Thursday, April 25, 2024

මට පහරදීම වාසුදේව අනුමත කරන බවක් පේනවා – ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි

තමාට සහ ආචාර්‍ය කුමුදු කුසුම් කුමාරට සිය මැයි රැළියේ දී පහර දීම සම්බන්යෙන් වාසුදේව නානායක්කාර විසින් නිකුත් කරන ලද පුවත් පත් නිවේදනය මගින් එම ප්‍රහාරය ඔහු විසින් ද අනුමත කරන බවක් පෙනෙන්නේ යැයි ආචර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි

වාසුදේව ඔහුගේ පුවත් පත් නිවේදනයෙන් කියා ඇත්තේ ‘ ඉඩ ලද සෑම අවස්ථාවකම ආචාර්‍ය දේවසිරි මහින්ද රාජපක්ෂට පැසිස්ට්වාදියකු යැයි ලේබල් අලවමින් විවේචනයේ යෙදුනු’බැවින් තමන්ගේ මැයි රැළියට පැමිණිය හොත් ගුටි කන්නට වන බව ආචාර්‍ය දේවසිරි දැන සිටිය යුතු වූ බවයි.

වාසුදේවගේ එම ප්‍රකාශයෙන් පෙන්නුම් කැරෙන්නේ විරැද්ධ මත දරන්නන්ට පහර දීම ඔහු ප්‍රතිපත්තියක් ලෙස පිළි ගන්නා බව දැයි ආචාර්‍ය දේවසිරි ප්‍රශ්ණ කරයි.

තමා දිර්ඝ කාලයක් තිස්සේ විවිධ දේශපාලන පක්ෂයන්හි රුස්වීම් නැරඹිමට යන බවත් එවැනි අවස්තාන්හිදි වාද විවාදයන්ට පවා පැටලී ඇති බවත් ඒ සිය දේශපාලන ක්‍රියාකාරිත්වයේ කොටසක් බවත් දේවසිරි ප්‍රකාශ කරයි.

අනං මනං නොකියා වාසුදේව නානායක්කාර කළ යුත්තේ එම ප්‍රහාරය නොපැකිළව හෙළා දැකීම බව ද දේවසිරි පවසා තිබේ. වාසුදේව නානායක්කාර සමඟ තමා දිර්ඝ කාලයක් එක්ව දේශපාලනය කළ බවත් ඔහුගේ පුවත්පතෙහි කතෘ වශයෙන් පවා තමා කටයුතු කළ බවත් පවසන දේවසිරි වාසුදේවගේ මෙම ස්ථාවරය සිය කණගාටුවට හේතුවක් බව ප්‍රකාශ කර තිබේ.

ආචාර්‍ය දෙවසිරි ඉහත කී අදහස් දක්වා ඇත්තේ ඩෙිලි මිරර් පුවත්පතට ය‍

Archive

Latest news

Related news