Friday, May 3, 2024

රාජපක්‍ෂලාගේ ෆයිල් අපි ලඟ – ජවිපෙ

( රාජපක්ෂ පරාජය කළ යුතුමයි! – විජිත හේරත්)

කලාකරුවන්ට පහර දෙමින් බොරු දේශප්‍රේමය ගැන කතා කරන රාජපක්ෂවරුන්ගේ ෆයිල් තමන් ලඟ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.

එහිදී විජිත හේරත් මහතා පළ කළ සම්පූර්ණ අදහස් මෙසේය…

ආණ්ඩුව රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය නිර්ලජ්ජිතව මේ මැතිවරණයට යොදාගන්නවා. කුමන්ත‍්‍රණ කථා, මඩ ප‍්‍රහාර, එල්ල කරන්න පටන් ගත්තා. තත්වය තවදුරටත් බරපතළ වෙද්දී සංවේදී නායකයා තමන්ගේ මැර කණ්ඩායම් යොදාගෙන විපක්‍ෂයට ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේ රටේ කලාකරුවන්ට ගහන්න පටන් ගත්තා. වීදියේ විරෝධය ආරම්භ කරපු ජයතිලක බණ්ඩාර කලාකරුවාට එප්පාවලදී පහර දුන්නා. එතැනින් නොනැවතුණු ආණ්ඩුවේ මැරයින් ඔවුන්ට හම්බන්තොටදී නැවත වතාවක් පහර දුන්නා. සෙල්ලම් පිස්තෝලකරුවා ලෙස ප‍්‍රසිද්ධ වුණු නගරාධිපති මැරයින් කලාකරුවන්ට පහර දෙන්න පටන් ගත්තා. එතැනින් එහාටත් ගිහින් මෑත කාලීනව කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී “අලුත් පරපුර” කලාකරුවන් කණ්ඩායමකට ආණ්ඩුවේ පළාත් සභා මන්තී‍්‍රවරයෙකු පහර දුන්නා. එම කලාකරුවන් කිසිදු ප‍්‍රතිලාභයක් බලාපොරෙත්තු නොවී තමන්ගේ සමාජ මෙහෙවර ඉටුකිරීම සඳහා රට වටේ ගිහින් තමන්ගේ අදහස ජනතාවට කිව්වා. එවන් කලාකරුවන් පිරිසට නාමල් රාජපක්‍ෂගේ නිල් බලකායේ මැරයින් පහර දෙන්න පටන් අරගෙන තියෙනවා. තරුණ කලාකරුවන්ට තාරුණ්‍යය නියෝජනය කරන රාජපක්‍ෂගේ පුතණ්ඩියා පහර දෙනවා. අපේ රටේ සමනලීලට ගල් ප‍්‍රහාර එල්ල කරනවා. එහෙම කරන අතරේ මහින්ද රාජපක්‍ෂ බොලිවුඩයෙන් ගෙන්වන නළුවෝ හරසරින් පිළිගන්නවා. ජනතාවගේ මුදල් කෝටි ගණන් ඒ නළුවන්ට වියදම් කරනවා. අද මේ සංවේදී නායකයාගේ ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ සමනලීට ගල්, සල්මන්ලට මල් කියන තත්වයයි.

