Friday, April 26, 2024

සෝමවංශ ඉවත්වවීම: බොරු ප්‍රවෘත්ති පතුරුවන්නන්ට නඩු දානවා – ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජාත්‍යන්තර ලේකම් සෝමවංශ අමරසිංහ මහතා එම පක්ෂයෙන් ඉවත්ව යාමෙන් පසුව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරමින් පළ කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවත් පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කරන නායකයින් පිළිබඳව ජනතා විශ්වාසය බිඳවැට්ටවීම සඳහා ක්‍රියා කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බව අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ අතර සෝමවංශ අමරසිංහ මහතා ඉවත්ව යාම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ විවිධ ප්‍රශ්නවලට ලබා දුන් පහත පළවේ.

ඔබ මේවන විටත් දන්නවා අපේ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ සහෝදරයා පුද්ගලිකව තීරණයක් අරගෙන පක්‍ෂයෙන් ඉවත්වුණා. ඔහු පක්‍ෂයෙන් ඉවත්වන මොහොත දක්වා අප ඒ පිළිබඳව දැනගෙන සිටියේ නැහැ. ඒ මොහොතේ සිට මේ දක්වා අප උත්සාහ දරන්නේ ඔහු නැවත පක්‍ෂයට සම්බන්ධ කරගන්නයි. එසේ නොමැතිව පක්‍ෂයෙන් කවුරුත් ඔහු සමඟ යන්නට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය කිහිපයක් පමණක් සාධාරණ ලෙස වාර්තා කර තිබුණා. නමුත් ඇතැම් මාධ්‍ය සහ ජනතා විමුක්ති පෙරමුණට සතුරු වගේම රටට එරෙහිව වැඩකරන කුඩා කණ්ඩායමක් මෙම සිද්ධිය වැරදි විග‍්‍රහයන් සහිතව තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට යොදාගනිමින් තිබෙනවා. දේශපාලන කුණාටුවක් බවට පත්කරන්න හදනවා. අප පැහැදිළිව කියනවා ජවිපෙ කවුරුත් පක්‍ෂය දාලා යන්නේ නැහැ. මාධ්‍යවල වාර්තාවන ඇතැම් නම් පිළිබඳ කිසිදු සත්‍යයක් නැහැ. සමහර මාධ්‍ය අපේ පක්‍ෂයේ නායකයින්ගේ නම් පාවිච්චි කරලා ප‍්‍රවෘත්ති වාර්තා කළා. පුද්ගලිකව මටත්, බිමල් සහෝදරයාටත් ලාල්කාන්ත සහෝදරයාටත් විශාල දේශපාලන හානියක් සිදුකළා. අප පක්‍ෂය වෙනුවෙන් කළ කැපවීම්, සහ පක්‍ෂය වෙනුවෙන් තිබූ විශ්වාසය නොතකා ඇතැම් මාධ්‍යවේදීන් ජනතාව තුළ සැකයක් උපදින විදියට ප‍්‍රවෘත්ති නිර්මාණය කළා. එය අපිට පුද්ගලිකව සිදුකළ හානියක්. එම මාධ්‍යවේදීන්ට එරෙහිව අප නීතිමය ආකාරයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරනවා. එන්තරවාසි යවනවා. ජනතා විමුක්ති පෙරමුණේ සතුරන් ඒ විදියට සතුටු වෙයි. නමුත් අප පක්‍ෂයේ කිසිවෙක් සතුරන්ට සතුටු විය හැකි කිසිදු තීරණයක් ගන්නේ නැහැ. ජනතාව ජවිපෙ ගැන තැබූ බලාපොරොත්තු අබමල් රේණුවකින්වත් කඩ කරන්නේ නැහැ. පුවත්පත්වල පළකරවන බේගල්වලින් නොමඟ නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා.

ජනතාවට අප ගැන විශ්වාසයි. සෝමවංශ අමරසිංහ සහෝදරයා කියපු දේවල් පුවත්පත් වාර්තා කළා. ඔහුගේ අදහස්වලින් කොටසක් පමණක් ගන්න එපා. සම්පූර්ණ අදහස ගන්න. ඔහු කියා තිබුණා, මේ රටේ සමාජවාදය හදන එකම පක්‍ෂය ජවිපෙ කියලා. ඒ වගේම ජවිපෙ වත්මන් නායකත්වය ඉතා දක්‍ෂ හොඳ එකක් බවත් කිව්වා. ඒ වගේම ජනතා විමුක්ති පෙමුණ මේ වනතෙක් අමතපු නැති ජනතාවක් ඉන්නවා කියලත් කිව්වා. ඒ කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡාවක් කළ යුතුයි. ඉන් අනතුරුවයි නිගමනයකට ආ යුත්තේ. සෝමවංශ සහෝදරයා ජවිපෙ ගැන වැරැද්දක් කියලා නැහැ.

