Friday, March 29, 2024

කුඩු ජාවාරම්කාර වෙලේ සුදාගෙන් හිටපු පොලිස්පතිට බංගලාවක්

( ගජයෝ: ගෝඨා සහ මහින්ද බාලසූරිය)

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින විශ්‍රාමික පොලිස්‌පතිවරයාට වෙලේ සුදා විසින් රුපියල් කෝටි ගණනක මුදලක්‌ වැය කර සුවිසල් මන්දිරයක්‌ ඉදිකර දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

වෙලේ සුදා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම සහ අධීක්‍ෂණය යටතේ මෙම සුවිසල් මැඳුර ඉදිකිරීමේ කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ.

විශ්‍රාමික පොලිස්‌පතිවරයා සිය ධුරයේ රාජකාරි කරන කාලසීමාවේදී මෙම නිවස ඉදිකර තිබිණි. වෙලේ සුදා මෙම නිවස ඉදිකර දී හිටපු පොලිස්‌පතිවරයාගෙන් සිය ජාවාරම් කරගෙන යැම සඳහා විවිධ උපකාර ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇත. වෙලේ සුදා විශ්‍රාමික පොලිස්‌පතිවරයාට හිතවත් කර දී ඇත්තේ මන්ත්‍රීවරයා විසිනි.

කැලණිය කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල ඉඩමක ඉදිකර ඇති මෙම සුවිසල් මන්දිරය පොලිස්‌පතිවරයාගේ නිල නිවසේ ආකෘතියට අනුව නිර්මාණය කර ඇති බව ද වාර්තා වෙයි. මෙම නිවසට පොලිස්‌ ආරක්‍ෂාව ද ලබා දී තිබෙන බව හෙළිවී ඇත.

මෙම සුවිසල් නිවසේ ඉදිකිරීම් කටයුතු මෙහෙයවා ඇත්තේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු විසින්ය. නිවස ඉදිකිරීම සඳහා වැය වූ කෝටි ගණනක මුදල ලබා දී ඇත්තේ වෙලේ සුදා විසින් බව ද හෙළි වී තිබේ.

මෙම චෝදනා එල්ල වී තිබෙන විශ්‍රාමික පොලිස්‌පතිවරයා මේ වන විට රටින් පලාගොස්‌ සිටී. ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා පාකිස්‌තානයේදී අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

වෙලේ සුදාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර විශ්‍රාමික පොලිස්‌පතිවරයා සහ කොළඹ මන්ත්‍රීවරයා සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සහ ගනුදෙනු පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ මොහු විසින් හෙළිදරව් කර තිබේ.

– ශ්‍රි ලංකා ගාර්ඩියන්

Archive

Latest news

Related news