එතැනින් එහාට ගිහින් අපේ රටේ පොලීසිය, හමුදාව ඉතාම නිර්ලැජ්ජිත ලෙස මැතිවරණයට යොදාගන්නවා. ඔවුන්ට බලපෑම් කරලා ආණ්ඩුවේ මැතිවරණ කටයුතුවලට යොදාගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පසුගිය 30 වැනිදා රාති‍්‍රයේ “ජනවාරි 08 දූෂිත පවුල් පාලනය නිමා කරමු” කියල පොස්ටරයක් ඇලෙව්වා. මේ ආණ්ඩුව රට පුරාම පොලීසිය යොදවලා 31 වැනිදා එළිවෙන්න කලින් පෝස්ටර් ගැලෙව්වා. පොලීසියට කිසිදු අයිතියක් නැහැ ඒ පෝස්ටරය ගලවන්න. ඒක අපේ නීත්‍යානුකූල අයිතියක්. ජනතා විමුක්ති පෙරමුණේ වගකීම සහිතව තමයි පෝස්ටරය ඇලෙව්වේ. ඒ තරමට මේ ආණ්ඩුව බංකොළොත් වෙලා. පොලීසිය දේශපාලනීකරණය කර තිබෙනවා. ඒ වගේම ති‍්‍රවිධ හමුදාවට විවිධ බලපෑම් කරමින් චක‍්‍රලේඛ නිකුත් කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ සහභාගී වූ රූපවාහිනී වැඩසටහන් නරඹන ලෙසට හමුදා සෙබළුන්ට චක‍්‍රලේඛ යවන තත්වයට ආණ්ඩුව පරාජය හමුවේ බංකොළොත් වෙලා තිබෙනවා. ආණ්ඩුව මේ මැතිවරණයට කොතරම් බයද කියලා මේ කරුණුවලින් පැහැදිලි වෙනවා.

දැන් මහින්ද රාජපක්‍ෂලාගේ වංචා-දූෂණ ෆයිල් එළියට එනවා. මහින්ද රාජපක්‍ෂ කලින් කීවේ පනින අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා කියලා. මහින්ද රාජපක්‍ෂට අපි කියන්න කැමතියි එයාලගේ වංචා-දූෂණ ෆයිල් දැන් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. දකුණු පළාතේ සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 125ක් වැයවන ජල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 270ක් වැයවන බවට බොරු වාර්තා හදපු ෆයිල් අපි ළඟ තියෙනවා. ඊශ‍්‍රායල් ඉදිකිරීම් සමාගම් සමඟ නෙදර්ලන්තයේ බැංකු සමඟ ගහපු ගිවිසුම් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ හොර ගනුදෙනු සියල්ල දැන් එළිවෙමින් තිබෙනවා. චයිනා හාබර් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පාරවල් හදන්න කොන්ත‍්‍රාත් දීලා 32%ක අධික ලාභ ලබපු ගනුදෙනුවල ෆයිල් අපි ළඟ තිබෙනවා. පාරවල්වලින් දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් හොරකම් කරපු විදියේ ෆයිල් අපි ළඟ තිබෙනවා. ඒ නිසා අද රාජපක්‍ෂ පවුල බයවෙලා තිබෙනවා.

දැන් ආණ්ඩුව තමන්ගේ හොරකම් වහගන්න බොරු දේශපේ‍්‍රමයක් වපුරන්න පටන් අරගෙන තිබෙනවා. ආණ්ඩුවෙන් ඉවත් වන අයට දේශද්‍රෝහී ලේබලය අලවමින් තිබෙනවා. හකීම්ලා මේ තරම් කාලයක් හිටියේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ වැදගත්ම අමාත්‍ය ධුරයක් වන අධිකරණ අමාත්‍ය ධුරය දැරුවේ රාහුෆ් හකීම්. ඒ විතරක් නෙවෙයි රාහුෆ් හකීම්ගේ පක්ෂයේ තවත් කීපදෙනෙක්ට නියෝජ්‍ය ඇමති ධුර ලබාදුන්නා. අද ආණ්ඩුවෙන් ගියාම දේශද්‍රෝහීන් බවට පත්වෙලා. දැන් මහින්ද කියනවා රාහුෆ් හකීම් ගියේ වෙනම පාලන ප‍්‍රදේශයක් ඉල්ලලා දුන්නේ නැති නිසා කියලා. තමන්ගේ ආණ්ඩුවේ අධිකරණ ඇමති වෙනම පාලන ප‍්‍රදේශයක් ඉල්ලනවිට මහින්දට තිබුණේ ඇමති ධුරයෙන් අස්කරලා ආණ්ඩුවෙන් ඉවත් කරන්න එහෙම කළේ නැහැ. අවසාන මොහොත වෙනකම් බැසිල් රාජපක්ෂ උත්සහ කළේ හකීම්ව ආණ්ඩුවේ තියාගන්න. මේ ආණ්ඩුව පෙන්වන්නේ තමන්ගේ අශිෂ්ටත්වයයි. කලාකරුවන්ට ගහන්නේ ආණ්ඩුවේ මේ අශිෂ්ටත්වය නිසයි.

