Friday, April 19, 2024

ජනාධිපති රාජපක්ෂ වෙත අවසන් ලිපිය – සුනන්ද දේශප්‍රිය

ප්‍රිය ජනාධිපතිතුමනි.
මා මේ ලියන්නේ ජනාධිපති රාජපක්ෂට ලියන අවසන් ලිපිය යි. මන්ද යත් එළඹෙන 08 දින මෙරට ජනයාට නිදහසේ  බියෙන් තොරව ජන්දය දීමට අවස්ථාව ලැබුණ හොත් ඔබගේ ජනාධිපතිධුරය අවසන් වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණක් නිසා ය.

අනෙත් අතට මෙම ජනාධිපතිවරණය ජන්ද මංකොල්ලයක් බවට පත්කීරීමට දැන් ඉතිං ඉඩක් නැත. මන්ද යත් මෑත කාලීන ශ්‍රී ලංකාවේ  නොවූ විරූ පරිද්දෙන් මෙම ජන්දය මහා ජනයාගේ ජන්දයක් බවට පත්ව තිබෙන නිසා ය. මහා ජනයා අතර මෙතරම් පිබිදීමක් ඇති කළ ජන්දයක් මෑත කාලයෙහි තිබී නැත.
ඇත්තටම නම් මේ වනාහී අනපේක්ෂිත වර්ධනයකි.

ඔබතුමාම හොදින් දන්නා පරිදි පොදු විපක්ෂය වටා ගොඩ නැගී ඇත්තේ නොසිතූ විරූ ජන ප්‍රසාදයකි. මෙවැනි ජන ප්‍රසාදයක් සහ ආශ්වාදයක් ගොඩ නැගෙනු ඇතැයි විපක්ෂයේ නායකනායිකාවන්වත්  නොසිතන්නට ඇති. දැන් ජනාධිපතිවරණ තීන්දුව ජනයා විසින් දී හමාරය. ඇත්තේ කතිරය ගැසීමට පමණි.

ඔබේ රූපකායෙන් ද ක්‍රියාවෙන් ද වචනයෙන් ද සිනහවෙන්ද වශීකෘතව සිටි ජනයා දැන් ඔබ අතහැර යමින් සිටින්නේ මන්දැයි සිතා බැලීමට

ඔබට මොහොතක්හෝ ලැබෙන්නේ නැත් ද?  නැත්නම් ඔබ ඇදහිය නොහැකි තරමේ මනෝ විකෘතියක සිර වී සිටිනවාවත් ද?

අඥාදායක පාලකයින්ට හෘද සාක්ෂියක් ඇත්දැයි යන්න සමාජ මනෝ විද්‍යඥයින්ට බාර පැනයකි. රාජ්‍ය මර්ධනකාරී හස්තයන් වන පොලීසිය සහ බන්ධනාගාර වැනි ආයතනයන්හි සේවය කරන පුද්ලයින්  සිය සේවා කාලය තුළ බාලයන්ට පවා දරුණු වධ හිංසා  පමුණුවන නමුත් නිවසෙහි දී සිය එම වසසේ ම සිය දරුවන් සුරතල් කරන බව කියනු ලැබේ. හැට ලක්ෂයක් යුදෙව්වන් ද ඇතුලුව සියක් ලක්ෂයකට වඩා ජනතාවක් ඝාතනය කිරීමට නියෝග දුන් හිට්ලර් සිය සහකාරියට පෙම් කළේ ය. යුද බිමෙහි අහිංසක ජනයා අමු අම්වේ ඝාතනය කරන සොල්දාදුවෝ මෙන්ම සටන්කාමීහු ද නිවෙසෙහි සිය මාපියන් බිරින්දන් සහ දරුවන් සමඟ විනෝද වෙති.

එනයින් අතිශය දරුණු මිනිසුන්ට පවා යම් තෙතමනයක් ඇති තැනක් සිත් ඇතුලාන්තයේ තිබේ. මා ඔබ හිට්ලර්ගේ ඝනයට ඇතුළත් කරන්නේ නැත. නමුත් ඔබම දන්නා පරිදි ඔබ එක්තරා අන්දමක අන්තනෝමතික පාලකයෙකි. කෙටියෙන් ඔබ වනාහි ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන අවකාශයත් අවසන් කොට සිය පවුලේ සහ සහචරයින්ගේ පාලනයක් පිහිට වූ සහ එම පාලනයට සරිළන පරිදි නීති රීති ද වෙනස් කොට ගත් ව්‍යවස්ථාදායක ඒකාධිපතියෙකි.

