Friday, March 29, 2024

මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම – නිලන්ත ඉලංගමුව

අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය. වශී බෝලය මෛත්‍රීගේ දෑස් වෙත ඉලක්ක කිරීමට අවස්ථා කිහිපයකදීම “රජුට” හැකි විය. මෙය පසුගිය වසර දහය පුරා සෑම මොහතකම දැකීමට ලැබුණු මුලික දසුනක් විය. ලංකාවේදී පමණක් නොව කන්‍යාවියන් යොදා ස්වාසිලන්තයේ රජු විසින් පවත්වන සාම්ප්‍රදායික උත්සවය නැරඹීමට මෙරට රජු ගියද ඔහුගේ දකුණතෙහි දැක ගත හැකි වූ මුලික වස්තුව එය විය. වරක් එමඟින් අල් ජසීරා මාධ්‍යවේදියා වශීකොට නිහඬ කිරීමට උත්සහ කළේය. ඒ නිව් යෝර්ක් නුවරදීය.

එම හූනියමෙන් මිදී මාතෘ භූමිය නිදහසේ හුස්මක් ගැනීමට වෙර දරන විට ඇගේ ගෙල අවිශ්වාසයේ කටුක යතාර්ථය විසින් යළිත් සිර කරනු ලබන්නේය. විශ්වාස කිරීමට හැකි දේශපාලනඥයෙක් බිහි වීම වූ කලී යූටෝපියානු සිහිනයක් පමණක් යන්න සනාථ කර ගැනීමට අවශ්‍ය වටපිටාව යළිත් සකස්වෙමින් තිබේ. සම්ප්‍රදායික සොඳුරු දේශපාලන මායාව විසින් වසනු ලැබූ කටුක සත්‍ය යළිත් මතුපිටට පැමිණෙමින් තිබේ. වීරයින් ද්‍රෝහීන් වීමට අවශ්‍ය වන්නේ එක් එසැණ පුවතක් ( බ්‍රේකින් නිව්ස්) පමණි. වත්මන් දේශපාලනය එයයි.

එහි නව ආකාරයක ආරම්භයක් අද යළිත් දක්නට ලැබුණි. ඒ වත්මන් ජනාධිපතිවරයා සහ තවත් වසර දෙකක් බලයේ රැඳී සිටීමට නීත්‍යානූකූල අයිතිය ජනතාව විසින් පවරා දුන්නද, කෑදරකම හේතුවෙන් එය අහිමි කරගැනීමේ විපාකය ගෙවන හිටපු ජනාධිපතිවරයා අතරය.

මාධ්‍යයේ මුල් වාර්තාවලට අනුව එය අතිශය සාර්ථක වූ සාකච්ඡාවක් විය. ඉන් පසු එය සංස්කරණය වීමට පටන් ගත්තේය. ඒ අනුව මේ වන විට ලැබෙන වාර්තා වලට අනුව අදාළ සාකච්ඡා වලදී තමන් අපේක්ෂා කළ නිශ්චිත අරමුණු ලබා ගැනීමට නොහැකි වූ බව පැවසේ. එසේම දෙපාර්ශවය තව දුරටත් සාකච්ඡා ඉදිරියට පවත්වා ගැනීමට ඇති වුවමනාව පල කොට ඇත.

මීට පෙර ලිපියේදී මා සටහන් කළ පරිදි මෙම සාකච්ඡා වලදී කතා බහ කෙරුණු දෑට වඩා වැදගත් වන්නේ එය දඩමීමා කරගෙන සිදුකරණ මාධ්‍ය ප්‍රචාරණය සහ එමඟින් මෛත්‍රී හුදෙකලා කිරීමේ සියුම් සහ ශක්තිමත් සටන නව කලාවකින් ආරම්භ වීමය. එය මේ වන විට සිදු වෙමින් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එකම අපේක්ෂාව මෙයයි.

දුර්වල ජනාධිපතිවරයෙකු යටතේ ප්‍රභල අගමැතිවරයෙකු වීමේ දේශපාලන ආශාව විසින් මහින්ද මෙන්ම ඔහු වටා ඒකරාශී වී සිටින සිංහල ජාතිය බේරාගැනීමේ “දියසෙන්” කුමාරවරුන් රැළ මෙහෙවනු ලබයි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කොටගත් දෙයක් නොවේ. එනම් මහින්ද වටා ඒකරාශී වූ පෞද්ගලික බල කඳවුරකි.