රිෂාඩ් බදුර්දීන්- හදිසියේ ද්‍රෝහියෙක්වීඹ
රිෂාඩ් බදුර්දීන්- හදිසියේ ද්‍රෝහියෙක්වීඹ

රිෂාඩ් බද්යුදීන් මේ තරම් කාලයක් ආණ්ඩුවේ හිටියා. ඒ අය අද ආණ්ඩුවෙන් ගියාම දේශද්‍රෝහීන් වෙලා. දෙමළ ජාතික සන්ධානයත් මේ වනවිට ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න කියලා ජනතාවට කියලා තිබෙනවා. දැන් ආණ්ඩුව රට බෙදන්න යනවා කියලා බොරු මතයක් හදන්න උත්සාහ කරනවා. ජනතාව අවුස්සන්න හදනවා. කොටි සංවිධානයේ කේ.පී. කරුණා අම්මාන්, පිල්ලෙයාන්, රාම්, නගුලන්, වැනි බොහෝ නායකයින් ඉන්නේ මහින්ද රාජපක්‍ෂත් එක්ක. ටී.එන්.ඒ. කියන්නේ දේශපාලන පක්‍ෂයක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආපු මන්තී‍්‍රවරු ඉන්න පක්‍ෂයක්. ආණ්ඩුව කොටි හුරතල් කරන ගමන් ටී.එන්.ඒ. එකට කොටි ලේබලය අලවනවා.

ඒ නිසා අපි ජනතාවට කියනවා ඇත්ත දේශද්‍රෝහීන් දේශපේ‍්‍රමීන් හඳුනා ගත යුතුයි. ඔය දේශපේ‍්‍රමය මතුරන ගෝඨාභය බැසිල්, ඩලස් පහුගිය කාලයේ හිටියේ කොහෙද? රෙදි පෙට්ටි අකුළගෙන ගිහින් ඇමරිකාවේ ජීවත් වුණා. පුෂ්පා රාජපක්‍ෂගේ ගෙවල් දොරවල් කැලිෆෝනියාවේ තිබෙනවා. මේ වනවිට ඇමරිකාවේ කැලිෆෝනියාවලින් ගත්ත ගෙවල් හතර පහක් ඒ ගොල්ලන්ට තියෙනවි. ඇමරිකාවේ දේපොළ තියාගෙන ඉන්න මේ උදවිය අද බොරු දේශපේ‍්‍රමයක් වපුරනවා. ඇමරිකාවේ පුරවැසිභාවය ගන්නකොට ඇමරිකාවේ ව්‍යවස්ථාවට අනුව දිවුරුමක් දෙන්න ඕන. ඒ දිවුරුමෙන් කියවෙන්නේ,

“මම මින්පසු, මීට පෙර මා පුරවැසියෙක් ලෙස සිටි වෙනත් රටකට (ලංකාව) ආණ්ඩුවකට, කුමාරයෙකුට හෝ රජෙකුට මගේ තිබෙන පක්ෂපාතිත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි. මම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා නීතිවලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුළ (අභ්‍යන්තරව) ඇතිවන සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමට ද, මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් කි‍්‍රයාකාරකම් කිරීමට නීතියෙන් බැඳී සිටින බවද, අවශ්‍ය වුවහොත් ජාතික වැදගත් කමකින් යුක්ත කි‍්‍රයාවල යෙදීමටද දිවුරා පොරොන්දු වෙමි. මෙම පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස්ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මග හැරීමකින් තොරවය. මේ සඳහා මට දෙවියන් වහන්සේ උදවුවේවා…..!”

