Friday, April 19, 2024

රට බේරුනේ අනූ නමයෙන්? – රංජිත් හේනායකආරච්චි

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’ සමාගම සහ ‘ඇවන් ගාඩ්’ ආදී පුද්ගලික සමාගම්වලට බව පැවසේ. මේ වන විට ගාල්ල වරායේ නාවික හමුදා භූමිය තුලද මෙවැනි අවි ගබඩා තුනක් සීල් තබන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරිය නියම කළ බව සඳහන් වේ. ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මෙම අවිගබඩා පවත්වාගෙන ගොස් ඇත්තේ පුද්ගලික සමාගම් වන රත්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගමයි.

පසුගිය රජය පෙරලී ගත වන මේ දින ගණන වන විට එලිදරව් වෙමින් තිබෙන නීතිවිරෝධී ක්‍රියාවන් සීමාවක් නොමැති තරම්ය. රජයේ දේපළ, පුද්ගලික පරිහරණ යට ගැනීම මෙන්ම ජනාධිපති සේවාව සඳහා තිබූ රථවාහන වලින් විශාල ප්‍රමාණයක්ද අතුරුදහන් වී මේවා පසුගිය රජයේ හිතවතුන් ළඟ තිබී හමුවෙමින් පවතී. දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය දහස් ගණනකි. නමුත් මේ සියල්ලටත් වඩා භයානක ක්‍රියාවක් වන්නේ රජයක් විසින් නීතිවිරෝධී අවි ගබඩා පවත්වාගෙන යෑමයි. මේ වන විට දිනෙන් දින එලිදරව් වෙමින් තිබෙන ආකාරයට මේ අවි ගබඩා හතු පිපෙන්නාක් සේ තැනින් තැන මතු වෙති. එම ආයුධ ගබඩා භාරව සිට ඇත්තේ එසේ නැත්නම් මේවා පවත්වාගෙන ගොස් ඇත්තේ පැවතුණු රජයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ගජමිතුරන් වන විශ්‍රාමික ඉහළ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් බව පැවසේ.

මෙසේ ගබඩා කර ඇත්තේ ආයුධ දෙක තුනක් නොවන බව ආයුධ දස දහස් ගණනින් බව පැවසේ. පුවත්පත්වල සඳහන් වන පරිදි බණ්ඩාරනායක පරිශ්‍රය තුල පමණක් ටී 56 අවි 2300ක්,

84 එස් ගිනිඅවි 670 ක්, එල්එම්ජී 385ක්, බෝර 12 රිපීටර් 79ක්, ඇතුළු ආයුධ ප්‍රමාණයක් එහි තබා ගැනීමට ලබා දී ඇත. මේවා අතරින් දැනට එහි ඇත්තේ ආයුධ 151 ක් බව පැවසේ.

පුවත්පත්වලට අනුව ටී 56 අවි 2256 ක්, 84එස් අවි 335ක්, එල්එම්ජී353 ක් සහ බෝර 12 රිපීටර් 50 ක් අතුරුදහන් වී ඇති බව සඳහන්ය. මේ එක ආයුධ ගබඩාවක සහ එහි සිදුව ඇති

අක්‍රමිකතාවයන් ගැන කියවෙන කතාවකි.

මුලින්ම මෙවැනි අවි ගබඩාවක් පවත්වා ගැනීම නීතියට එරෙහිය. දෙවනුව එය මෙවැනි තැනක පවත්වා ගැනීම නීති විරෝධී මෙන්ම අති භයානයකය. තුන්වැනිව එම ආයුධ වගකීමකින් තොරව අතුරුදහන්වීම නීති විරෝධී වනවා මෙන්ම අති භයානකය. එසේනම් මේවාට වගකිව යුත්තන් කවුරුන් වුවත් ඔවුන් රටේ පවතින නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

එලිවෙමින් පවතින ආයුධ ගබඩා සහ මෙතෙක් එලිනොවූ ආයුධ ගබඩා තව කොපමණ තිබේද? ඒවා කුමන අරමුණක් පෙරදැරිකරගෙන පවත්වාගනු ලැබුවේද? ආරක්ෂක අමාත්‍යංශය සහ එහි ඉහළ නිලවල සිටි අය එසේ නම් ආරක්ෂක යන නමින් පවත්වා ගෙන ගොස් ඇත්තේ රටේ ජනයාගේ අනාරක්ෂාවට තුඩු දෙන අමාත්‍යංශයක් නොවන්නේද? මෙම ආයුධ ගබඩා පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය මීට වඩා යොමුවිය යුතු යැයි මගේ හැගීමයි.

