Saturday, April 20, 2024

සුනිල් ජයසේකර ජනාධිපතිගේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස ප්‍රකට මාධ්‍ය සංවිධාන නායකයෙක් මෙන්ම පුවත් පත් කතුවරයෙක් වූ සුනිල් ජයසේකර මහතා පත්කර තිබේ.

පසුගිය 17 වෙනිදා ඔහු මෙම ධූරය බාර ගත් අතර ඊට පෙර ඔහු දරමින් සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුරින් ඉල්ලා අස්විය.

රාජපක්ෂ රෙජීමය මාධ්‍ය නිදහසේ ගහලයා ලෙස පසුගිය කාලයේ ක්‍රියා කරද්දී බොහෝ මාධ්‍යවේදීන් සිය පණ රැක ගැනීමට විදේශ වෙත පලා යද්දී මාධ්‍යකරුවාගේ කාර්ය කෙසේ වෙතත් මාධ්‍ය සංවිධාන නායකයෙකුගේ වගකීම් නිසි ලෙස දරමින් සුනිල් ජයසේකර මහතා ඉතා අසීරු මෙන්ම තීරණාත්මක වැඩ කොටසක් රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉටු කළේය.

මර්දනය නිසා මාධ්‍යවේදීන් කන්ඩායමක් සමග වරක් ඇමරිකාවට පලා ගිය ජයසේකර මහතා සියලු දෙනා එහි නතර වෙද්දී මාස කිහිපයකට පසු යලි සිය රට පැමිණ තම යුතුකම් ආරම්භ කෙළේය. රාජපක්ෂලාගෙන් මුදල් ලබා ගනිමින් මාධ්‍ය සංවිධාන සමගිය කඩා කප්පල් කරන්නට නොයෙකුත් මාධ්‍ය සංවිධාන නායකයන් අවලාද නගමින් ක්‍රියා කරද්දී සුනිල් ජයසේකර මහතා ඒ කිසිවකට යට නොවී අදීනව ක්‍රියා කෙළේය. ඇමරිකාවේ ඇපල් පයි විකුනමින් සිටි අවස්ථාවාදීන් රෙජීමය දුර්වල වෙනු දැක අවසාන මොහොතේ යලි රට පැමිණ මාධ්‍ය සංවිධාන පකීර්ලා සේ පාදූර්භූත වෙමින් මාධ්‍ය සංවිධාන සමගිය කඩන්නට වැර දරද්දී සුනිල් ජයසේකර මහතා නොසැලී මාධ්‍ය නිදහස වෙනුවෙන් සහ මාධ්‍යවේදීන් බේද භින්න වීම වලක්වා ගනිමින් කටයුතු කළේය.

දීර්ඝ කාලයක් මාධ්‍ය සංවිධාන නායකයෙක් ලෙස කටයුතු කළ ජයසේකර මහතා ජනාධිපතිවරයාගේ මාධ්‍ය තනතුරක් ලබා ගෙන මාධ්‍ය නිදහසේ අරගලයෙන් දුරස් වීම තරමක් පුදුමයට පත් කරවන්නක් වුවද ජනාධිපතිවරයා අවංකව යහපාලනය සඳහා කැපවේ නම් ජයසේකර මහතාට ද වැදගත් කාර්ය භාරයක් ඉටු කළ හැකි වනවා ඇත.

සුනිල් ජයසේකර මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1987 දී රාවය පුවත් පතින් මාධ්‍ය කරනයට පිලිපන් ඔහු පසුව එහි ප්‍රවෘත්ති කතුවරයා ලෙස ක්‍රියා කෙළේය. ඉන්පසු ඉරුදින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධූරය දැරූ ඔහු ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වරයෙක්ද විය. වෘත්තීය සමිති සම්මේලනයේ සම කැඳවුම් කරුවකුද වූ සුනිල් ජයසේකර මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරුද විය. අවසාන කාලයේ ඔහු රැකියාව ලෙස කෙළේ දරිද්‍රතා විශ්ලේශන කේන්ද්‍රයේ මාධ්‍ය උපදේශක ලෙසය.

මෙතෙක් තම ස්ථාවරයන් පාවා නොදී ක්‍රියා කළ සුනිල් ජයසේකර මහතාට නව ධූරයේදී ද එලෙසම කටයුතු කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.30. ප.ව.11.40)

Archive

Latest news

Related news