ඒ විදියට දිවුරලා එකඟ වුණු ගෝඨාභය, බැසිල්, ඩලස් අද බොරු දේශපේ‍්‍රමයක් ගැන කියලා තමන්ගේ හොරකම් වහගන්න හදනවා. මේ දිවුරුම දුන්න පුද්ගලයින් එයට අනුව ඇමරිකා වෙනුවෙන් ආයුධ ගන්න වුණත් සූදානම් විය යුතුයි. එහෙම ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්තු ගෝඨාභය රාජපක්‍ෂ ඇමරිකාවත් එක්ක 2007දී ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කරනවා. එවකට ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් සමඟ ඒ ගිවිසුමට අත්සන් කළා. එම ආරක්‍ෂක ගිවිසුමට අනුව ඇමරිකාවේ ති‍්‍රවිධ හමුදාවට ඕනෑම යුද්දයකදී අපේ රටේ භුමිය, ජලය, නිවාස රෙදිපිළි ඇතුළු යටිතල පහසුකම් සියල්ල ලබාදීමට බැඳී ඉන්නවා. මේකද දේශපේ‍්‍රමය කියන්නේ? මෙම ගිවිසුම අත්සන් කිරීම දේශද්‍රෝහී කි‍්‍රයාවක්. අපි පාර්ලිමේන්තුවේදී මේ ගිවිසුම එළියට දාන්න කියලා විශාල අරගලයක් කළා. ඒත් ආණ්ඩුව එළියට දැම්මේ නැහැ. නමුත් අපේ දැඩි බලපෑම නිසා ඇතැම් කොටස් මකලා දාලා ගිවිසුම එළියට දැම්මා. එහෙම උදවිය අද බොරු ඇමරිකානු විරෝධයක් පෙන්වමින් ඉන්නවා. මේ අය පොඩි අසනීපයක් වුණත් දුවන්නේ ඇමරිකාවට.

පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියන මේ සංවේදී නායකයා ලංකාවේ දූපත් පිටරට සමාගම්වලට විකුණනවා. සෝමාවතියේ ඉඩම් අක්කර දහස් ගණන් ඇමරිකාවේ ඩෝල් සමාගමට විකුණනවා. ලංකාවේ මුහුද ගොඩකරලා වරාය නගර හදන්න චීනයට බාර දෙනවා. ඒ නිසා මොවුන්ට තිබෙන්නේ දේශපේ‍්‍රමයක් නොවෙයි ආමාශ පේ‍්‍රමයක්. කොමිස් පේ‍්‍රමයක්. බොරු දේශපේ‍්‍රමයක් පෙන්වලා තමන්ගේ ඡන්ද පරාජය බේරගන්න හදනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ පවුල් බලය පරාජය කරන්න ඕනෑ. පරාජය කරන්න පුළුවන්. අපේ රටේ ඒකීයභාවය වෙනුවෙන් බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් ජීවිත කැපකිරීමෙන් කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ අරගලය අපි එදත් අදත් හෙටත් අඛණ්ඩව ගෙනියනවා. අද ආණ්ඩුවේ අය කියනවා මහින්ද රාජපක්‍ෂ පරාජය වුණොත් රට බෙදීමේ අනතුරක් තියෙනවා කියලා. අපි පැහැදිලිව කියනවා මහින්ද රාජපක්‍ෂ හිටියත් නැතත් වෙන කවුරු ආවත් රට බෙදන්න හදනවා නම් එය වළක්වන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා බොරු මතවලට රැවටෙන්න එපා. ලබන 08 වැනිදාට මේ රාජපක්‍ෂ දූෂිත ඒකාධිපති පවුල් පාලනය නිමා කිරීම සඳහාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහාත් ඔබේ ඡන්දය භාවිත කරන්න කියලා.”