මේ සමගම අපි මොහොතකට ජනාධිපතිවරණය දින රාත්‍රිය තුල සිදුවීමට ගිය රාජ්‍ය කුමන්ත්‍රණය දෙසට හැරෙමු. නීතිපතිවරයාගේ අප්‍රතිහත මැදිහත්වීම සහ යම් යම් නිලධරයන්ගේ තීරණාත්මක තීන්දු නිසාත් පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා නීති විරෝධීව දෙන තීරණයකට එකග නොවන බව පැවසූ නිසාත් එදා රාත්‍රී විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි ගැනීමකින් සිදුවීමට ගිය රාජ්‍ය කුමන්ත්‍රණයක් වැලකුණ බව එලිදරව් වෙමින් පවතී. මෙම කුමන්ත්‍රණය සිදුවූවා නම් රට අද මුහුන දෙන අභාග්‍යසම්පන්න ඛේදවාචකය කුමන ආකරයක් ගනු ඇත්ද කියා රූපයක් මවා ගැනීමට අපට පසුගිය වසර 10ක මහින්ද කල්ලියේ පාලන සමයේ ඔවුන්ගේ මැරයන් සහ පොලීසිය එක්ව ක්‍රියාකළ ආකාරය නැවත මතක් කර ගැනීමට සිදුවේ. එමෙන්ම මෙහිදී අපට ජාත්‍යන්තර අත්දැකීම් වලින්ද යමක් ඉගෙන ගත හැක.

ලංකා ඊ නිවුස් වැනි ආයතන ගිනි තැබීම, ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, පෝද්දල ජයන්ත පැහැරගෙන යෑම ආදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට දිගින් දිගට කළ, පහරදීම් ඒවාගේම මැතිඇමතිවරු හෝ මන්ත්‍රීවරුන් පිරිවරාගත් මැර කල්ලි පොලීසියේ ආරක්ෂාව ලබමින් පොලු මුගුරු ගෙන රූපවාහිනී කැමරා ඉදිරියේම ‘ජාතිය සහ ආගම බේරා ගැනීමට’ කුණු හරුප වගුරවමින් රජයේ විවේචකයන්ට පහර දෙන ආකාරයන් සුළභ දර්ශනයක් බවට පත්ව තිබුනි. ප්‍රසිද්ධ කුඩු වෙළදුන්, දූෂකයන් සහ මිනීමරුවන්, රූපවාහිනී කැමරා ඉදිරියේම රජය විවේචනය කළ අයට එළව එළවා පහරදුන් අතර පොලීසිය මෙම මැරයින්ට ආරක්ෂාව දෙමින් මෙම පහර කෑමට ලක්වන අයට හිංසා කරනු ලැබීය. දේශපාලඥයන්, විමල් වීරවංශ, මර්වින් සිල්වා පමණක් නොව තවත් මැතිඇමතිවරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියේම මේ මැර කල්ලි මෙහෙයවනු ලැබීය. යකඩ පොලු අතින් ගත් මැරයින් වීදි සැරිසරද්දී පොලීසිය පැවසුවේ ඔවුන් බල්ලන්ට ගහන්නට පොලු රැගෙන ඇති බවයි .එමෙන්ම යම් උද්ඝෝෂණ අවස්ථාවන්හිදී නීතිය ක්‍රියාත්මක කිරීමට සුළු හෝ උත්සාහයක් දැරූ පොලිස් නිලධාරීන්ට ආරක්ෂක ලේකම්වරයා බල්ලන්ට මෙන් බැණ වැදුන බව රටම දනී. ලංකාව තුල මේ මහින්ද කල්ලිය විසින් අලුත්ම සංස්කෘතියක් ( මෙය මීට ඉහත ආරම්භ වූ එකකි. නමුත් එය පූර්ණ මැර සංස්කෘතියක් බවට මහින්ද – ගෝඨා විසින් ගෙනඑනු ලැබීය) ආරම්භ කරනු ලැබීය. දේශපාලන බලවතුන් මෙම රස්තියාදුකාර මැරවරයන්ට දේශපාලන බලය තුල වැජබීමට ඉඩ දෙමින් තමනගේ උවමනා එපාකම් ඉටුකර ගැනීමට තම විරුද්ධවාදීන් විනාශ කිරීමට කුලී මිනීමරුවන් ලෙස යොදවනු ලැබීය. මේ කුලී මිනී මරුවන් හැසිරෙන්නේ දඩයමට පුහුණු කළ බලුරූන් මෙනි. මෙවැනි මැර කල්ලි මහින්දගේ කල්ලිය විසින් තැන තැන පවත්වාගෙන යනු ලැබීය. ඒ අතරම පොලීසි සහ හමුදා තුලද මෙවැනි මිනීමරු කල්ලි පවත්වා ගනු ලැබු අතර ආරක්ෂක ලේකම්වරයාගේ උවමනාවන් මත මේවා හසුරුවනු ලැබූ බව ප්‍රසිද්ධ රහස්ය. බොහෝ දේශපාලඥයන්ගේ සෙවනේ මෙවැනි කල්ලි හදා වඩා ගනු ලැබුනි. මොවුන් ඕනෑම ජඩ වැඩක් කිරීමට පුහුණු කරනු ලැබූ කණ්ඩායම් ලෙසින් පැවතුනි.

