Wednesday, April 24, 2024

තීරණාත්මක උදෑසනකින් වැළකී ගිය ශ්‍රී ලංකා ලේවිල – සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂ ද රාජපක්ෂ බෑයන් ද පුත්‍රයන් ද දැන් සාන්තුවරයින් ය. රාජපක්ෂ ලැජ්ජාවක් නැතිව මේ ‘යහ පාලනයද’ යි අසන්නේ තම දුරාචාර පාලනය යටතෙහි විරුද්ධවාදීන් මත මුදා හැරි මෘග පාලනය මෙරට ජනයාට මෙළහකට අමතක වී ඇතැයි සිතා ගෙන විය යුතුය.

ජනාධිපතිවරයාගේ පුතා වීම පාපයක් ද කියා නාමල් රාජපක්ෂ අසන්නේ පියාගේ බල මහිමයෙන් කරන ලද දුෂ්ඨ සහ නින්දිත බලහත්කාරයන් මෙරට ජනයා නොදන්වා සේ ය.

සිය අමාත්‍යංශ ගිනුමෙහි නීති විරෝධී ලෙස රුපියල් බිලියක 13ක් තබා ගත් ගොඨාභය එය සධාරණ කරන්නේ අයියාගේ ඇමැති මණ්ඩලය තමාට ඒ සඳහා අවසර දුන් බව කියමිනි.

එපමණක් නොව රට බේරා ගත් නායකයින් සහ යහපාලනයේ ආරක්ෂකයින් වීමට තප්පුලන රාජපක්ෂවරුන් ජනාධිපතිවරණයෙන් පරාජය වන බව දැන ගත් වහාම ශ්‍රී ලංකාව ලේ විලක හෝ ගිල්වා සිය බලය රැකගැනීමට ගැනීමට සූදානම් වූ බියකරු උත්සාහය දැන් පැහැදිළිව හෙළිදරව් වී තිබේ.

තනි පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු මත දේශයක අනාගතය රඳා පවතින අවස්ථා නිර්මාණය වන්නේ අතිශය කලාතුරකිනි. අපේ ශ්‍රී ලංකාවෙහි පසුගිය ජනවාරි 08 සහ 09 යන දිනයන්හි උද්ගතව තිබූයේ අන්න එවැනි තීරණාත්මක මොහොතකි. රාජපක්ෂ භීෂනය සහ කුප්‍රෙයෝග පරදවමින් පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආපස්සට හරවනු පිණිස ජනවාරි 09 දින අරලිය ගහ මන්දිරයේ සිට සැළසුම් කල කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම් ශ්‍රී ලංකාව අද ලේ විලකි.

‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය’ නම් එකතුව විසින් සකස් කරන ලද ලිපියක ඇඟ ලොමු දැහැ ගන්වන මෙම කුමන්ත්‍රණ සිදුවීම් මාලාව විස්තර කර තිබේ.

නීතිපති යුවන්ජන් විජයතිලක මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙස පසුගිය 9වන දින අළුයම තුනට පමණ කැඳවීමක් ලැබුණි. එයට පැය කිහිපයකට පෙර පනාගොඩ හමුදා කඳවුරෙහි හමුදා ඛන්ඩ ගණනාවකට කොළඹ සහ තදාසන්න පෙදෙස්හි ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන ගණනාවක් අපට රැස්වන ලෙස නියෝග ලැබී තිබුණි.

අරලියගහ මන්දිරයට යෑමට පෙර නීතිපති විජයතිලක මහතා සොලිසටර ජනරල් (නියෝජ්‍ය නීතිපති) බිම්බා තිලකරත්න මහත්මියට කතා කොට තමාට අරලිය ගහ මන්දිරයට කැඳවීමක් ඇති බවත් අවශ්‍ය වුවහොත් තමාට නීති උපදෙස් ලබා දීම පිනිස සූදනමින් සිටින ලෙසත් කියා සිටියේ ය. අරලිය ගහ මන්දිරයට යත්ම ඔහු වහාම රුස්වීම් කාමරයකට ගෙන යන ලදි. එහි දුටු දෙය මවිතකර විය.

