Wednesday, January 15, 2025

මහපරිමාණ දූෂණ වංචා 5 ට ප්‍රබලයෝ හයක් කොටු වෙති!

මහා පරිමාණ දූෂණ වංචා චෝදනා 5 ක් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ දේශපාලනඥයන් තිදෙනකු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසුවේය.

එමිල් කාන්තන් හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, දිවි නැඟුම අරමුදල් භාවිත කරමින් සිදු වූ දූෂණ වංචා, ඇවන්ගාඩ් සමාගමේ සිදු වූ ගනුදෙනු, ආදායම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදීම සහ කළු සල්ලි යොදවා මෙරට ව්‍යාපාරයන්හි නියැළීම යන ‍‍චෝදනා සම්බන්ධයෙන් මේ හිටපු ප්‍රබලයන් අත්අ‍ඩංගුවට ගැනීමට නියමිතය.

මේ පරීක්ෂණවල මූලික විමර්ශන කටයුතු දැනටමත් අවසන් කොට ඇති බවත්, නීතිපති උපදෙස් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම් සිදු වනු ඇති බවත් මේ පිළිබඳ ‘සිළුමිණ’ ට කරුණු අනාවරණය කළ රජයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ගුවන් තොටුප‍ළේදීම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය සූදානමින් සිටී. දිවිනැඟුම අරමුදල් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවට ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දී තිබිණි.

එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවත් දේශපාලනඥයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවල මූලික විමර්ශන අවසන්ව ඇති බව කොමිසමේ ආරංචි මාර්ග ‘සිළුමිණ’ ට ප්‍රකාශ කළේය. ඔවුන් සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නීතිපති උපදෙස් අනුව සිදු කෙරෙනු ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග කියයි.

– සිළුමිණ

Archive

Latest news

Related news