එදා ජනාධිපතිවරණයෙන් පරාද වන බව දකින මහින්ද – ගෝඨා කල්ලිය සූදානම් වූයේ රට ලේ විලක ගිල්වමින් බලය තමා අත තබා ගැනීමට බව දැන් එලිවෙමින් පවතී. අද වන විට රටේ විවිධ

තැන්වල මතුවන මෙම නීති විරෝධී ආයුධ ගබඩා පිළිබඳව ඔවුන් මොන අර්ථකථන දුන්නා වුවත් ඒවා ගබඩා කොට ගෙන පවත්වා ගෙන ගොස් ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක මෙම හාම්පුතුන්

යටතේ හදාවඩා ගත් මෙකී මිනීමරු විජිලන්ට් කල්ලි අතට මේවා පත්කිරීමේ උවමනාවද පෙරදැරිකරගෙන බව මගේ වැටහීමයි. එසේ මෙවැනි කණ්ඩායම් අතට ආයුධ දී ‘සතුරන්’’ජාතිද්‍රෝහීන් අතින්’ ‘

රට මුදවා ගැනීම’ට මොවුන් උසි ගැන්වීම සඳහා බව සිතා ගත හැක. මෙවැනි තත්වයන්ට උදාහරණ ලෝකය තුල උවමනාවටත් වඩා පවතී.

1965 දී සුකර්නෝ රජයට එරෙහිව සුහර්තෝගේ හමුදා කුමන්ත්‍රණය ඇතිකරන අවස්ථාව වන විට ඔවුන් රටතුල පුහුණු කළ මෙවැනි කණ්ඩායම් විශාල ප්‍රමාණයක් පැවතුනි. දේශපාලන පක්ෂ කණ්ඩායම්, ආගමික කණ්ඩායම්, මැර කල්ලි, පංචශීල බලවේගය ආදී කණ්ඩායම් මේවායෙන් සමහරකි. කුමන්ත්‍රණය සිදුවන විට කලක් තිස්සේ කොමියුනිස්ට් පක්ෂයට සහ එහි සාමාජිකත්වයට එරෙහිව ගෙන ගිය වෛරී මතවාදයෙන් කුලප්පු කර සිටි මේ කණ්ඩායම් අතට ආයුධ සපයන සුහර්තෝ හමුදා කණ්ඩායම රට තුල විශාල මිනිස් ඝාතනයක් දියත් කිරීමට සලස්වන්නේ ‘මාතෘ භූමිය රැක ගැනීම’ යන සටන් පාඨය පෙරදැරි කරගෙනය. ( ඒවන විට ලෝකයේ තුන්වන විශාල කොමියුනිස්ට් පක්ෂය වූ ඉන්දුනීසියන් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් ප්‍රමාණය මිලියන 3.5 කි) ආයුධ ගත් මෙම මැර කල්ලි, ආගමික කල්ලි සහ විවිධ පාක්ෂිකයින් පලමු දින 3 ඇතුලතම ලක්ෂ 5 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කළ අතර සති තුන හතරක් යන විට ඝාතනය කළ ප්‍රමාණය මිලියන 2 ඉක්ම වූ බව ඉතිහාස ගතවේ. මෙම මිනී මරුවන් විසින්ම මෙම අවධිය හදුන්වනු ලැබුවේ ‘වක්පිහි අවධිය’ යනුවෙනි. පංචශීල බලවේගයට සමාන කණ්ඩායම් පසුගිය කාලය පුරා ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවත්වා ගත් බව නොරහසකි. බොදු බල සේනා හෝ මෙවැනි මැර කල්ලි අන්තගාමී පක්ෂ වල එකතුවකින් පසුගිය වසර 5 කටත් වැඩි කාලයක නීතිය තම අතට ගෙන ක්‍රියාකළ ආකාරය ඔවුන් උද්දාමයෙන් වීදි සැරි සැරූ ආකාරය, ඔවුන් විවිධ මතධාරීන්ට පහරදුන් ආකාරය රටම දනී. යම් අයුරකින් ජනාධිපතිවරණය දින රාත්‍රියේ කුමන්ත්‍රණයක් ඇතිවූවා නම් හමුදා සහ පොලීසිවල සහාය ඊට ලැබෙන විට මෙවැනි මැර කණ්ඩායම් අතට ලබාදීම සඳහා මෙම ආයුධ ගබඩා පවත්වාගෙන ගිය බව මගේ විශ්වාසයයි.

