Thursday, April 25, 2024

19ට වෙස්සන්තර වූ මෛත්‍රී, මහින්දට බෙල්ල දී සිරිසඟබෝ වෙන එකක් නෑ! – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

1977ට පසු ශ්‍රී ල. නි. ප.ය සමරපු හොඳම මැයි දිනය සැමරුවේ 1994 මැයි පළමු වැනි දිනය. එදින මුළු කොළඹම නිල් පාටින් සරසා තිබුණි. මහජන ගංගාවක් ශ්‍රී ල. නි. ප. මැයි රැලියට ආහ. එකල බලයේ සිටි එ. ජා. ප. ආණ්ඩුව ප්‍රේමදාස ඝාතනයෙන් දුර්වල වී මැයි දිනයක් කළේ නැත. ඒ වෙනුවට එකල ජනාධිපති විජේතුංග මැයි දින සහන මල්ලක් ජනතාවට දුන්නේය. වෙනදාට මැයි දිනයේ කොළඹ හොල්ලන එ. ජා. ප.ය 1994 මැයි 1 වැනි විට හිටියේ අර්බුද ගොඩක් මැදය. 1994 මාර්තු පැවැති දකුණු පළාත් සභා ඡන්දයෙන් පරාජය වී පක්‍ෂ නායක ජනාධිපති විජේතුංග සහ පක්‍ෂ ලේකම් කුරේ පරාජයේ වගකීම එකිනෙකා පිට පටවමින් නිවේදන නිකුත් කරමින් සිටියහ. විජේතුංග, කුරේට පක්‍ෂ මහ ලේකම්කමින් ඉවත් වෙන්න කියා තිබිණි. දකුණු පළාත් සභා ඡන්දයේදී පක්‍ෂයට යළි ආ ගාමිණී සහ අගමැති රනිල් අතර ප්‍රශ්න ඇති වී තිබිණි. මේ අවුල් මැද්දේ එ. ජා. ප.යට මැයි දිනයක් තියා ගත නොහැකි විය. ශ්‍රී ල. නි. ප.ය එදා පැවැත්වූයේ ජයග්‍රාහී ආණ්ඩුව පිහිටුවන මැයි රැලියය.

එජාප මැයි රැැළිය සෙනගින් පිරී ගියේ ය
එජාප මැයි රැැළිය සෙනගින් පිරී ගියේ ය

ඒ වගේම එයට වසර 21කට පසු 2015 මෙවර මැයි දිනය 1994ට පසු එ. ජා. ප.ය පවත්වපු හොඳම මැයි දිනයය. කොළඹ කොළ පාටින් බබළමින් තිබිණි. මහජන ගංගාවක් එ. ජා. ප. මැයි රැලියට ආහ. 1994 මැයි දිනයේදී එ. ජා. ප.ය දුර්වල වී සිටියා සේ මෙවර ශ්‍රී ල. නි. ප.ය දුර්වල වී තිබිණි. ශ්‍රී ල. නි. ප.ය දුර්වල වී තිබුණේ මහින්ද ජනාධිපතිවරණය පරාජය වීමත්, ඔහු වෙනම සන්ධානයක් හදාගෙන ඒ සන්ධානයේ මැයි රැලියක් කිරුළපන පැවැත්වීමත් නිසාය. මෛත්‍රි ශ්‍රී ල. නි. ප. ශක්තිය පෙන්වන්න මහින්දට ශ්‍රී ල. නි. ප. මැයි රැලියට ආරාධනා කර තිබුණත් ඔහු ඒ ආරාධනාව ප්‍රතික්‍ෂේප කොට ශ්‍රී ල. නි. ප. මැයි රැලියටත්, කිරුළපන මැයි රැලියටත් ප්‍රකාශ දෙකක් යවා තිබිණි.

1994 ශ්‍රී ල. නි. ප.ය නැඟිට්ටේ විජේතුංග – කුරේ ගැටුමෙන් අලියා හතර ගාතෙන් ඇදගෙන වැටෙද්දීය. අලියා අවුරුදු 21කට පසු අද නැඟිට ඇත්තේ මෛත්‍රි – මහින්ද ගැටුමෙන් ශ්‍රී ල. නි. ප. ය දෙකඩ වෙද්දීය.

2015 මැයි පළමු වැනි දින අලියා නැඟිටපු නැඟිටිල්ලට බයේ එදිනම මෛත්‍රි සහ මහින්ද එකට එකතු කරන්න මෛත්‍රිගේ කණ්ඩායම සහ මහින්දගේ කණ්ඩායම කතිකා කර ගත්හ.

