Friday, April 26, 2024

රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි

‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න හැඳින්විම සඳහායි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා හඬ දෙන හොරණෑ සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලවල් විවිධ මුහුණුවරින් නැවත නැවත මතුවෙමින් පවතී. පැරණි මහින්ද රෙජීමයේ සිටි විවිධ තරාතිරම්වල කොටස් නේක අයුරින් රටේ ධනය හොරකම් කළ, බලය අපයෝජනය කළ, අයතුලින් මේ හඬවල් මතුවන බවත් උපක්‍රම ලෙස මෙම මත පතුරනව බවත් පැහැදිලිව පෙනෙන දෙයකි. මේ කල්ලිවල හඬමතුවන ප්‍රමාණය, ක්‍රමවේදය කුමක් වුවත් මේ හැම කෙනෙකුගේම අවසාන ප්‍රාර්ථනය මෛත්‍රී ගෙදර යවා මහින්ද හෝ ඔහුගේ බලවේග නැවත බලයට ගෙනවිත් තමන් රට කෑ ප්‍රමාණය එලිදරව් කිරීම වලකා ගැනීම සහ නැවතත් තමන්ට රිසිසේ රට කෑමට ඉඩ සලසා ගැනීමයි.

කුරුල්ලාගේ පාට පෙනෙන්නේ ඉගිලෙන විට කීවාක් මෙන් මේ හඬ නගන්නේ සැබෑ ස්වරූපය එලිදරව් වෙන්නේ ඔවුන් මුව විවර කළ විටයි. මෙම මහින්දවාදී කල්ලි කෙලින්ම හෝ වක්‍රව නැවත මහින්ද බලයට ගෙනඒමට උත්සාහ කළත් මේ හැම දෙනාටම පොදු එක ලක්ෂණයක් තිබේ. ඒ මේ එකෙකුවත් එදා ජනවාරි 08 මහින්ද පැරදුන බවවත් මෛත්‍රී දිනූ බවත් පිලි නොගන්නා බවයි. ඒ වාගේම 08 වන දා වන තුරු මේ හැම දෙනාම පූර්ණ මහින්ද ගැත්තන් ලෙස ක්‍රියාත්මක වූ අතර මෛත්‍රීට සහ යහපාලනයට අපහාස කරමින් මෛත්‍රී පැරදවීම සඳහා වලි කෑ අය වීමයි. මේ සැම දෙනාම තම සිහින සිතිවිල්ලෙන් සිතන්නේ එදා මහින්ද ජයග්‍රහණය කළ බවයි. ඒ එදා පැරදුනු මහින්ද ජනේලයේ එල්ලී තමන් දිනුවා යැයි කීවාක් මෙනි.

විමල් සහ වාසු කල්ලිය උගුර කැඩෙන තුරු මාස 2 ක් තිස්සේ මොර දෙන්නේ ‘මහින්ද පැරදුනේ නැත’ කියායි. ඔවුන් මෛත්‍රීගේ දිනුම බැර කරන්නේ බටහිර කුමන්ත්‍රණයකින් මහින්ද ගෙදර යැවීමක් ලෙසයි. මේ සියල්ලන්ගේ තර්ක ශාස්ත්‍රයට අනුව ‘පැරදීම’ යනු දිනීමයි. ඔවුනට අනුව වැඩි ඡන්ද ලැබීම යනු පරාජයයි. මෙය මහින්ද, විමල්, වාසුට පමණක් පොදු දෙයක් නොවේ. ‘සිංහල බෞද්ධ’ කියා ගන්නා වැඩි දෙනෙකුට මේ තර්කය එසේමය. ඔවුන් ජය පරාජය ලෙස දකින අතර පරාජය ජය ලෙස හදුනා ගනී.

එදා මේ රටේ සිවිල් ජනතා බලවේගය සමග එක්වූ මෛත්‍රී ඇතුළු පොදු විපක්ෂය එක හඬින් කියූ සටන් පාඨය වූයේ ‘මහින්ද රෙජීමය පරදවමු’, ‘දූෂණයෙන් තොර නීතියේ ආධිපත්‍ය ඇති රටක් දෙසට පානගමු’, ‘රාජ්‍ය බලය අපයෝජනය කළවුන්ට දඬුවම් දෙමු. ඒ සඳහා මහින්ද පරදවමු’ යන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයේ හොරුන්ට අමතකව ඇත. ඒ එදා ඔවුන් පැහැදිලිවම සිටියේ මේ බලවේගයනට හාත්පසින්ම විරුද්ධ දූෂිත මහින්ද ජයග්‍රහණය කිරීම වෙනුවෙන් නිසා බැවිනි. එදා මෛත්‍රීට ඡන්දය දෙමින් රටේ ජනතාවගේ වැඩි ප්‍රමාණය කියා සිටියේ මහින්ද ඇතුළු මේ හොරුන් පරදවා හොරකමට වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බව මොවුන් නොදන්නවා නොවේ. ඔවුන් උත්සාහ කරනුයේ හිමිහිට මේ තත්වය වෙනත් පැත්තකට පෙරලීම සඳහායි.