රුවන්ඩාවේ හූටූ නායකත්වත්ය විසින් ටුට්සි කණ්ඩායම් විනාශ කිරීමට ප්‍රථම මෙසේ ආයුධ රැස්කර දිගින් දිගටම ටූට්සි ජන කණ්ඩායමට එරෙහිව මතවාදය සමාජය තුල පතුරුවා හරිනු ලැබීය. අවසානයේ 1994 අප්‍රේල් මස දිනක මුලින්ම ටූට්සි නායකයන් සහ ප්‍රගතිශීලී හුටූ නායකයන් මරා දමන හුටු අධිපතීන් මේ සමගම හූටූ මැර කල්ලි සහ විවිධ බලවේගයන් සන්නද්ධ කර ටූට්සි සිවිල් වැසියන් සමූළ ඝාතනය කිරීමට යොදවනු ලබයි.

එනිසා රාජ්‍ය බලය අතැ’තිව සිටින කණ්ඩායමක් නීති විරෝධී අයුරින් ආයුධ ගබඩා කරයිනම් එය මහත් භයානක සිදුවීමක පෙරනිමිත්තකි. එසේ නැත්නම් රාජ්‍ය බලය අතැ’ති අයට නීති විරෝධී ආයුධ ගබඩා කිරීමට හේතුවක් නොමැත. ඒ නීතිමය වශයෙන් පවතින පොලීසි සහ හමුදා සතුව අවශ්‍ය ප්‍රමාණයට ආයුධ ඇති බැවිනි. නමුත් අයථා අයුරින් භාවිතයට නම් ඔවුන් එම ආයුධ නීතිවිරෝධීව පවත්වා ගත යුතුය.

කෙසේ වුවද පසුගිය රජයේ දේශපාලන බලවතුන් තම සෙවනෙහි මිනීමරු කල්ලි හදා වඩාගෙන පවත්වාගෙන ඇත්තේ දඩ බල්ලන් පුහුණුකර පවත්වා ගන්නා ආකාරයෙනි. අද වන විට දේශපාලන බලය අහිමි වූ දේශපාලඥයන් යටතේ සිටි දඩ බල්ලන් සිටින්නේ දඩාවතේ ඇවිදිමිනි. ආයුධ පුහුණුවක් ඇති මොවුන් සතුව ආයුධ ද ඇති බව කිවයුතු නොවේ. ඒවාගේම බලයේ කොටස් කරුවන් වීම තුල ඇතිකර ගත් වරප්‍රසාද වල රස ඔවුන් හොදින් දනී. ඕනෑම මොහොතක තම හාම්පුතුන්ට සුවච කීකරුව ඕනෑම ජඩ වැඩක් කර එම වරප්‍රසාද ලබාගැනීමට ඔවුන් ඉදිරිපත් විය හැකිවා මෙන්ම මෙහෙයවිය ද හැකියි. අවි ගබඩාවලින් දහස් ගණනින් ආයුධ අතුරුදහන්ව තිබේ. හෙලිදරව් වී නොමැති ආයුධ සහ අවිගබඩා තවත් කොපමණ තිබේදැයි දන්නේ ඔවුන් පමනි. එනිසා මෙම දඩ බල්ලන් පසුගිය කාලයක් තිස්සේ කළ නීති විරෝධී ක්‍රියාවන් ගැන ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවීම රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කරුණක් බව මගේ හැගීමයි.