මහින්ද ජනාධිපති ධුරයේ සිටියදී මෛත්‍රිව අවසන් වරට හමු වුණේ පක්‍ෂ මහලේකම් ලෙස තමන්ට කරන කුඩුකේඩුකම් සහ කෙනහිලිකම් ගැන මෛත්‍රිගේ දුක් ගැනවිල්ල අහන්නටය. මෛත්‍රි තමාට වුණඅසාධාරණකම් ගැන කතා කරද්දී මහින්ද තඹ සතේකට ඒවා මායිම් කළේ නැත. තමාට තමා දිනවපු පක්‍ෂයේ තැනක් නැති බව මෛත්‍රි තේරුම් ගත්තේ එදාය.

“මාත් එක්ක ආප්ප කාලා මට පිහියෙන් ඇනලා ගියා…”

මහින්ද එදා වේදිකාවල කිය කියා ගියේ එම හමුව ගැනය.

“මෛත්‍රි ඔයා බය වෙන්න එපා. ඔයා කැම්පේන් එක කරන්න. අපි මේක දිනමු. මම ඔයාව අගමැති කරන්නම්…”

එදා එම හමුවේදී මහින්ද මෛත්‍රිට කිව්වා නම් අද එ. ජා. ප. මැයි දිනයක් නැත. සිරිකොතේ ගහ මරා ගනිද්දී ජනාධිපති මහින්දයි අගමැති මෛත්‍රියි මැයි දිනය සමරන්නේ මහා ජන සන්නිපාතයක් මැදය.

හැබැයි මහින්දට ඕනෑ වුණේ මෛත්‍රිගේ දේශපාලනය විනාශ කරලා ජනාධිපතිවරණය දින්නේ තම පවුල නිසා කියලා නාමල්ට ඔටුනු පලඳවන්නටය. අද ශ්‍රී ල. නි. ප.ය මේ ගෙවන්නේ මහින්ද මේ පක්‍ෂයට කරපු පාපයේ වන්දියය. අද මහින්දව අගමැති කරන්න කියලා කෑ මොර දෙන ටී. බී. ඒකනායකලා, බන්ධුල ගුණවර්ධනලා, වෙල්ගමලා එදා මෛත්‍රිව අගමැති කරන්න කියලා කෑ මොර දුන්නා නම් අද තියෙන්නේ ශ්‍රී ල. නි. ප. ආණ්ඩුවක්ය. එහෙනම් ඔවුන් අදටත් මැති ඇමැතිවරුන්ය. ඔවුන්ට මැති ඇමැතිකම් නැති කළේ මෛත්‍රි නොව මහින්දය. ඒ මෛත්‍රිව කොන් කරලා පක්‍ෂය දෙකට බෙදලා පවුල රකින්න ගිය නිසාය. එහෙව් මහින්දට සද්දෙ වහලා මැදමුලනට වෙලා වැඩක් බලාගෙන ඉන්න කියලා, මෛත්‍රිව ශක්තිමත් කරලා, මෛත්‍රි වටේ පක්‍ෂය එක්සේසත් කරන්නේ නැතිව මහින්ද ඕනෑ, මහින්ද ඕනෑ කියලා කෑ ගහන හැමෝම කරන්නේ පක්‍ෂය විනාශ කරන එකය. මෛත්‍රිට අගමැතිකම නොදී පක්‍ෂය දෙකඩ කරලා පරද්දපු මහින්ද අද තමාට අගමැතිකම ගන්න පක්‍ෂය දෙකඩ කරන්න සූදානම්ය.

නුගේගොඩ මහින්දාගමන රැස්වීමට පසු මහින්ද හිතුවේ එක්කෝ ශ්‍රී ල. නි. ප.යට බලපෑම් කරලා ශ්‍රී ල. නි. ප.යෙන් අගමැති අපේක්‍ෂක වීමටය. නැත්නම් වෙනත් සන්ධානයකින් අගමැති අපේක්‍ෂක වෙන්නටය. මහින්ද හිතුවේ ශ්‍රී ල. නි. ප.යෙන් ඉල්ලුවත් වෙනම ඉල්ලුවත් වැඩිම ආසන ගන්නේ තමන් කියලාය. තමන් වෙනම ඉල්ලලා එ. ජා. ප.ය වැඩි ආසන ගත්තත් ශ්‍රී ල. නි. ප. මන්ත්‍රිවරුන් බාගෙන බහුතරය හදාගෙන අගමැති ධුරය ඉල්ලන්න මහින්ද ගණන් හද හදා සිටියේය.