විමල් වීරවංශ පක්‍ෂය තුළ සිටියදී විනය විරෝධී වැඩ කළා. පක්‍ෂය තුළ කණ්ඩායම් හැදුවා. ද්‍රෝහී කණ්ඩායමක් ලෙස කටයුතු කළා. ඒ නිසා ඔවුන් පක්‍ෂයෙන් ඉවත් කළා. පෙරටුගාමී පක්‍ෂයේ අයත් පක්‍ෂය තුළ කල්ලි කණ්ඩායම් හදලා විශාල අවුලක් කරන්න ගියා. ඔවුන් පක්‍ෂයෙන් ඉවත් කළා. නමුත් සෝමවංශ අමරසිංහ සහෝදරයා එහෙම කෙනෙක් නෙවෙයි. විශාල අත්දැකීම් තිබෙන සහෝදරයෙක්. ඔහු පක්‍ෂයට ද්‍රෝහිකම් කළේ නැහැ. ඒ නිසා තමයි අපි ඔහු නැවත පක්‍ෂයට ගන්න සාකච්ඡා කරන්නේ. එසේ නොමැතිව එය දේශපාලන කුණාටුවක්, කැරැල්ලක්, අර්බුදයක් ලෙස පෙන්වීම වැරැද්දක්. අපගේ සතුරන් එයින් සතුටුවන බව අප දන්නවා. ඒකට අපේ බාධාවක් නැහැ. සෝමවංශ අමරසිංහ සහෝදරයා ඉදිරිපත් කළ කරුණුවලට එකින් එක උත්තර දෙන්න විග‍්‍රහ කරන්න අප බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එම කරුණු ගැන ඔහු සමඟ සාකච්ඡා කළ යුතුයි. එසේ නොමැතිව අදහස් දැක්වීම් සාධාරණ නැහැ. සෝමවංශ සහෝදරයා අපේ පක්‍ෂය ඇතුළේ ඇතැම් කරුණු පිළිබඳව අදහස් මතුකළා. ඒ වගේම තවත් පක්‍ෂ නායකයින් අදහස් ඉදිරිපත් කරනවා. ඇතැම් කරුණු ඉටු කරනවා. තවත් ඒවා සාකච්ඡා මට්ටමේ තිබෙනවා. එසේ නොමැතිව සෝමවංශ සහෝදරයා පිළිබඳව පක්‍ෂයෙන් නොසැළකිල්ලක් සිදුවෙලා නැහැ. ඔහු සමඟ සාකච්ඡා කරලා තමයි තේරුම් ගත යුත්තේ.

ජනවාරි 09වැනිදා අලූයම සිදුවුණු කුමන්ත‍්‍රණය ගැන කවුරුත් පිළිගන්නවා. සෝමවංශ අමරසිංහ සහෝදරයා ඒ පිළිබඳව අදහස් මතුකළා. අපිත් ඒ පිළිබඳව ගතහැකි කි‍්‍රයාමාර්ග ගැන සැළකිල්ලට ලක්කළා. ඒ අතර මංගල සමරවීර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ පැමිණිළි කළා. අප ඒ පිළිබඳ විමසිල්ලෙන් හිටියා. ඒ අතර ජාතික විධායක සභාවේ වැඩකටයුතුවල, ව්‍යවස්ථා සංශොධනය පිළිබඳව කටයුතුවල නිරත වූ නිසා පක්‍ෂය කාර්ය බහුල වුණා. ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ තව දුරටත් සාකච්ඡා කළ යුතුයි. ඔහු පක්‍ෂයෙන් ඉවත් වුණු 16වැනිදා සිට අප උත්සාහ කළේ ඔහු සමඟ සාකච්ඡා කිරීමටයි. 16වැනිදා මමත් සෝමවංශ සහෝදරයා මුණගැහුණා. නමුත් එදින ඔහුගේ කාර්යබහුලත්වය නිසා සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මම අද (19) උදෙත් ඔහු සමඟ දුරකතනයෙන් කතා කළා. ඒ වගේම අනෙකුත් අපේ පක්‍ෂයේ නායකයිනුත් ඔහු සමඟ කතාබහක සිටිනවා. නමුත් ඔහු හමුවෙලා සාකච්ඡාවක් කිරීමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා ඔහු ඉක්මනින් අවස්ථාවක් ලබා දෙන බවට අපට දන්වලා තිබෙනවා.

