Wednesday, April 24, 2024

මැතිවරණ ප්‍රචාරය අවසන් දින ප්‍රචන්ඩ ක්‍රියා – කැෆේ

2015 ජනවාරි 6 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1411 කි. එයින් 157 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර, 1254 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. ඊයේ (05) දා වාර්තා වී ඇති සිදුවීම් මෙසේය.

වෘත්තීය සමිති නියෝජිතයින්ට මැර ප්‍රහාරයක්

ජනවාරි 5 සවස රත්නපුර නගරයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් පත‍්‍රිකා බෙදමින් සිටියදී ඒ අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයේ සිටි පිරිසක් විසින් මැර ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම පහරදීම සිදුවන අවස්ථාවේ සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා ද එම ස්ථානයේ සිට ඇති අතර ඔවුන් මේ පිළිබඳව රත්නපුර පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ට පහරදී ඔවුන් බෙදමින් සිටි පත‍්‍රිකා තොගයක්ද පැහැරගෙන ගොස් ඇති අතර එම මැර පිරිස නැවතත් එම කාර්යාලයට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද අසල සිටි නමුත් ඔවුන්ගෙන් මැර පිරිසට බාධාවක් නොවු බවද එම මධ්‍යස්ථානයේ නියෝජිතයෝ පවසති.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත‍්‍රීවරයකු වන උදිත නමැති පුද්ගලයකුද මෙම ප‍්‍රහාරයට පැමිණි බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයෝ පවසති.

පොදු අපේක්ෂක ආධාරකරුවන්ට රඹුක්කන දී ප්‍රහාරයක්

පොදු අපේක්ෂක අධාර කරුවන්ට රඹුක්කන නගරයේදී ප්‍රහාර දෙකක් එල්ල වී ඇත. ජනවාරි 5 වන දින රාත්‍රි 8.30ට පමණ එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රී බන්දු වීරසිංහ මහතා ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. මෙහිදී තියුණු ආයුධයකින් පහරදීමක් ද සිදුකර ඇත. ඉන් තුවාල ලැබු පුද්ගලයෙක් මාවනැල්ල රජයේ රෝහලට ඇතුළත් කර ඇත. මෙම මැර පිරිස බන්දු වීරසිංහ මහතාගේ පැජරෝ වර්ගයේ රථයටද අලාභ හානි සිදුකර ඇත. රඹුක්කන නග‍රයේ ස්ථාන දෙකක දී මෙම ගැටුම් ඇතිවී ඇති අතර මෙම ගැටුම් වැලැක්වීමට පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත.

පොලොන්නරුව පොදු අපේක්ෂක පක්ෂ කාර්යාලයට මැර ප්‍රහාරයක්

පොලොන්නරුව වැලිකන්ද රිදී පොකුණ ගම්මානයේ පිහිටුවා තිබු පොදු අපේක්ෂක පක්ෂ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ජනවාරි 4 වන දින රාත්‍රියේ අංක තහඩු නොමැති වාහන අටකින් පමණ ස්වයංක්‍රිය ගිණි අවි අතැතිව පැමිණි පිරිසක් එම කාර්යාලයට ප්‍රහාර දී විනාශ කර තිබේ.

බෙලි අත්තේ දී සහ තංගල්ලේ දී පොදු අපේක්ෂක ආධාර කරුවන්ට මැර ප්‍රහාර

ජනවාරි 5 වන දින පෙරවරු 11.45 ට පමණ බෙලිඅත්ත නගරයේ පොදු අපේක්ෂක ප්‍රවර්ධනයේ යෙදෙමින් අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට එජනිස ආධාරකරුවන් පිරිසක් තර්ජනය කර පහර දී තිබේ.

ජනවාරි 4 වන දින දහවල් තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ මැදමුලන ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදීමේ නිරත වු පොදු අපේක්ෂක ආධාරකරුවන් පිරිසකට ද මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.

වරාය සේවකයින්ගේ කැලැන්ඩරයේ ජනාධිපති රුව යොදා තිබීම

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මෙවර වරාය සේවකයින් සඳහා ලබාදී ඇති කැලැන්ඩරය එජනිස ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ගේ රුව යොදා මුද්‍රණය කර තිබේ.

5 වන දින පෙරවරු 11.45 ට පමණ බෙලිඅත්ත නගරයේ පොදු අපේක්ෂක ප්‍රවර්ධනයේ යෙදෙමින් අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට ද මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.

වරාය සේවකයින් 151 දෙනෙක් මැතිවරණ ව්‍යාපාරයේ යෙදවීම

වරාය සේවකයින් 151 දෙනෙක් වරාය සේවයෙන් මුදා හැර එජනිස මැතිවරණ ව්‍යාපාරයේ යොදවා ඇති බව වාර්තා වෙයි.මෙම පිරිස ඉතා සුක්ෂ්ම ලෙස වරාය මැනුම් කටයුතු වරාය පරිශ්‍රයෙන් බැහැර කිසිදු රාජකාරි කටයුත්තක් නොමැති ස්ථාන වෙත අනුයුක්ත කර තිබේ. එසේ මුදාහැර ඇති මුදාහැර ඇති සේවකයින් සදහා මසකට අතිකාල පැය 900 ක පමණ කාලයක් ලබා දෙන බවට පාලනාධිකාරිය එකඟ වී ඇති බව වාර්තා වෙයි.

හිඟුරක්ගොඩ සන්ධාන කාර්යාලයකට ගිනිතබයි

හිඟුරක්ගොඩ බටකොටුව පිහිටි එජනිස මැතිවරණ කාර්යාලයකට ජනවාරි 4 වන දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිණි තබා තිබේ. මෙහිදී එජනිස ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් කිහිපයකට ද මැර පිරිස හානි සිදුකර තිබේ.

ආනන්දි ශෂිධරන්ගේ නිවසට ගල් ප්‍රහාර

උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිධරන් ගේ යාපනය සන්දිලිප්පායි හි පිහිටි නිවසට ජනවාරි 6 වන දින අළුයම ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම ගල් ප්‍රහාරයෙන් එම නිවසට සුළු හානි සිදුව තිබේ.

රත්නපුරේ ඡන්ද කාඩ් පැහැරගෙන

රත්නපුර කොළඳගල පතුල්පාන මුල්ලකන්ද වත්ත ප්‍රදේශයන්හි දමිළ ජනතාවගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබේ.

බලහත්කාරයෙන් රැස්වීමක් පැවැත්වීමට විරෝධය දැක්වීම නිසා පහර දීලා

මහවිලච්චිය තේමඩුව හංදියේ පිහිටි සචින් ස්ටෝර්ස් නැමති වෙළද සැල අවහිර වන සේ බලහත් කාරයෙන් එජනිස රැස්වීමක් පැවැත්වීමට යාමේදී ඊට එරෙහි වු වෙළඳ සැල් හිමියාට එජනිස ආධාරකරුවන් විසින් පහර දී තිබේ. මෙම පහරදීමෙන් කඩහිමියා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පහරදීම මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජේ.ඩී සුනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් විසින් සිදුකර ඇති බවට වාර්තා වෙයි.

පොදු අපේක්ෂක ආධාරකරුවන් රැගත් බස් රථයකට මැර ප්‍රහාර

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියකට එක්වී බස් රථයකින් ආපසු යමින් සිටි පිරිසකට වැලිකන්ද කුරුළු බැද්ද ප්‍රදේශයේදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙහිදී බස් රථයට හානි සිදුවි ඇත.වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Archive

Latest news

Related news