ඒත් මැයි පළමු වැනි දින තමාගේ කිරුළපන රැස්වීමට ලොකු සෙනඟක් නොපැමිණීමත්, එ. ජා. ප.ය කොළඹ ආක්‍රමණය කිරීමත් නිසා මහින්දගේ ගණන් හැදිල්ල වැරැදුනි. 19න් තමාට යළි ජනාධිපතිවරණයකට තරග කිරීමට ඇති අවස්ථාව අහිමි වීමත් නිසා ඔහු හිටියේ හතර ගාතෙන් වැටිලාය. මෛත්‍රිට ගණන්කාරකම් පෙන්න පෙන්නා හිටපු ඔහු මෛත්‍රි හමු වෙන්න කැමැති වූයේ ශ්‍රී ල. නි. ප.ය තුළට රිංගා ගෙන අගමැති අපේක්‍ෂකම ගන්නවා ඇරෙන්න වෙන එල්ලෙන්න වැලක් නැති බව තේරුම් ගෙනය.

මහින්දගේ පළමු ඉලක්කය මෛත්‍රි සහ රනිල්ගේ ආණ්ඩුවත් අතර ගැටුමක් නිර්මාණය කිරීමය. මෛත්‍රිගෙන් රනිල්ගේ ආණ්ඩුව වෙන් වූ විට වෙන් වන්නේ මෛත්‍රිට ඡන්දය දුන් ලක්‍ෂ 63ක ජනතාවය. එවිට මෛත්‍රි තනි වේ. තනි වූ මෛත්‍රි අතට අරගෙන විනාශ කිරීම මහින්දගේ උපායය. දැන් මෛත්‍රි මහින්ද එක්ක එකතු වෙලා රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැව්වොත් මහින්ද හිතන්නේ ඔහුට අගමැති අපේක්‍ෂක වී මහ ඡන්දය දිනන්න පුළුවන් කියාය. ඡන්දෙන් පසු එ. ජා. ප.ය පාර්ලිමේන්තු විපක්‍ෂයට එන්නේ තමාට වඩා මෛත්‍රි සමඟ වෛරයෙන් බව මහින්ද දනී. එවිට එ. ජා. ප.ය එකතු කරගෙන මෛත්‍රිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම මහින්දගේ උපායය. එවිට මෛත්‍රි ඉවත් කර ඔහුට ජනාධිපති පුටුවේ වාඩි විය හැකිය. එදාට අද මෛත්‍රිට ශ්‍රී ල. නි. ප. ආණ්ඩුවක් හදන්න කියා කෑ මොර දෙන මෛත්‍රිගේ මිනිස්සුවත් මෛත්‍රි බේරාගන්න සිටී දැයි සැකය. හේතුව මේ කවුරුත් එදා මෛත්‍රිව අගමැති කරන්න කියා මහින්දට කීවේත් නැත. මේ හැමෝම මෛත්‍රිව පරද්දන්න වැඩ කළ අයය. අද ඔවුන්ට ඕනෑ යකාගෙන් හරි ඇමැතිකම් ගන්නටය.

19න් ජනාධිපති බලය දන් දෙන්න තරම් මෛත්‍රි වෙස්සන්තර වුණාට මහින්දට බෙල්ල දෙන්න තරම් සිරිසඟබෝ කෙනෙක් වේ යැයි සිතිය නොහැකිය. මෛත්‍රි හිත යටින් ආදරේ ශ්‍රී ල. නි. ප.යටය. මෛත්‍රිට ඕනෑ ශ්‍රී ල. නි. ප. ආණ්ඩුවක්ය. ඒත් මෛත්‍රිට එ. ජා. ප.යටත් ඔහුව ජනාධිපති කළ ලක්‍ෂ 63ක ජනතාවටත් එරෙහි වන්න බැරිය.

අද මෛත්‍රි හරියට බර්ට්‍රෝල් බේ‍රෂ්ට්ගේ හුණුවටයේ කතාවේ දරුවා වූ මයිකල් වගේය. හුණුවටයේ කතාවේ මයිකල්ගේ වදපු මව නතෙලා අබෂ්විල්ලිය. හදපු මව ගෘෘෂාය. මෛත්‍රිව දේශපාලනයේ වදපු මව ශ්‍රී ල. නි. ප.යය. මෛත්‍රිව ජනාධිපති කරපු හදපු මව එ. ජා. ප.ය ඇතුළු පොදු විපක්‍ෂ බලයය. මේ දෙගොල්ලොම මෛත්‍රිව දෙපැත්තට අදියි. මහින්ද අබෂ්විල්ලි රජ්ජුරුවෝ වගේ තම බිරියව දමලා මයිකල් කුමාරයාව ඉරලා හරි ඇදලා අරන් බලය, ධනය හිමි කර ගන්න ගත්තා වැනි උත්සාහයක් ගනී. එ. ජා. ප. ඇතුළු පොදු අපේක්‍ෂක බලය එහිදී ගෘෘෂා මෙන් මෛත්‍රිව රැක ගන්න ඥානාන්විතව ක්‍රියා කර මෛත්‍රිව දිනා ගන්න සමත් වේදැයි කිව නොහැකිය.

(ලිපියේ මැය අපෙනි)

– ස්තුතිය  මව්බිමට

Archive

Latest news

Related news