Saturday, April 20, 2024

මහින්දගේ වෛර දේශපාලනය සහ මෛත්‍රී ගේ දේශපාලන අනාගතය – ආවාර්ය කුමුදු කුසුම් කුමාර

මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැළිය නරඹමින් අප රැඳී සිටියේ රැස්වීම පැවති භූමියෙන් පිටත පදික වේදිකාවෙහිය. එයද විනාඩි කිහිපයකට පමණි. ඉන් අනතුරුව අපි පැමිණි දිශාවට ආපසු යාමට පිටත් වුනෙමු. එවිට සැණෙකින් අප මැදිවුනේ “මහින්ද මහත්තයා විනාශ කළේ“ය යන චෝදනාව කෑ ගසා ප්‍රකාශ කරමින් ඇරඹුනු ම්ලේච්ඡ මැර රංචුවකින් එල්ල වූ සහමුලින්ම අනපේක්ෂිත ප්‍රහාරයකටය. නිර්මාල් ට දරුණු ලෙස අතින් පයින් පහර දෙන ලදි. අතට අසුවූ හැම දෙයකින්ම ගසන ලදි. එතැන සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ උදවුවෙන් පොලිස් ජීප් රියට පැණ ගෙන ඔවුන්ගේ ආරක්ෂාවෙන් අප එම ප්‍රහාරයෙන් නොගැළවුණි නම් අපගේ ඉරණම කුමක් විය හැකිව තිබුණිද යන්න සිතා ගැනීම දුෂ්කරය.

කුමුදු කුසුම් කුමාර
කුමුදු කුසුම් කුමාර

එල්ටීටීඊ ත්‍රස්තාවාදයට එරෙහි යුද්ධය දිනීම නිසා මහින්ද රෙජිමයට පක්ෂපාතී වන ජනයා මෙහිදී සිතා බැලිය යුතු කරුණක් තිබේ. එනම් මෙම සිදුවීම පෙන්නුම් කරන්නේ ජනවාරි 8 දා කිසියම් උපායකින් මහින්ද රෙජිමය තමන් අත රාජ්‍ය බලය රඳවා ගත්තේ නම් මෙරට ලේ විලක් වනු ඇතිව තිබුණු බව නොවේද? යන්නයි.

මෙම මැර ප්‍රහාරය එම රැස්වීමට සහභාගී වීමට පැමිණ පාර දෙපස සිටි මහින්ද-අනුගාමිකයන් විසින් එසැණින්, ස්වයංසිද්ධව සිදුකළ එකක් යැයි බැලූ බැල්මට පෙනුනු දේ අප පිළිගන්නේ නම් එම සිදුවීමෙන් මතුවන බරපතළ ගැටළුවක් තිබේ. ප්‍රසිද්ධ මහජන රැස්වීමක් නැරඹීමට පැමිණ සිටි නිරායුධ පුද්ගලයන් කිහිප දෙනෙකුට කිසිදු කුපිත කිරීමකින් තොරව වට කොට එළව එළවා ම්ලේච්ඡ ලෙස පහර දීමට සිය ගණනක් සාමාන්‍ය ජනයා පෙළඹීම අප වටහා ගන්නේ කෙසේද? එනම් මහින්ද රාජපක්ෂ රෙජිමය මෙරට ඡන්දදායකයන් බහුතරයක් විසින් පැහැදිළිව පරාජය කොට දින සියයක් ඉක්මවා ගොස් තිබියදීත් මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් තුළ තමන් පසමිතුරන් ලෙස සළකන අය පිළිබඳ මෙතරම් උග්‍ර වෛරයක් කැකෑරෙමින් පැවැතීම අප වටහා ගන්නේ කෙසේද?