ජනාධිපති රාජපක්ෂ සහ සොයුරු ගොඨාභය රාජපක්ෂ ද විදේශ ඇමැති ජී. එල්. පීරිස්, පළාත් සභා මංත්‍රී උදය ගම්මන්පිළ සහ අගවිනිසුරු මොහාන් පිරිස් ද එහි විය.

මෙම පිරිස නීතිපතිවරයාගෙන් විමසා සිටියේ ජන්ද ගණන් කරන මධ්‍යස්ථාන කිහිපයක කළබල ඇතිවී එය මර්දනය කිරීමට යුද හමුදාව යොදවා හදිසි නීතිය පනවා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට ජනාධිපතිවරයාට නීතිමය ආවරණයක් ඇත්ද යනු ය. එසේ නම් වහාම එම නියෝග පොලිස්පතිවරයට සහ යුද හමුදාපතිවරයාට නිකුත් කිරීම රාජපකෂවරුන්ගේ දුෂ්ඨ සැළැස්ම විය.

මෙම ප්‍රශ්ණයට සුපැහැදිළි පිළිතුර නීතිපති දැන සිටියේ ය. එනම් ජනාධිපති හෝ වෙන යම් කිසිවකුට හෝ මැතිවරණ කොමසාරිස්වරයාගේ අභිමතයට ඉහලින් යෑමට කිසිදු ව්‍යවස්ථාදායක ප්‍රතිපාදනයක් නැති බවයි. එසේ නමුත් නීතිපතිවරයා කියා සිටියේ තමාට මේ සම්බන්ධයෙන් සොලිසටර ජනරාල්ගෙන්ද අදහස් විමසිය යුතු බවයි. එසේ කී නීතිපතිවරයා පිරිස ඉදිරියෙහිම සියලු තතු බිම්බා තිලකරත්න වෙත පැහැදිළි කර ඇයගේ අදහස විමසීය. මේ වනාහී කුමන්ත්‍රණ සැලැස්ම වහාම පිටතට දැන්වීමට යොදා ගත් උපක්‍රමයකැයි කියනු ලැබේ. තිලකරත්න මහත්මිය ද මේ මහත් අනතුර දැක වහාම නීති උපදෙසක් ලබා ගැනීමේ මුවාවෙන් තවත් නීතිවේදියකුට මෙම කාරණය පැහැදිළි කළා ය.

කවර හෝ නීතිමය කරුණක් ගැන අවසාන තීන්දුව දීම බාරව සිටින අග විනිසුරු මෙම සකච්ජාවෙහි සිටියේ රාජපක්ෂගේ සැළැස්මට තම අනුමැතිය ඇති බව පෙන්වීමට ය. මහාජනයා විසින් ස්වකීය ජන්දය ප්‍රකාශ කොට ඇති අවස්ථාවකදී එහි තරඟකරුවකු වන ජනාධිපතිට අගවිනිසුරු සිය නිවෙසට කැඳවීමට බලයක් නැති සේම අගවිනිසුරුවරයා එහි යාම අගවිනිසුරු ධුරය බලවත් අපචාරයකට ලක් කිරිමක් ද වෙයි.

එලඹ තිබුනේ ශ්‍රී ලංකාවේ තිරණාත්මක හොරාවයි. නීතිපති සහ නියෝජ්‍ය නීතිපතිගේ වචනය මත යුදහමුදාව හෝ පොලීසියට නියෝග දීමට රාජපක්ෂ අවි අමොරා ගෙන සිටියේ ය. නියමානුකූල නීතිමය ආවරණයක් නැතිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් සූදානම් නැති බව මේ වන විට පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා ජනාධිපති රාජපක්ෂගේ කුමන්ත්‍රණ ඉල්ලීමට පිළිතුරු වශයෙන් කියා සිට තිබුණි.

එම තීරණාත්මක පැයෙහි දී  නීතිපති සහ නියෝජ්‍ය නීතිපති ඉතිහාසයේ කැඳවීමට අනුගාමිකයින් ලෙස නොව ගරු කටයුතු ස්වාධීන පුරවැසියන් ලෙස මුහුණ දුන්හ. මැතිවරණ කොමාසරිස්වරයා විසින් ප්‍රතිඵල ප්‍රකාශ කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයාට කවර හෝ නීතිමය සහ ව්‍යවස්ථානුකූළ අධිකාරයක් ඇතැයි සහතිකයක් දීමට තමන්ට නොහැකි බව ඔව්හු ජනාධිපති රාජපක්ෂට කියා සිටිය හ.