මේ මැරවරයන් බොහෝ දෙනෙකු පසුගිය වසර ගණනාව තුල තම බලය පෙන්වුවේ ප්‍රසිද්ධියේයි. මේ අයගේ ෆොටෝ සහ රූපවාහිනී කැමරා, රූප ඕනෑවටත් වඩා ජනමාධ්‍ය තුලින් ලබාගත හැක. පසුගිය වකවානුවේ මොවුන් යොදවාගෙන ගෙන ගිය අපරාධ සංස්කෘතියට තිත තැබීමට දැන් කාලය පැමිණ ඇත. මේ අපරාධකරුවන් සහ චන්ඩීන් (ෆොටෝවලින් හදුනාගත හැකි සහ නම් වශයෙන් ලියැවී ඇති) වහාම පැරණි වැරදිවලට නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. මොවුන් මෙම අපරාධයන්ට සහ මේ මැර ක්‍රියාදාමයන්ට මෙහෙයවනු ලැබූ අය පිළිබඳව අලුතින් ලබා ගන්නා තොරතුරුවලට අනුව ඒවා මෙහෙයවූ දේශපාලඥයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. එමෙන්ම මොවුන් ප්‍රසිද්ධියේ මෙම මැරවර ක්‍රියාවන්හි යෙදෙන විට ඔවුනට ආරක්ෂාව දෙමින් ඒ අසළට වී බලාසිටි පොලිස් නිලධාරීගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඔවුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට විනය ක්‍රියාදාමයකට යටත් කළ යුතුය. එදා මේ මැරයින් රටේ මාධ්‍යවේදීන්ට, සිසුන්ට, කම්කරුවන්ට, මානව අයිතීන්වල ක්‍රියාධරයන්ට, පහරදෙන ලෙස බලාසිටි නිලධරයන්ට ලොකු කුඩා වෙනසක් නොමැතිව නීතිය ඉදිරියේ වගකීමට සැලැස්විය යුතුයි. මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට නම් මේ පසුගිය අපරාධ ගැන පර්යේෂණ වහාම ඇරඹිය යුතුය.

පසුගිය වකවානුවේ ඉමක් කොණක් නොමැතිව රට අගාධයකට ඇද දමා තිබූ මේ රස්තියාදුකාර සංස්කෘතියෙන් මුදවා ගත හැකිවන්නේ මෙවැනි වැඩපිළිවෙලක් තුලින් පමනි.

බලය මාරුවී ඇත. නමුත් තාමත් පවතින්නේ අර ජරාජීර්ණ වූ සංස්කෘතිමය. බලයේ සිටින බොහෝ දෙනෙකු එම ජරා ජීර්ණ වූ සංස්කෘතිය නිර්මාණය කළවුන් වේ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ඇතිකිරීම පහසු කාරණයක් නොවන බව පැහැදිලිය. ඒ සඳහා පුරවැසියා සතු කාර්ය අතිමහත්ය. ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ශක්තිමත් කිරීම සඳහා එම බලවේගයන් සමග එකට අත්වැල් බැඳ ඔවුනට සහාය දීම මේ අවස්ථාවේ පුරවැසියාගේ යුතුකමයි. මුණිවත රැක එදෙස බලා සිටීමෙන් නම් ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත නොහැක. එනිසා එම ජරාජීර්ණ වූ සංස්කෘතිය පරාද කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කර ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ලංකා සමාජයේ ස්ථාපිත කිරීම සඳහාත් ඔවුන්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් සමග එක පෙලකට සිට ගත යුතුය.

රාජිත් හේනායකආරච්චි

 

 

 

 

රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news