මීට පෙර පක්‍ෂය හැරගිය අය සමඟ සෝමවංශ සහෝදරයාගේ තීරණය සමාන කරන්න එපා. මීට පෙර ගිය සියලූ දෙනා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට ප‍්‍රශ්න තිබුණා. 1965 සිට පක්‍ෂය හැරගිය අය ඉන්නවා. ඒ සියලූ අවස්ථාවල යථාර්ථය වුණේ පක්‍ෂය හැරගිය අය දේශපාලනයෙන් අහෝසි වීමයි. නමුත් සෝමවංශ සහෝදරයාගේ සිදුවීම එවැනි සිදුවීමක් නොවේ. එය ඔහු පුද්ගලිකව හිතලා පක්‍ෂයෙන් ඉවත්වීමට ගත් තීරණයක්. ඕනෑම පුද්ගලයෙකුට දේශපාලන පක්‍ෂයක කටයුතු කොට ඉවත් වීමට තීරණ ගන්න පුළුවන්. සමහර මාධ්‍ය, ජවිපෙ සතුරන් කියන විදියට ගැටුමක් නොවෙයි. 16වැනිදා උදෙත් සෝමවංශ සහෝදරයා සමඟ මම පක්ෂයේ ලේඛන කටයුතු කිහිපයක නිරත වුණා. අපි අතර කිසිදු ගැටුමක් අර්බුදයක් තිබුණේ නැහැ. ඒ නිසාම ඔහු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. උපකල්පනවල සිට පිළිතුරු දීමට හැකියාවක් නැහැ.

සෝමවංශ අමරසිංහ සහෝදරයා පෙරටුගාමී පක්‍ෂය හා විමල් වීරවංශ ගැන අදහස් පළකොට තිබුණා. ඔහු පැහැදිළිව කියා තිබුණා, පෙරටුගාමී පක්‍ෂය සහ විමල් වීරවංශ දේශපාලනිකව අපායට ගිය අය කියලා. ඒ නිසා ඔහුට ඔවුන් පිළිබඳව නිවැරදි විග‍්‍රහයක් තිබෙනවා. අපේ රටේ අනෙකුත් පක්‍ෂවලින් පුද්ගලයින් ඉවත් වෙනවා. ඔවුන් නැවත එම පක්‍ෂ සමඟ කටයුතු කරනවා. එවැනි දේවල් සිදුවෙන්න පුළුවන්. දේශපාලන කුණු බක්කිවල ඉන්න අය මේ වගේ සිදුවීම් රසවත් ලෙස යොදාගන්නවා. අනුරුද්ධ පොල්ගම්පොල කියන්නේ දේශපාලන රූකඩයක් කියලා කවුරුත් දන්නවා. ඔහු මතුවුණේ පහුගිය ජනාධිපතිවරණය සමයේ. ඔහු පිටුපස ඉන්නේ කවුද කියලා රටම දන්නවා. එනිසා එවැනි කරුණු අපට අදාල නැහැ.

ඇතැම් කරුණු දේශපාලනිකව අහම්බයන් ලෙස පෙළ ගැසනෙවා. එනිසා එවැනි අහම්බයන්වලින් තීරණවලට එළඹිය යුතු නැහැ. මේ ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කරන්නත් කිසිදු කෙනෙකු වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා නොසිටීමටත් පක්‍ෂය තීන්දුවක් ගත්තා. ඉන් පසු හැදෙන ආණ්ඩුවට නොගිහින් සිටීමටත් ජාතික විධායක සභාවට සම්බන්ධ වීමටත් පක්‍ෂය තීරණය කළා. ඒ කිසිදු තීරණයක් සෝමවංශ සහෝදරයා විවේචනයට ලක් කළේ නැහැ.

සාමාන්‍යයෙන් ඕනෑම දේශපාලන පක්‍ෂයක් තම පක්‍ෂයට වාසි වෙන ආකාරයෙන් කටයුතු කරනවා. ඒක ප‍්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ මතුවී තිබෙන තත්වයෙන් පක්‍ෂයට වාසියක් ගන්න හදනවා කියලා මත ප‍්‍රකාශවෙන එක වැරදියි. පැහැදිලිව කියන්න ඕනෑ අපේ පක්‍ෂයට පුද්ගලිකව වාසි ගන්න අපි කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ. අපි තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන් වැඩ කරන්න. අපිට ඕනෑනම් ඇමතිකම්, තනතුරු, වාහන ඕනෑතරම් ගන්න තිබුණා. නමුත් ඒ කිසිදු දෙයක් අපි ආණ්ඩුවෙන් ලබාගත්තේ නැහැ.
– ලංකා ට්රුත්

Archive

Latest news

Related news