මෙවැනි පෞද්ගලික කල්ලි වලට හිමි බලය නැති වූ විට සහ දුර්වල වූ විට මුලික උපාය වන්නේ, “සතුරා ඉදිරියේ තමන් ප්‍රභල බව මවා පෑමය”. සුන් සු යුධ කලාව නමැති කෘතිය ඔස්සේ ඉදිරිපත් කරණ මුලික කරණයක් වන, “ මුලාව මඟින් ජයගැනීමට හැකි දේ වෙනුවෙන් කිසිම කලෙක යුද්ධ නොකළ යුත්තේය,” යන්න මෙම පරාජිත කල්ලිය මනාව ප්‍රයෝජනයට ගනිමින් තිබේ.

මහින්ද සතුටු කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වේ යැයි සිතීම විකඩමක් මෙන්ම මුලාවක් වන්නේ මේ නිසාය. මෙහි ඇති එකම අරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මීළඟ ජනාධිපතිවරණයට එනම් මෛත්‍රී යුගය අවහර වීමට පෙර, රාජපක්ෂගේ අතට ගැනීමය. එය සිදු වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චන්ද්‍රිකාගේ සේයාරූ ඉවත් කොට චන්ද්‍රිකාගේ නමවත් නොකීමට පරෙස්සම් වූ රාජපක්ෂගේ පැරණි බමුණු ගූඪ දේශපාලනය මෛත්‍රී අරම්භයාද සිදුවනු ඇත. මේ නිසා ජනපති මෛත්‍රී අවධානය යොමුකළ යුතු මුලික කාරණයක් තිබේ.

එනම්, ජනපති මෛත්‍රී වූ කලී සමාජීය අවශ්‍යතාවයක නිෂ්පන්නයක් මිස තනි පුද්ගල ආශාවක් මත ක්‍රියාත්මක වූ පෞද්ගලික අරගලයක ප්‍රතිඵලයක් නොවේ. තමන් වෙත අසීමිත බලය හිමි වූ විට, එය පෞද්ගලික අරගලයක ප්‍රතිඵලයක් බවට සිතීම ආරම්භ වන්නේ යම් සේද, එම බලයේ විනාශයේ ආරම්භ වීම සිදු වේ.

මෛත්‍රී සහ මහින්ද අතර පැවත් වූ සාකච්ඡාව සම්බන්ධයෙන් මේ වන විට ඉදිරිපත් කෙරෙන මත විමසීමේදී අන්දකාරයේ සේයාවන් ඉස්මතු වෙමින් තිබේ. අඩුතරමින්, මීළඟ වසර දෙකක කාලය තුළ තමන් විසින් අහලකටවත් ලංකර ගත නොයුතු නමුත් ඉතා සියුම්ව එහි චලනය ගැන අවධියෙන් සහ සිහියෙන් සිටිය යුතු, චරිතයක් සමඟ කතා බහා කොට පක්ෂය ශක්තිමත් කිරීමට යන්නෙන්ම්, මෙහි කෙලවර ස්වයං-විනාශයක් පමණි.

මෙය, පක්ෂයේ උන්නතිය සඳහා එතරම් වැදගත් වන්නේ යැයි තිරව විශ්වාස කළ හැකිනම්, මෛත්‍රී කළ යුතුව තිබුණේ, තමන්ට විශ්වාස කළ හැකි නියෝජිතයින් පිරිසක් මාර්ගයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජාක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කිරීමය. නමුත් ඒ වෙනුවට සිදු වූයේ, මෛත්‍රී, තම පැරණි රජු ඉදිරියේ දණබිම ගැසීමය. රාජපක්ෂගේ පාර්ශවය විසින් මේ වන විටත් අදාළ හමුව ගැන මාධ්‍යට කියා ඇති දෑ වලින්, අදාළ හමුවේදී රාජපක්ෂගේ බලාධිකාරිය ව්‍යාප්ත වී ඇති ආකාරය පැහැදිලිය.

