති ජනාධිපති කවයේ ප්‍රධානියෙකි.

මෛත්‍රීපාල සිරිසේන සමඟ ජන්ද සටනින් පැරදුණු රාජපක්ෂ වනාහී තනි පුද්ගලයකු හෝ හුදෙක් පරාජිකා වූ දේශපාලනඥයින් කිහිප දෙනෙකු වට කර ගත් අයකු නොවන බව අප තේරුම් ගත යුතු ය. රාජපක්ෂ වනාහී දස වසරක ඔහුගේ පාලනය විසින් කවා පොවා පෝෂණය කරන ලද්දාවූ ද ඇති තරම් ගසා කෑමට ඉඩ සැලසීම මගින් ජාවාරම්කාරයින් බවට පත් කරන ලද්දාවූ ද අනීතික මැර බලය සිත්සේ යොදා විපක්ෂය මැඩළීමට පුහුණූ කරන ලද්දා වූ ද භීෂණයේ සහ දූෂණයේ දේශපාලන පංතියක භයංකාර නායකයා ය. මෙම දේශපාලන පංතියේ සහායක අංශ වන දූෂිත නිලධර තන්ත්‍රය ද භිෂක රාජ්‍ය ආරක්ෂක අංශ පිරිස් ද විසින් රාජපක්ෂ සළකනුයේ තම පැවැත්ම තහවුරු කරන නායකයා ලෙස ය. මෙවැනි බිය ජනක සහ මුල් බැසගත් බලවේගයක් හුදු ජන්ද බලයෙන් පැරද කර බා ගන්නේ නැත. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් එකී බලවේග යළි රාජ්‍ය බලය සියතට ගැනීමට උත්සාහ දරනු ඇත.

දශක ගණනාවක් බලයේ සිටි එකාධිපතියා විසින් පෝෂණය කරන ලද බලවේග විසින් මාලදිවයිනෙහි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් බලයට පත් ජනපති නෂීඩ් බලයෙන් පහ කර සිර ගත කරනු ලැබීම අපට ආසන්තම එවැනි නිදසුනකි. එය සිදු වූයේ හදිසියේ නොවේ. සැළසුම් සහගතව ය.

රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට දරන ප්‍රයත්නය අත්‍යන්තයෙන්ම බැදී ඇත්තේ ඉහත කී භීෂක සහ දූෂිත දේශපාලන පංතියේ බලය, ධනය සහ සම්බන්ධතා මතය. මේ සඳහා එකී බලවේග බිය ගැන්වීමේ සහ බා ගැනීමේ ඒකාබද්ධ මුලෝපායක් දැන් ක්‍රියාවට දමා තිබේ. ජනාධිපති සිරිසේන සමඟ කරන ලද සාකච්ජාවෙහිදී රාජපක්ෂ පිළ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන කොන්දේසියක් වූයේ රාජපක්ෂ සමයේ දූෂණ සෙවීම නතර කිරීම බව අප අමතක නොකළ යුතු ය. 

අප කව්රුත් දන්නා පරිදි රාජපක්ෂවරුන්ගේ පාලනය විසංවාදී අදහස් දරන්නන්ට අතින් පයින් ද වෛරී භාෂාවෙන්ද පහර දෙන ලයිසන් චන්ඩින්ගේ යුගයක් බවට පත්ව තිබුණි. ඒ එක් චන්ඩි කල්ලියක නායකත්වය ගත්තේ මෑත දී අත් අඩංගුවට පත් වාසුදේවගේ වෘත්තීය සමිතියක නායකයෙකි. විපක්ෂයේ සහ සිවිල් සංවිධනෙයන්ට එරෙහි පොලු හමුදාවක් සමඟ ඔහු ගමන් කරන ජායරෑපමය සාක්ෂි පවා තිබුණි. මැර භාෂාවෙන් සිය දේශපාලනය පෝෂණය කරන වීරවංශ සතුව ද එවැනි පොලු හමුදාවක් තිබූ බව ජනාධිපතිවරණ අවස්ථාවෙහි එජාප මුලස්ථානය වූ සිරිකොතට කල පහර දීමේ දී වීඩියෝ දර්ශණ මගින් ද සනාථ විය.