එක් පැහැදිළි හේතුවක් නම් එදින පැවැත්වුණු රැළියේ පළකෙරුණු ප්‍රකාශයන්ගෙන්ම පවා පැහැදිළි වූ පරිදි මහින්ද රාජපක්ෂ යළි මේ රටේ දේශපාලන නායකත්වයට පත් වීමේ සිහිනය මුල් කොට ගෙන මහින්ද සමග යළි පහසුවෙන් නැගිටිය හැකි යයි සිතන විමල් – වාසු – තිස්ස – ඩිව් – දිනේශ් ඇතුළු පරාජිත නායකයන් එම අරමුණ ශාක්ෂාත් කර ගැනීමේ අරමුණින් තම අනුගාමිකයන් තුළ පරාජය පිළිබඳ දැඩි වෛරයක් සහ කෝපයක් අවදි කොට තබා ගැනීම යි. මහින්ද රෙජිමය කළ දූෂණ, වංචා, අපරාධ, අකටයුතු පිළිබඳ දඬුවම් කිරීමට වත්මන් රජය නීත්‍යානුකූලව කටයුතු කරන විට එය වෛරී පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි චෝදනා කරන මහින්ද එයින් සැඟවීමට උත්සාහ කරන කරුණ වන්නේ තමන් තම අනුගාමිකයන් තුළ වෛරකාරී බව දිගටම පවත්වා ගනිමින් සිටින බව යි. “මහින්ද මහත්තයා විනාශ කළේ“ යැයි කම්පාවන අනුගාමිකයන් ට මහින්ද විනාශ වූයේ තමන්ගේම ක්‍රියා කලාපය නිසා බව වටහා ගැනීමට අවශ්‍ය කරන අවලෝකනයට එළඹීමට මහින්දත් ඔහුගේ සගයනුත් ඉඩ නොතබති.

පැරදී ඉතා කෙටි කලකින් යළි බලයට ඒමේ හැකියාව පිළිබඳ අදහසක් තම අනුගාමිකයන් අතර තහවුරු කරන්නට මහින්ද පිළට හැකිවීමට මෛත්‍රී රජයේ ක්‍රියා කලාපයත් පිටිවහල් වීය. පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රිලනිප කණ්ඩායමේ සහායෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කොට “ජාතික ආණ්ඩුවක්“ පිහිටුවූයේ දින සියයේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමේ යහපත් අරමුණිනි. නමුත් එය තමන්ගේ වාසියට හරවා ගනිමින් මෛත්‍රී රජයේ ශක්තිය ඇතුළතින් හීන කිරීමටත් තමන්ට තවමත් රජයේ බලයක් ඇතැයි තම අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීමටත් ශ්‍රීලනිපයේ මහින්ද පිළ එය අවස්ථාවක් කර ගත්තේය.

ජනාධිපති මෛත්‍රී ශ්‍රිලනිපයේ නායකත්වය භාර ගත්තේද පක්ෂය තුළ මහින්ද පිළේ බලය හීන කිරීමට බව පැහැදිළිය. නමුත් පක්ෂය තුළ සිටිමින් එහි නායකත්වයට විරුද්ධව කැරලි ගැසීමට මහින්ද පිළේ සාමාජිකයන් සමත් වීම නිසා මෛත්‍රී රජය දුර්වල බවත් මහින්ද පිළ පුනර්ජීවනයක් ලබමින් සිටින බවත් තම අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීමට මහින්ද පිළ සමත් වීය.

මෛත්‍රී රජය තුළ සිටින ඉදිරි මහ ඡන්දයෙන් පසු අගමැති වීමේ අපේක්ෂාවෙන් පෙළෙන පුද්ගලයන් මෙන්ම ශ්‍රිලනිපය තුළට රිංගාගෙන එහි නායකත්වයට පත්ව 2020 දී ජනාධිපති වීමේ සිහින දකිමින් සිටින්නන්ද ගෙන යන රනිල් විරෝධී වැඩ පිළිවෙළවල් ද මෛත්‍රී-රනිල් රජය ඇතුළත ගැටුම් ඇති හෙයින් එය අස්ථාවර එකකි යන අදහස ජනයා අතර පැතිර යාමට හේතු වීය. එයද මහින්ද පිළේ බලය වැඩීමට හේතු වීය. මහින්ද රාජපක්ෂ කටඋත්තරයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිෂමට කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ඇති වූ විරෝධය ඵල දැරීම මෛත්‍රී රජය තුළ ඇති ශ්‍රීලනිප එජාප ගැටුම කරළියට ගෙන ඒම මගින් රජයේ අස්ථාවර බව රටට ප්‍රදර්ශනය කිරීමට මහින්ද පිළ සමත් වූ අවස්ථාවකි. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට මහින්ද පිළ ගෙන ගිය බලවත් උත්සාහය රනිල් ගේ සහයෝගය ලැබ පරාජය කරන්නට සමත් වීම මහින්ද පිළ පරදා ජනාධිපති මෛත්‍රී තම බලය තහවුරු කර ගැනීමක් මෙන්ම ආණ්ඩුවේ ස්ථාවර බව තහවුරු කිරීමකි.