ඇත්ත වශයෙන්ම නම් මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, නීතිපති සහ නියෝජ්‍ය නීතිපතිවරයා එම රාත්‍රියෙහි දී නියෝජනය කළේ වෙනසක් අපේක්ෂාවෙන් ජන්දය ප්‍රකාශ කර තිබූ හැට ලක්ෂයක් පුරවැසියන්ගේ ගරුත්වය සහ අභිමානය යි.

එය එසේ නොවී නීතිපති ධුරයෙහි මොහාන් පීරිස් හෝ ජී.එල්. පීරිස් වැනි වන්දිභට්ට නීති වෘත්තිකයින් යෙදී සිටියේ නම් ද පොලිස්පති ධුරයේ අනුර සේනානායක හෝ මහින්ද බාලසූරිය වැනි දේශපාලන අළුගොසුවන් සිටියේ නම්ද එම සුන්දර උදෑසන භයංකාර රාත්‍රියක් වීමට නියමිතව තිබුණි.

අද සාන්තුවරයින් වීමට කතා කරන රාජපක්ෂවරුන්ද ඔවුන්ගේ පශ්චාත්භාගය ඉව කරමින් ආතල් ගන්නා වාසුදේවලාගේ සිට ගම්මන්පිළලා දක්වා ද එම දුෂ්ඨ සැලැස්ම අනුව ගලා යාමට නියමිත වු ලේසාගරයේ දිය බුං ගසමින් ප්‍රිතියෙන් පිනා යමින් සිටින්නට තිබුණි.

රාජපක්ෂවරන්ගේ සැළැස්ම ක්‍රියාත්මක වී මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම පිණිස බලය යෙදෙවනු ලැබුවේ නම් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන

සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රධාන ගොදුරු බවට පත් වීමට ඉඩ තිබුණේයැයි දේශපාලන විචාරයක යෙදෙන සම්මානීය ලේඛිකා දරීශා බැස්

-ටියන් ලියා තිබුණි.

එවැනි තත්වයක් උද්ගත වුයේ නම් ඊට එරෙහිව විපක්ෂයේ ක්‍රියාකාරි පිරිස් බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණේ සහ අනෙක් සටන්කාමී විපක්ෂ දේශපාලනඥයින්ගේ නායකත්වයෙන් වීදි බැසීමට ඉඩ තිබුණි. එසේ වී නම් එම ජනයා මර්දනය කරමින් ගෝඨාභය රාජපක්ෂගේ ආයුධ සන්නද්ධ රත්නා ලංකා බලකාය මෙන්ම නාමල් රාජපක්ෂගේ නිල් බලකාය ද වෙඩි වරුසා වස්වමින් ශ්‍රී ලංකාව ලේ විලක් කරන්නට තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ විසින් බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි ගබඩා කර තිබූ ගිනි අවි 3000ක්ට වඩා ඒ වන විටත් බෙදා හැර තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ එම ආයුධ ආ ගිය අතක් සොයා ගැනීමට නැති නිසා ය. ගාලු වරායේ නැවක ගබඩා කර තිබූ ආයුධ කන්දරාවද වහාම නිල් බලකායේ දාමරික පිරිස් අතට ඉක්මනින්ම ලැබෙන්නට ඉඩ තිබුණි. පිස්තෝල නගරාධිපති හම්බන්තොට විපක්ෂ සංහාරයට නායකත්වය ද ගාලු සංහාරයට මුතුහෙට්ටිගමගේ නායකත්වයද පත් වන්නට හොඳටම ඉඩ තිබුණි.

එස්.බි. දිසානායක හිටපු ජනාධිපතිනි කුමාරතුංග සොයා ආයුධ සන්නද්ධ දාමරිකයින් මෙහෙයවත් දී  මහින්දාන්නද මහනුවර සංහාරයට නායකත්වය දෙන්නට තිබුණි. කොළඹ ලේ ගංගාවෙහි අයිතිය ගැනීම පිණිස වීරවංස සමඟ බොහෝ දාමරික දේශපාලනඥයෝ පොරකමින් සිටින්නට තිබුණි.