ඩිලාන් පෙරේරාට අනුව රනිල්ගේ පිං ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ඔහුට අනුව මේ අඩුබලය ඇති ආණ්ඩුව ගෙදර යැවිය යුතුය. ප්‍රසන්න රණතුංගට අනුව දැන් මෛත්‍රී ආණ්ඩුවේ දින 100 හමාරයි. ‘දැන් පැමිණ ඇත්තේ මහින්දලාගේ දින සීය බව’ යයි ඔහු පවසයි.

ඩිලාන් පොර්රා: දැන් අපේ දින සියයයි
ඩිලාන් පොර්රා: දැන් අපේ දින සියයයි

ඩිලාන්ලා, රණතුංගලා මේ මොර දෙන්නේ මෛත්‍රීගේ ජයග්‍රහණය පිලිගැනීමට ඇති මැලිකමිනි. ඔවුනට අනුව ඔවුන්ගේ හදවතින් පිලි ගන්නා නායකයා චෞර රෙජීමය ගෙනිගය මහින්ද රාජපක්ෂයි. ඔවුන් පවසන්නේ රනිල්ගේ ආණ්ඩුව අඩු කොටස බවත් රනිල්ට පාලනය කිරීමට ජනවරමක් නොලැබුණු බවත්ය. ඔවුන් එසේ සිතන්නේ නම් ඔවුන්ට විශ්වාසභංග යෝජනාවකින් රනිල් පැරද විය හැකි නමුත් ඔවුන් එසේ උත්සාහ නොකරන්නේ රනිල්ට වැඩි දෙනෙකුගේ සහාය තිබෙන හෙයිනි. එදා මෛත්‍රී දිනූ බව, මෛත්‍රීගේ දිනුමට ප්‍රථම ඡන්දදායකයාට ඉදිරිපත් කළ ඡන්ද පොරොන්දුවල ප්‍රධානම එක වූයේ මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසු වහාම රනිල්ව අගමැති බවට පත්කිරීම බව ඩිලාන් ඇතුළු ශ්‍රී ලංකා හොරු රෑන නොදනීද? එදා මෛත්‍රීට ඡන්දය දුන්න ලක්ෂ 62 ක් මෛත්‍රීට ඡන්දය දුන්නේ ඔහුගේ ලස්සන හැඩරුවට නොවන බව මේ ගොං රැල දැන්වත් වටහා ගත යුතුව ඇත. එදා මෛත්‍රී ඉදිරිපත් කළ මහින්ද ඇතුළු හොරුන් ගෙදර යවා මහින්දගේ පඹයෙකු වූ අගමැති වෙනුවට රනිල්ගේ අගමැතිධූරයෙන් යුතු රජයක් පත්කිරීම සඳහා බව මේ මෝඩ ඩිලාන්ලා නොදනීද? එදා මේ රටේ ලක්ෂ 62 ක් ජනතාව තම ඡන්දයෙන් මෛත්‍රී දිනවූයේ මෛත්‍රීගේ ඡන්ද පොරොන්දු ඉටුකිරීම සඳහායි.

ඇත්තෙන්ම මොවුන් මේ සැරසෙන නාඩගම කුමක්ද? ඔවුනට ඉවසිය නොහැක්කේ එතෙක් කල් තමන්ගේ පුද්ගලික දේපලක් කරගෙන තිබූ ලංකා දූපත නැවත තමන්ට රිසි සේ හොරා කෑමට තෝතැන්නක් කර ගැනීමට මහින්දගේ හොර කල්ලිය නැවත බලයට ගෙනඒමයි.

ඩිලාන්ලාගේ කියමන් පෙන්නුම් කරන්නේ ඔවුන් ජනතාවගේ තීරණය පිලි ගැනීමට අකමැතිබවයි. ඒ ඔවුන් කිසි දිනෙක ජනතාවගේ තීරණය පිලිනොගත්තා මෙන්ම ඔවුන් ජනතාව කිසිදිනෙක වැදගත් සාධකයක් ලෙස නොතැකූ නිසාවෙනි. එනිසාම ඔවුන් ඔවුනට බලය තිබූ අවිධියේ ජනතාවගේ බුද්ධියට නිගා දෙන අයුරින් හැසුරුණි. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ සිටින මේ හොරුන්ට වඩා ලංකාවේ ජනතාවගෙන් වැඩි දෙනෙක් ඉදිරියෙන් සිටින බව ඔවුන් මහින්ද හොර කල්ලිය ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙන්නුම් කරයි. නමුත් විමල් වීරවංශලා, වාසුදේව නානායක්කාරලා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඩිලාන්ලා රණතුංගලා වැනි බොහෝ හොරුන්ගේ ද එකම පරමාර්ථය තම බඩවඩා ගැනීම සඳහා වන ගෝස්තරවාදී පිලිවෙත නැවත බලයට ගෙනඒමට තැත් කිරීම බව පැහැදිලිය. රටේ ජනතාවට මොන කෙන්ගෙඩියක් සිදු වුනද ඔවුනට කාරියක් නොමැති බව එදා මෙන්ම අදත් ඔවුන් පැහැදිලිවම පෙන්නුම් කරයි. මොවුන්ව ලංකා දේශපාලනයෙන් සහමුලින්ම පලවා හරින තුරු ලංකාව තුල යහපාලනයක් ඇතිවීම බොරුවකි.