මහින්ද පිළ ට අත් වූ මෙම පසුබැසීම ඔවුන් ගේ කිරුලපන මැයි රැළියේ දී ප්‍රකාශ වූ වෛරීකාරී හැඟීම එක්තරා දුරකට පැහැදිළි කරයි. නමුත් ඉන් පසුව සිදුවූ මෛත්‍රී-මහින්ද හමුව සිදුවීමට පූර්විකාවක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා අගැමති රනිල් වික්‍රමසිංහ හෑල්ලු කරමින් කළ ප්‍රකාශයත් එයින් පසු උද්ගත වූ තත්වයත් ශ්‍රිලනිප-එජාප ජාතික ආණ්ඩුවේ අස්ථාවර භාවය පිළිබඳ කරුණ යළිත් මහජන කථිකාවට ගෙන ආවේය. එපමණක් නොව එම මෛත්‍රී -මහින්ද හමුව මෛත්‍රී බලයට පත් කිරීමට කටයුතු කළ ජන කොටස් අතර බලවත් මෛත්‍රී විරෝධයක් ඇති කළේය. ජනපති මෛත්‍රී එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙය ශ්‍රිලනිපය ශක්තිමක් කිරීමේ අරමුණින් පමණක් කෙරෙන්නක් බවයි.

මහින්ද ගේ වෛරකාරී දේශපාලනය ලාංකේය සමාජය තුළ යළිත් බලවත් වීම සහ ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමේ මෛත්‍රී ගේ අපේක්ෂාව අතර සෘජු සම්බන්ධයක් තිබේ. එමෙන්ම ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම මෛත්‍රීගේ ජනවර්ග අතර සංහිඳියාව ගොඩ නැඟීමේ වැඩ පිළිවෙලට සහ යහපාලන පිළිවෙතට එරෙහිව යයි.

ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පරාජය කිරීමට හැම උත්සාහයක්ම දැරූ පිරිසකගෙන් සමන්විතවනවා පමණක් නොව ඔවුන් යළි බලයට පැමිණීමේ උත්සාහයට දේශපාලන සහ න්‍යායික නායකත්වය මූලිකවම දෙනු ලබන්නේ උග්‍ර සිංහල බෞද්ධ ජාතිවාදයක් විසිනි. (ඔවුන්ගේ ප්‍රධාන න්‍යායාචාර්ය දයාන් ජයතිලක දෙමළ ආධිපත්‍යයට විරෝධය පාමින් අත පය හකුළා ගෙන විස්සෝප වූ ගැමුණු කුමරුගේ කතාව දැන් තම “න්‍යායික“ කරලියට ගෙනවිත් තිබේ.) එම ජාතිවාදයේ ඉලක්කය දෙමළ සහ මුස්ලිම් ජනයාත් බෞද්ධ නොවන ආගමික ජනයාත් සමගින්ම එම මතවාදයට එරෙහිව අදහස් දක්වන සහ ක්‍රියා කරන පුරවැසියෝත් වෙති.