9 දා උදෑසන මැතිවරණ ප්‍රතිඵල නතර කොට තමා හදිසි නීතිය පනවා බලය ලබා ගත් බව රාජපක්ෂ විසින් ප්‍රකාශ කලේ නම් ඒ වනාහී රාජපක්ෂවාදී ප්‍රාදේශීය දාමරික දේශපලනඥයින්ට බිහිසුණූ මර්දනයක් දියත් කරන්නට කැරෙන ඇරයුම වන්නට හොදටම ඉඩ තිබුණි. එවැනි තත්වයක් යටතේ රට පුරා ඇතිවන්නට තිබූ තත්වය සිතා ගැනීමට බැරි තරම් බිහිසුණු වන්නට තිබුණි.

කෙටියෙන් කියන්නේ නම් 9දා උදැසන රාජපක්ෂවරුන්ගේ දුෂ්ඨ සැළැස්ම ක්‍රියාත්මක වී නම් එහි අරමුණ වන්නේ රාජපක්ෂ පාලනය දශක ගණනාවකට මෙරට තහවුරු කර ගැනීම ය. ඒ සඳහා කොතරම් ජිවිත විනාශ කළ යුතුද යන්න රාජපක්ෂවරුන්නට උතුරෙහිදී මෙන්ම දකුණෙහි දී ද ප්‍රශ්ණයක් නොවේ.

එම දුෂ්ඨ සැළැස්මේ මාර සේනාව බවට ගෝඨභයගේ රත්නා ලංකා සහ අනෙක් මිනීමරු කල්ලි ද නිල් බලකාය යනාදීන් ද පත් වීමට නියමිත විය. රාජපක්ෂවරුන්නට සදා කල් බලයේ සිටීමට අවශ්‍ය පරිදි විපක්ෂික ක්‍රියාධරයින් සහමුළින්ම සුද්ධ කිරීමේ දැවැන්ත මෙහෙයුමක් රට බේරා ගැනීමේ දෙවැනි දේශප්‍රේමී මෙහෙයුම ලෙස දියත් වී  මේ වන තුරුත් ඝාතනයන් සහ අත් අඩංගුවට ගැනීම් සිදු වෙමින් තිබෙන්නට ඉඩ තිබුණි.

හුදු යුද්ධමය මනසක් පමනක් ඇති ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයකු අතට 9දා කුමන්ත්‍රණයෙන් පසු බලය පවරනු ලැබී නම් අහෝ දෙවියනි, කි දහසක් මේ වන විට ඝාතනය කරන්නට ඉඩ තිබුණි ද?

අනුර සේනානායකලා මහින්ද බාලසූරියලා පොලීසිය සිය අණසකට ගෙන දැවැන්ත පරිමාණ අත් අඩංඟුවට ගැනීම් සහ ඝාතනයන් ට අණ දෙන්නට තිබුණි. බොදු බල හමුදාව මුස්ලිම් පෙදෙස්හි නැසූ විරූ මර්දනයක හිමිකරු වන්නට ද දෙමළ පෙදෙස්හි දරුණු යුද්ධ මර්දනයක් ද දියත් වන්නට ද ඉඩ තිබුණි.

මෙම සැළැස්ම හුදෙක් භයංකර සිහිනයක් ලෙස පමණක් අපේ ඉතිහාසයට එක්වීම ජනාධිපතිවරණ ජයග්‍රහණය හා අසම සම වාසානාවකි.

එසේ නමුත් එකී බිහිසුණූ කූටෝපායේ සැබෑ තතු හෙළි කිරීම ද එවැනි දුෂ්ඨ සැළැස්මක් පිඹුරුපත් කළ රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ කිසිදු අතරමැද සාමදානයකින් තොරව ප්‍රසිද්ධියට පත්කිරීමද අද අතවශ්‍ය ය. මන්ද යත් වෙස් බැඳ යලි පාළියක් නටන්නට දඟ‍‍ලන නැටීම වැළැක්විය හැක්කේ මහා ජනයාට ඇත්ත පෙන්වා දීම මගින් පමණක් නිසා ය.

 

Archive

Latest news

Related news