Friday, April 26, 2024

යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද?

බලපත්‍ර රහිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරනු ලැබූ වාද්දුව ලයා බීච් යුද හමුදා හෝටලය පසුගිය වෙසක් පොහොය දිනයේදී සුරාබදු නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර නීති විරෝධීව අලෙවි කරමින් තිබූ දේශීය හා විදේශීය මත්පැන් බෝතල විශාල ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

වෙසක් පොහොය දිනයේදී සියලුම සුරාසැල් වසා දමන ලෙස රජය නියෝග කර තිබියදී එම නියෝගයද උල්ලංඝනය කරමින් වාද්දුව යුද හමුදා හොටලයේ එදින මත්පැන් අලෙවි කර තිබෙන අතර සුරාබදු නිලධාරීන් පසුගිය 03 වනදා සිදුකළ වැටලීමේදී හෝටලය තුළ තිබී මත්පැන් බෝතල 649ක්, බියර් ටින් 204ක් අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා නිලධාරීන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යනු ලයා හෝටල් නමින් හෝටල් සමූහයක් යුද හමුදාව සතුව පවතින අතර මෙම හොටල්වලද නීති විරෝධී ආකාරයෙන් මත්පැන් අලෙවි කෙරෙන බවට සැකයක් පවතී.

යුද හමුදාපතිවරයා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් යුද හමුදා පොලිසිය වෙත පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නියෝග කර ඇති අතර ඒ පිළිබඳව යුද හමුදා මූලස්ථානය 04 දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට යුද හමුදා නීතියට අනුව යුද හමුදා පොලිස් පරීක්ෂණයේදී වැරදිකරුවන් වුවහොත් කිසිදු ලිහිල් හෝ සමාවක් නොදක්වා තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර ඇති බවයි.

වාද්දුව හෝටලය තුළ බලපත්‍රයක් නොමැතිව මත්පැන් විකිණීමත්, වෙසක් පොහොය දිනයේ මත්පැන් විකිණීමත් යන වැරදි දෙකම සිදු කර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම හෝටලය තුළ මත්පැන් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම හමුදා මූලස්ථානයට හෝ රජයට ලැබී තිබෙනවා දැයි අද (05) උදෑසන සිරස රූපවාහිනිය වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු තමන්ගේ පුද්ගලික මතය ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවය.

තවදුරටත් ඔහු සඳහන් කර සිටියේ මත්පැන් අලෙවිය පිළිබඳව ගැටලුවක් නොමැති බවත් එහි බලපත්‍රය සම්බන්ධයෙන් පමණක් ගැටලුවක් පවතින බවත්ය.

හමුදා ප්‍රකාශකවරයා යනු සමස්ත යුද හමුදාව පිළිබඳව වගකීමකින් ප්‍රකාශ නිකුත් කරනු ලබන පුද්ගලයා වන අතර මෙවැනි බරපතල හමුදා විනය උල්ලංඝනය කිරීමකදී තමන්ගේ පුද්ගලික මතය ඉදිරිපත් කිරීමට යාමෙන් හා නීති විරෝධී ආකාරයෙන් සිදු කළ මත්පැන් අලෙවිය සාධාරණීකරණය කිරීමට යාමෙන් ඔහු වරද වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වන බව තහවුරු වන්නේ යැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ලංකා ට්රුත්

Archive

Latest news

Related news