ශ්‍රිලනිපයේ මහින්ද පිළ විවෘත ආර්ථිකය පදනම් කරගෙන මෙරට බිහිවූ නන්නත්තාර නැතහොත් පරපුටු පාදඩ ධනේශ්වර පංතියක් නියෝජනය කරයි. ඔවුනගේ ආර්ථිකය ප්‍රධාන කොටම සෘජුව රජය මගින් කෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය හෝ රජයේ අනුග්‍රහයෙන් කරන වංචනික කටයුතු හෝ රජයෙන් ලබන වරප්‍රසාදිත තත්වයක් යටතේ කෙරෙන වෙළඳ හෝ සේවා ව්‍යාපාර හෝ වඩා වැදගත්ව තහනම් මත් ද්‍රව්‍ය, අවි ආයුධ අළෙවිය යනාදිය මත පදනම් වෙයි. ඔවුනට ජාතිවාදය තම ධනය රැස් කර ගැනීමේ කටයුත්තේදී ජනයා සතුටු කොට තබා ගැනීමේ මඟකි. රාජ්‍ය බලයට ඇතුළු වීම මෙම පංතියේ පැවැත්මට අත්‍යවශ්‍යය. මෙම පංතියට දේශපාලන බලය යළිත් තමන් අතට ලබා ගත හැක්කේ ශ්‍රීලනිපය තුළිනි. ඔවුන් යළිත් ශ්‍රීලනිපය තුළ තම බලය තහවුරු කර ගන්නට වෙර දරන්නේ එහෙයිනි. ශ්‍රීලනිපය තුළ ශක්තිමත් වී ඉදිරි මැතිවරණ වලට නාම යෝජනා ලබා ගෙන ජාතික සහ පලාත් මට්ටමේ මන්ත්‍රී සහ ඇමතිධුර ලබා ගැනීම ඔවුනගේ පැවැත්මට අත්‍යවශ්‍ය ය. එසේ කළ නොහැකි වුවත් තමනට හැසිරවිය හැකි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදා ගැනීමෙන් සහ රාජ්‍ය තන්ත්‍රය තුළ සිටින තම පංති සංගයන් හා එක්ව තම ආර්ථිකය පවත්වා ගෙන යෑමට ඔවුන් උපරිම උත්සාහ දරනු ඇත.

ශ්‍රීලනිපය අද උරුම කර ගෙන ඇති උග්‍ර ජාතිවාදය සහ එහි පාදඩ ධනේශ්වර පංති සංයුතිය පරාජය කොට ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමේ බරපතළ අභියෝගය අද මෛත්‍රී තමන් කරට ගෙන ඇත. 1956 දී පංච මහා බලවේගය නියෝජනය කරමින් අගමැති බණ්ඩාරනායක බලයට ගෙන ආ ශ්‍රීලනිපය අද වන විට විවෘත ආර්ථිකයෙන් මුදා හළ පාදඩ සමාජ පංතීන් ගේ සහ ඔවුන්ගේ උග්‍ර ජාතිවාදී මතවාදයේ ග්‍රහණයට හසු වී සිටියි. එය තව දුරටත් සමාජයේ පොදු යහපත නියෝජනය කරන්නේ නැත. ඉන් කියැවෙන්නේ ශ්‍රීලනිපය පිහිටුවීමට පදනම් වූ එහි ආරම්භක ඓතිහාසික කාර්යභාරය මේ වනවිට අවසන් වී ඇති බවයි. වෙනස් වී ඇති ජාත්‍යන්තර සහ ලාංකේය තත්වයන් තුළ ශ්‍රීලනිපයට තව දුරටත් පැවැත්මක් ඇත්තේ එම තත්වයන්ට මුහුණ දිය හැකි ආකාරයේ නව දැක්මක් ලබා දිය හැකි නව නායකත්වයක් ශ්‍රීලනිපයට ලබා ගත හැකි නම් පමණි. එබඳු නායකත්වයක් ශ්‍රීලනිපයට ලබා දීමට චන්ද්‍රිකා කුමාරතුංග එහි නායකත්වය දැරූ අවධියේ ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. මෛත්‍රී ට එම කටයුත්ත සාර්ථක කළ හැකි වෙයිද? ඔහුගේ එම උත්සාහය තුළ මහින්ද සහ ඔහුගේ පිළ තම අනුගාමිකයන් අතර වෛරකාරී හැඟීම් දිගින් දිගටම පෝෂණය කිරීම නැවැත්වීමට අප ගත යුතු උත්සාහය මඟ හැරී ගිය හොත් එය ජනවර්ග සහ ආගම් අතර සංහිඳියාව සහ යහපාලනය ඇති කිරීම සඳහා මෛත්‍රී රජය ගෙන යන වැඩ පිළිවෙළ පරාජය කිරීමට ජාතිවාදී බලවේග අවස්ථාවක් කරගනු ඇත.

(ලිපියේ මැය අපෙනිි)

Archive

Latest news

Related news