Saturday, April 27, 2024

ඉල්ලං කෑමට පෙර හොර අග විනිසුරු පීරිස් පන්නන ජන බලය කැදවනු! – සුනන්ද දේශප්‍රිය

( ඒ ජන බලය යළි කැඳවනු)

හොර අගවිනිසුරු මොහාන් පිරිස් දැන් මෛත්‍රී – රනිල් ආන්ඩුව තුට්ටු දෙකකට දෑමිමට සැරසෙයි. තමා ඉල්ලා අස්වීමට කැමැති බව මෙම හොර දෙටුවා නව ආණ්ඩුවට දෙවරක්ම අඟවා සිටියේ පසුගිය දින දහය ඇතුළත ය. පළමුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිවේදියෝ පැවැත් වූ උද්ඝෝෂනය හමුවේ මොහාන් පීරිස් ඇඟවූයේ තමා පාප්තුමාගේ සංචාරයෙන් පසු ඉල්ලා අස්වන බවයි.ඉන් අනතුරුව මෙයට දෙදිනකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහට ද හොර විනිසුරු මොහාන් එම පොරොන්දුවම දුන්නේ ය. ඇමැති රාජිත සේනාරත්න අගවිනිසුරු ඉල්ලා අස්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ජනමාධ්‍යට කීවේ ඒ අනුව ය.

අද සිය ප්‍රකාශකයා යැයි කියන තවත් හොර නිතිඥයකු ලවා හොර අග විනිසුරු ප්‍රකාශ කළේ තමා ඉල්ලා අස්වන බවට වන ජනමාධ්‍ය වාර්තා බොරු බවයි. එමගින් පීරිස් කියා සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රාජිත සේනාරත්න බොරුකාරයින් බව ය.

කණගාටුවට කාරණය වන්නේ හැට ලක්ෂයක ජන බලයක් තිබුණ ද මොහාන් පිරිස් විසින් බොරුකාරයින් යැයි කියන ලද රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න කටක් ඇර මේ හොර විනිසුරුට කන පැළෙන උත්තරයක් තවම දී නැති කමයි.
අපටත් ලැජ්ජාවකි.

ඉල්ලා අස්වීමට සූදානමින් සිටි මේ නීති විරෝධී අගවිනිසුරු පිරිස් හදිසියේම මෙවැනි චන්ඩියකු වූයේ කෙසේද ඇයි ද යන්න මොලේ කළදක් හෝ ඇති ඕනෑම අයකුට තේරුම් යා යුතු ය.
මොහාන් පිරිස් හදිසියේ චන්ඩියකු වී ඇත්තේ භීෂනකාරි දාමරික රාජපක්ෂ කල්ලියෙන් ලද සංඥා අනුව බව අපි ස්ථිරවම කියමු. නව ආණ්ඩුවට එරෙහිව රාජපක්ෂවරුන්ගේ කූඨ සැළසුමක තීරණාත්මක කොටසක් රඟපෑම මොහාන් පීරිස් විසින් බාර ගෙන තිබේ.

මෙය සෙල්ලමක් නොවේ. ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්ණයකි. අගමැති රනිල් වික්‍රමසිංහ මොහාන් පිරිස් පිලිබඳ ප්‍රශ්ණය සිය අතවැසි තිලක් මාරපන ලවා ගොඩින් විසඳා ගැනීමට බලන විට පිරිස් සිය පුරුදු යටි කූට්ටුකම් මගින් රාජපක්ෂ නඩය යළි බලයට ගෙන ඒමට සිහින මවයි.

පසුගිය ජනවාරි අටවනදා මෙරට සිදුවූයේ ජනතා නැගිටිමකි. එම ජනතා නැගිටීමේ ප්‍රවේගය යොදා ගනිමින් මොහාන් පිරිස් වැනි කුණු කන්දල් එක පහැර සෝදා හැරිය යුතුව තිබුණි. ඒ දැන් වෙනුවට පෙනෙන්නේ ඩීල් නොහොත් උපාමාරු දැමිම මගින් මොහාන් පිරිස් ඉවත් කිරීමට කන් කෙඳිරි ගෑමකි.

2002 – 2004 අවධියෙහි එවකට දේශපාලන අගවිනිසුරුවරයකු වූ සරත් නන්ද සිල්වාට එරෙහිව ගෙන ඒමට සූදානම් කරන ලද දෝශාභියෝගයන් වැළැක්වූයේ ද එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ ය. අවසානයේ දී සරත් නන්ද සිල්වා රනිල්ට පා පහර දී අගවිනිසුරු ලෙස මහින්ද රාජපක්ෂට ජනාධිපතිවීමට පාර කපා දුන්නේ ය.

2004 වසරෙහි දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමැති ධුර තුනක් එවකට ජනාධිපතිනිය වූ කුමාරතුංග විසින් පැහැරගත් අවස්ථාවෙහි සිය රට බලා එමින් සිටි අගමැති වික්‍රමසිංහ පිළිගැනීමට කටුනායකට එක් වූ උද්යෝගිමත් දස දහස් සංඛ්‍යාත ජනයාට තමා ඇමැතිධුර පිළිබඳ ප්‍රශ්ණය විසඳා ගන්නා බව කී ඔහු ගොදර ගොස් නිදා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. අන්තිමේ දී ආණ්ඩුව විසුරුවා හරින තුරුම රනිල් වික්‍රමසිංහ සිටියේ එම පිළිවෙතෙහි ය‍.
දැනවත් එම පසුගිය පරාජිත අත් දැකීම්වලින් ඉගෙන ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය යුතු ය.