නාමල් රාජපක්ෂට අනුව පිස්තෝලයක් යනු වතුර බෝතලයකි. මොවුන් පෙන්නුම් කරන්නේ තාමත් මොනයම් ආකාරයකින් හෝ බලය අල්ලා ගැනීමට මොවුන් කුමන්ත්‍රණයන්හි යෙදී සිටින බවයි. මෛත්‍රී මරාදමා හෝ එතැනට ඒම ඔවුන්ගේ පරමාර්ථය බව පැහැදිලිය.

ජනවාරි 08 වෙනිදායින් පසු ඇතිවූ වෙනස්කම් මොවුනට දරා ගැනීමට නොහැකි ව පවතී. එනම් රට තුල බියකින් තොරව ජීවත්වීමට ඇති වූ ඉඩකඩ, තම මතය බියකින් තොරව ඉදිරිපත් කිරීමට ඇතිවූ ඉඩකඩ, නීතිය නැවත ක්‍රියාත්මක කිරීම ඇරඹීම, පුරවැසියන් තම කාර්ය භාරය වටහාගෙන සංවිධානය වීම, ලෝකය තුල නැවත ලංකාවට පිලිගැනීමක් ඇති කිරීම, නිදැල්ලේ හැසිරුනු හොරුන් සහ මිනී මරුවන් කොටසක් හෝ නීතිය ඉදිරියට ගෙනඒම වැනි දේ මෙම බලය අපයෝජනය කළ හොරුනට දරා ගැනීමට නොහැකිව ඇති බව මේ ඔවුනගේ විරෝධතාවයන්ගෙන් පෙන්නුම් කරයි.

මේ සතියේ දිනෙක නාමල් රාජපක්ෂ තමා මේ දිනවල යෙදී සිටින කාර්ය ගැන මාධ්‍ය සමග මෙසේ පවසයි. ‘මම උදේට උසාවි යනවා. දවල්ට බන්ධනාගාරවලට යනවා. අපේ හිතවත්තු බොහෝ දෙනෙකු දැන් බන්ධනාගාරවල’ කියා පවසයි. කුඩු වෙළදුන්, ස්ත්‍රී දූෂකයන්, හොරුන් සහ මිනීමරුවන් රාජපක්ෂලාගේ හිතවතුන් වීම ගැන වෙනකෙනෙකුට කළහැකි යමක් නැත. නීතිය ක්‍රියාත්මකවීම ඇරඹුණු විගස මේ රාජපක්ෂ හිතවතුන් හිරගෙවල ගාල්වීම අත්‍යවශ්‍ය කාරනයක් බව ‘නීති වේදියෙකු’ වන නාමල් රාජපක්ෂට නොතේරීම පුදුමයකි.

බොරු කීම සහ තවදුරටත් ජනතාව එම බොරුවලින් මුලා කිරීමට මොවුන් උත්සාහ කරන ආකාරය ඔවුන්ගේ කියමන්වලින් නිතර මතුවෙති. ඩලස් තම අත ඇති විකෘති කළ ජාතික කොඩිය කලබලයට හදුනානොගත් බව පවසන්නේ

මේ රටේ මිනිසුන් කවුරුන් යැයි සිතාගෙනද? මොවුන් බලයේ සිටි අවධියේ වීදි නාට්‍ය රඟ දැක්වීම වැනි විගඩම් කොපමණකින් ඔවුන් ජනයා ගොනාට ඇන්දවීමට තැත් දැරුවාද? තාමන් ඔවුන් එම තත්වයෙන්ම සිටීමෙන් පෙන්නුම් කරන්නේ රටේ ජනතාව දුන් තීන්දුව ඔවුන් අබමල් රේණුවකට හෝ මායිම් නොකරන බව නොවේද?

එනිසා ලද ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමටත් එය පූර්ණ ජයග්‍රහණයක් කරා මෙහෙයවීමටත් බලය ලැබූ රජය මෙන්ම මෙම ජයග්‍රහණය සඳහා දායක වූ සියළු කොටස්වලත් යුතුකම වෙති. දැන් කළයුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් ඇතුළු පැරණි සන්ධාන හොරුන්ගේ මෙම ප්‍රවණතාවය පැරදවීමයි. මෙම ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්ගේ විවිධ වේශයන් හදුනාගෙන ඒවාට එරෙහිව නැගී සිටීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ යුගයේ වගකීම බව මගේ හැඟීමයි. ඒ එදා අප පරාද කලේ ෆැසිස්ට්වාදී ගමනක සිටි වැඩවසම් බලවේගයක් බව අප අමතක නොකළ යුත්තෙමු. එම බලවේග නැවත හිස ඔසවනු යනු සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් වලපල්ලට යැවීම බව මතකයේ තබාගෙන මෙම බලවේග පැරදවීමට අත්වැල් බැඳ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සෑම මිනිසෙකුගේම යුතුකමයි.

Archive

Latest news

Related news