භීෂණයේ සහ දූෂණයේ දේශපාලන පංතියේ නායකයා ලෙස රාජපක්ෂ යළි බලයට ගෙන ඒම පිණිස දැන් විරවංශ සහ වාසුදේව විසින් ගොඩ නගමින් සිටින පෙරමුණෙහි දේශපාලන දුරාචාරය මෙකී බලවේගයන් අරමුණු සංකේතවත් කරයි.

වීරවංශ – වාසු කල්ලියේ මැරයෝ මැයි දිනය දා ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්‍ය කුමුදු කුසුම් කුමාරට පහර දුන්හ. ‘නිර්මාල්ට ගුටි ඇණලා රෝහලේ… පොලීසිය ප‍්‍රහාරකයා සොයයි’ වීරවංශ වෙබ් අඩවිය එම පුවත වාර්තා කළේ කිසිදු කණස්සල්ලකින් තොරව ජයග්‍රාහී විලාසයකිනි. පොලිසිය ද මැර පිරිස් අත් අඩංඟුවට ගත්තේ නැත.

වාසුදේව එම ප්‍රහාරය ප්‍රසිද්ධියෙහි හෙළා නොදැක්කා පමණක් නොව වහෙන් ඔරෝ භාෂාවෙන් එම ප්‍රහාරය සාධාරණ කරමින් ප්‍රකාශයක් ද නිකුත් කළේ ය. එහි වාසුදේව කියන්නේ ඉඩ ලද සෑම අවස්ථාවකම මහින්ද රාජපක්ෂ විවේචනය කළ ආචාර්‍ය දේවසිරි කිරුළපන රැළියේ දී තමාට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කළ යුතුව තිබූ බවය. ඒ අනුව රාජපක්ෂ විවේචනය කරන පිරිස් වලට පහරදීම සිය අනුගාමිකයින් සතු අයිතියක් බව වාසුදේව නොකියා කියයි. මේ තමා රාජපක්ෂ බලයට ගෙන ඒමේ දුරාචාර දේහපාලනය. එම පිළිවෙත ප්‍රසිද්ධියේ පිළිගැනීම ගැන වාසුදේවට අප ස්තුතිවන්ත විය යුතු ය‍. රාජපක්ෂ බලයට ගෙන ඒම යනු විරුද්ධවාදින්ට ප්‍රහාර එල්ල කිරීමේ දේශපාලනයක් බවට මීට වඩා මොන සාක්ෂිද?

රාජපක්ෂ බලයට ගෙන ඒම පණිස නුගේගොඩ පැවැත් වූ රැළිය අවස්ථාවෙහි ‘වීරවංශ- වාසු පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ’ යනුවෙන් අත් පත්‍රිකාවක් බෙදමින් සිටි සිවිල් කන්ඩායමකට පහර දී එළවා දමන ලද්දේ ඔවුන්ගේම මැර කල්ලි විසිනි. එම අවස්ථාවෙහි අත් අඩංඟුවට ගන්නා ලද මැරයින් දෙදෙනා ද පොලීසිය නිදහස් කළේ ය.

බලය නැති විට පවා මෙළෙස තමන්ගේ අදහස් විවේචනය කරන පිරිස් මැඩලීමට ක්‍රියා කරන රාජපක්ෂ යළි ගෙනඒමේ භීෂණයේ සහ දූෂණයේ බලවේගයයන්ට ජනවාරි 08 දා ඔවුන්ට බලය අත්වී නම් කුමක් වන්නට තිබුණි ද? එසේම රාජපක්ෂ අගමැති කරවීමේ එකී බලවේගයන්හි සැලැස්මට ජනාධිපති සිරිසේන බා ගත හැකි වුව හොත් කුමන තරමක භීෂණයක් සහ දූෂණයක් මුදා හැරෙනු ඇත් ද?

මේ වනාහී ජනවාරි 08 දා රාජපක්ෂ භීෂණය සහ දූෂණය පැරද වීමට පෙරමුණ ගත් සියලු බලවේග හමුවේ ඇති අද දවසේ ප්‍රශ්ණය වේ.

 

 

 

 

Archive

Latest news

Related news