රාජපක්ෂගේ පාර්ශවයට අනුව, හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාගෙන්, තමන් අගමැති අපේක්ෂකයා බවට පත්කරන ලෙස කියා ඇත. මෙවැනිම අකාරයේ ඉල්ලීමක්, එකල රාජපක්ෂ චන්ද්‍රිකාගෙන් සිදු කළේය. එයද ආරම්භ වූයේ මේ ආකාරයේම රසායනික සාන්ද්‍රණයකිනි. එකල චන්ද්‍රිකාගේ දේශපාලන බලය තුළ රාජපක්ෂ හුදෙකලා වූ චරිතයක් විය. නමුත් ඔහු ක්‍රමානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ලබා ගෙන, චන්ද්‍රිකා පන්නා දැමීමට කටයුතු කරනු ලැබුවේය.

අද පැවැත් වූ සාකච්ඡා, රාජපක්ෂ පාර්ශවය විසින් අර්ථකථනය කරණ ආකාරය අනුව පෙනී යන්නේද, එකල චන්ද්‍රිකා රැවටීමට යෙදු උප්පරවැට්ටි වලට සාපේක්ෂව සිය ගුණයකින් ඉහළ උප්පරවැට්ටි සහ පුද්ගලයින් යොදා ගැනීමට රාජපක්ෂ කටයුතු කරණ ආකාරයයි.

මෙය මෛත්‍රී, කැකිල්ලේ රජුගේ උසාවියට ගොස්, නූතන වෙස්සන්තර වීමට උත්සහ කිරීමේ මුල් පියවරද යන්න, තීරණය කිරීමට වැඩි කාලයක් අවශ්‍ය නැත. මෙවැනි දෑ වලින් එක්සත් ජාතික පක්ෂයට අතිශය වැදගත් සහ පළල් අවකාශයක් මෙන්ම සමාජ සාදාරණයක් තැනෙනු ඇත. එය භාවිතා කිරීමට එම පක්ෂය කටයුතු කරන්නේද යන්න දන්නේ නැත.

තමන්ට අගමැති අපේක්ෂක ධූරය ලබා දෙන්න යැයි ඉල්ලන විට, මෛත්‍රී ඊට එක පයින් එකඟ වේ යැයි, සිතීමට තරම්, මහින්ද අනුවණ දේශපාලනඥයෙක් නොවේ. මහින්දට අවශ්‍ය වූයේ, මෛත්‍රී හමුවීම සහ ඔහුට තම වත්මන් අවශ්‍යතා සැලකර සිටීමය. එසේම එම හමුවට අවශ්‍ය මාධ්‍ය ආවරණයක් ලබා ගැනීමය. මේ වන විට ආරම්භ වී ඇත්තේ දේශපාලනයේ මනෝමය සංග්‍රාමයයි (සයිකොලොජිකල් වොවෝ[ර්]ෆෙයාර්). එමඟින් රාජපක්ෂ දිනන අභ්‍යන්තර දේශපාලනයක් තිබේ. එය එක්කෝ මෛත්‍රීට තේරෙන්නේ නැත. නොඑසේනම් මෛත්‍රී එයටත් මෛත්‍රී කිරීමට පටන් ගෙන ඇත.

මහින්ද, මේ වන විට අත්හදා බලමින් සිටින්නේ තම පැරණි උපායන් වලට නව නැම්මක් ලබා දී ඒවායේ පැහැය සහ හැඩය වෙනස් කිරීමෙහිලාය. මෛත්‍රීට, රටේ සිදු වූ වංචා දූෂණ සෙවීමට කලබලයක් නැතුවා සේම රාජපක්ෂට තම දුෂ්කර අවධියෙන් ගැලවී යළි තම නැති වූ බලය තහවුරු කිරීමටද කලබලයක් නැත. නමුත් නිසි කළ එළඹි කළ මෙම නාටකයේ නළුවන් මාරු වී හැඩතල වෙනස් වී නව වේදිකා ඉදිවනු ඇත.
රටක සම්ප්‍රදායික හොරු රැළ පන්නා දැමීමට මෙවැනි දෑ වලින් කළ හැකි යැයි විශ්වාස කිරීම උගහටය.

Archive

Latest news

Related news