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“බංකොළොත් වුණු ආණ්ඩුව මේ දවස්වල එක එක ජාතියේ නළුවන් ගෙන්වනවා. එක වෙලාවක බොලිවුඞ්වලින් සල්මන් ඛාන්ව ගෙන්වනවා. තවත් වෙලාවක ගුණරත්නම්ලා වගේ නළුවෝ ගෙන්වනවා. ඒකෙන්ම මේ ආණ්ඩුවේ බංකොළොත්කම රටේ ජනතාවට පේනවා. ජනතා විමුක්ති පෙරමුණේ රහස් ගිවිසුම් නැහැ. අපිට ගිවිසුමක් ගහන්න ඕනෑ නම් ඒක අපි ජනතාවට පෙන්වලා කරනවා. මහින්ද රාජපක්‍ෂ එක්ක ගිවිසුමක් ගැහුවා. චන්ද්‍රිකාගෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ලියුමක් ගත්තා. ඒක මේ රටේ ජනතාව දන්නවා. අපිට එවා අප‍්‍රසිද්ධියේ කරන්න ඕනෑ නැහැ. ආණ්ඩුව වැටිච්ච වළෙන් ගොඩ එන්න ඕනෑම බාල වැඩක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ එක එක උදවිය ලංකාවට එන්නේ කාගේ වුවමනාවටද කියලා අපේ රටේ ජනතාව දන්නවා. රටෙන් ගියපු විදියත් රටට එන විදියත් බැලුවාම මේ ඉටුකරමින් ඉන්නේ රාජපක්‍ෂලාගේ වුවමනාව බව කාටත් පැහැදිලි වෙනවා.

අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. නිශ්චිතයි. ස්ථිරයි. මේ රාජපක්‍ෂ පවුල් පාලනය දූෂිත පාලනය පරාජය කළ යුතුයි. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. ඒ ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ.

අද ඩලස් අලහප්පෙරුමලා බොරු මතයක් හදලා රට බෙදන්න යනවා කියලා ජනතාව බය කරන්න හදනවා. 2001 සටන් විරාම ගිවිසුම් ගහලා ඇත්තටම රට බෙදන්න ගියපු වෙලාවේ ඩලස් අලහප්පෙරුමලා ලංකාවේ හිටියෙත් නැහැ. පවුල් පිටින් ගිහිල්ලා ඇමරිකාවට වෙලා හිටියා. අද මේ රට බෙදිල්ලක් ගැන කථා කරනවා. ඇත්තට රට බෙදෙන්න ගියපු වෙලාවේ ඒක වැළැක්වුවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වෙලාවේ තමයි ඇත්ත මැදිහත්වීම කළ යුතුව තිබුණේ. ඔය බොරු දේශපේ‍්‍රමය කතා කරන ඩලස්ලගේ ආණ්ඩුව තමයි ඇමරිකාවත් එක්ක දේශද්‍රෝහී ගිවිසුම් ගැහුවේ.

ඇත්තටම මේ ආණ්ඩුව තමයි අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල බාහිර උපාධිය සඳහා රුපියල් 75,000 අයකරන්නේ මේ ආණ්ඩුවයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලපු 6% ඉල්ලීමට අපිත් එකඟයි. ඒ ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව හෝ වෙනත් උදවිය ඉදිරිපත් කර තිබෙන ලියවිලිවල තිබෙන දේවල් අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ ප‍්‍රායෝගිකව කරන දේවල් පමණයි. ඒ වෙනුවෙන් තමයි අපි මැදිහත් වෙන්නේ. මොකද මේ මහින්ද රාජපක්‍ෂ මීට කලින් මහින්ද චින්තනයේ බොහෝ පොරොන්දු දීල තිබෙනවා. ඒව ඉටුකරපු නැති බව ජනතාව දන්නවා. 2005 දුන්නු පොරොන්දු 2010 තියෙනවා. 2010 දුන්නු පෙරොන්දු 2014 තියෙනවා. ඒ නිසා මේ කව්රු ආවත් මේ රටේ ජනතාවගේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය හදන්න පුළුවන්කමක් නැහැ. එය කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදලා එහි ප‍්‍රතිලාභ සාධාරණව ජනතාව අතරේ බෙදී යන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. එතෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ කරන්න පුළුවන්. ඒ සඳහා මේ ඒකාධිපති පාලනය පරාජය කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහාත් මේ මැතිවරණය යොදාගන්න පුළුවන්. අද රටේ ජනතාවගේ ප‍්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා මේ පාලනය වෙනස් කළ යුතුයි කියලා. ඒක බස් එකේ, කෝච්චියේ, කඩපොළේ, වැඩබිමේ කථාබහ වෙනවා අපිට ඇහෙනවා.”
ලංකා ට්රුත්

Archive

Latest news

Related news