රාජපක්ෂවරුන් බලයේ තබා ගැනීම පිණීස අරලිය ගහ මන්දිරයට ගොස් කුමන්ත්‍රණයේ යෙදුණු හොර විනිසුරු පීරිස් සම්බන්ධයෙන් ඩීල් දේශපාලනය හරි යන්නේ නැති බව අද තේරුම් ගැනීම තීරණාත්මක ය. මොහාන් පිරිස් තවමත් යෙදී සිටින්නේ එම කුමන්ත්‍රණයේ ම ය. අගමැති වික්‍රමසිංහ සහ ඇමැති සේනාරත්න බොරුකාරයින් යැයි බියනැතිව කියන්නේ රාජපක්ෂවරුන්ගේ බලයට ඒමේ කුමන්ත්‍රණය පිළිබඳ ඇති විශ්වාශය නිසා ය.

9වැනි දින අළුයම පරාජය නොතකා දිගටම බලයේ සිටිමට සාකච්ජා කරමින් සිටි රාජපක්ෂ ජන්ද මැසිමෙහි මර්මස්ථානය වූ අරලිය ගහ මන්දිරයට යෑම පමණක්ම මේ හොර අග විනිසුරු පන්නා දමීමට ප්‍රමාණවත් ය. එවැනි එඩිතර පියවරක් ගත නොහැකි නම් මේ අලුත පත් වූ ආණ්ඩුව මඩු වලිගයෙන් තැළුම් කෑ මට තරම් යෝග්‍ය ය.

ජනවාරි 08 වන දින සිදුවූයේ විපක්ෂය විසින් මහා ජනයා ජන්ද පොලට ගෙන ඒමක් නොව මහා ජනයා විසින් විපක්ෂය ජන්ද පොළට ගෙන ඒමය. තවම එම බලවේග ජව සම්පන්න ය. මෙම අවස්ථාවෙහි මෙම ජනයාගේ බලය මුළු ගන්වා හොර විනිසුරු පිරිස් පළවා හැරිමේ කාරිය දියත් කළ නොහැකි නම් හැට ලක්ෂයක ජනයාගේ ජන්ද බලයක් ඇති මෛත්‍රී – රනිල් ආණ්ඩුවෙන් ඇති ඵලය කුමක් ද?

නීති විරෝධී ලෙස පත් වූ පීරිස් පහ කිරිමට ජන බලය නම් නීතිය යොදා ගත යුතු හෝරාව දැන් පැමිණෙමින් තිබේ. මේ එලඹෙන්නේ මෛත්‍රී – රනිල් ආණ්ඩුවට පුළුවන්ද බැරිද යන්න තීරණය වන මොහොතයි. පිස්සු බල්ලාට දියට වැටුන පසු පහර දෙනු යැයි කීවේ මා ඕ සේතුං ය. දැන් සියලු පිරිස්ලා ඉන්නේ දියට වැටී ගොඩ ඒමට ඉවුරක් සොයමිනි. මේ පිස්සු බලු රෑනම දියෙහි දී ම දේශපාලන අවසානයකට ගෙන ඒම අද අප මුහුණ දෙන මූලික අභියෝගය යි. පරාජිත දුෂ්ඨ ඒකාධිපති සතුරාට යළි බලමුලු ගැන්වීමට ඉඩ නොදි පහරදිය යුතු ය. අද ඒ පහර එල්ල විය යුතු කේන්ද්‍රය මොහාන් පිරිස් ය. මන්ද යත් පීරිස් බලයෙන්ම අගවිනිසුරු ධූරයේ රැදි සිටින්නේ රාජපක්ෂවරුන්ගේ දුෂ්ඨ මිනිමරු කූටෝපායේ නාභිය ලෙස නිසා ය.

පීරිස්ට පාඩම ඉගැන්විය යුත්තේ ජන බලයෙනි. එවැනි ජනබලයක් කැඳවිමට වහාම පෙරමුණ ගැනීම රාජපක්ෂ ඒකාධිපතිත්වය පෙරළිමට එක් වූ සියලු බලවේගයන්ට බාර කරමු. එක්සත් සාමුහික එකතුවකින් මොහාන් පිරිස්ගේ කන් දෙදරවමු. අගවිනිසුරු පුටුවෙන් පන්නමු. දුෂ්ඨ රාජපක්ෂ නඩය හිරි වට්ටමු.

ලක්ෂයක් ජනයා කැදවා මොහාන් පිරිස් එළවීම සාර්ථක කරමු. ඒ ලබන ජවයෙන් අලිබබා පමණක් නොව හොරු හතලිහ ද සත් සමුදුරෙන් එපිටට පන්නමු.

එසේ නොකළහොත් සිදුවනු ඇත්තේ යළිත් වතාවක් ඉල්ලා ගෙන කැමට ය.

Archive

Latest news

Related news