දැන් එළඹ ඇත්තේ ඔබ සිත්හි තෙතෙමනය ඇති තැනට ඉඩ දිය යුතු වේලාවකි. ඒ ඔබේම අතීතය සහ අනාගතය ගැන මෙනෙහි කර ගැනීමට ය.

ජනාධිපතිතුමනි, දැන් ඔබේ හෘද සාක්ෂියට සවන් දෙන්න. ඉතිහාසයේ  මෙවැනි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙන විට කවරකු වුවත්  කළ යුතු ප්‍රථම කාර්යය වන්නේ සිය හෘදය සාක්ෂියට සවන් දීමයි.

ඔබට මෙනෙහි කොට ඇතුලාන්තයට සවන් දීමට ඉඩ සලසනු ඇති එක් සරළ කරුණක් මෙන්න.

ඔබේ රුස්වීම්වලට ජනයා ගෙනෙන්නේ සිය ගණන් බස් රථවලින් ඔබ දනී.  2005 වසරෙහි ඔබේ ජනාධිපතිවරණ රුස්වීම් වලට මෙළෙස ජනයා අදින්නට වූයේ නැති බව ද ඔබ දනී.  එසේ නමුත් වේදිකාවේ සිට ඔබ හඩ නඟන්නේ මෙන්න බලන්න මෙතරම් ජනකායක් යැයි කියා ය. එසේ ඔබ මවාගත් හඬ නඟන විට ඔබේ  අභ්‍යන්තරයෙන් ඇසෙන හඬ කුමක් ද?  ගමනාගමනයට බස් ද සාත්තු සප්පායමට කෑම සහ බීම ද නොතිබිනි නම් මේ ජනයා ඔබේ කතාවලට අත්පුඩි ගසන්නේ නැති බව ඔබ අභ්‍යන්තරයෙන් අසන්නට ලැබෙනවානේ ද? ඒ දන්නා ඔබට දුකක් සංවේගයක් ඇති වන්නේ නැත් ද? අඩු ගණනේ ඇයි මේ කියාවත් ඔබ ආපසු තමාගෙන්ම අසා ගන්නේ නැත් ද?

ඔබ විසින් විමුක්තිය ලබා දුන්නේ යැයි කියූ ජනතාවගේ ජන්ද ලබා ගැනීම පිණිස ඔබේ අත්සන යෙදූ බාල ඔරලෝසු බෙදා දීමට සිදුවන විට, ඔබේ රෑපය යෙදූ දින දර්ශණ බෙදා දීමට සිදුවන විට කවර හෝ දුක්බර හැඟීමක් ඇති වන්නේ නැත් ද? අඩු ගණනේ කේන්තියක්වත්?

ජන්ද ටිකක් වැඩිපුර ලබා ගැනීම පිණිස ඉන්දියාවෙන් ගෙන්වා ගත් සල්මන් කාන් සහ තරුණ සුන්දරියක වන නිළි ජැකොලයින් ද සමඟ බොරුල්ලේ පාර දිගේ ඇවිදින ඔබේ මුහුණ, අහෝ දේශපාලන යාචකයකුගේ මුහුණකට වෙනස්  නොවී ය.

ප එක්ව විදි සටන් සහ මානව හිමිකම් සටන් කළ ඒ 1990 ගණන් සිටි අද වන විට සිදුව ඇති වෙනස සහ විපත්තිය කොතරම් ද? ඉතිහාසය විසින්

ඔබ විනිශ්චය කරනු ඇත්තේ එම යහපත් කාල පරිච්ජේදයෙන් නොව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය විනාශ කළ ඔබගේ ජනාධිපති

ධුර කාලයෙනි. අද මෙරට පොදු විපක්ෂයේ දේශපාලන ජයග්‍රාහී වේදිකාව  තුල ලියවෙන්නේ ඔබ පිළිබඳ විනිශ්චය යි.

බලන්න, ඔබට පෙර සිටි කවර හෝ ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු සිය දරුවන් දේශපාලනයට ගෙනැවිත් ඔවුනට බලකායන් නිර්මානය කර දී ප්‍රචන්ඩ දේශපාලනයකට හුරු කළේ ද? නාමල් රාජපක්ෂ නායකත්වය දෙන නිල් බලකාය රාජ්‍ය දේපල අනිසි ලෙස පරිහරණය කරමින් රටපුරා විපාක්ෂික දේශපාලන කණ්ඩායම්වලට පහර දෙමින් යෙදී සිටින දේශපාලනය වැනි අතීතයක් සහිත එක ද රාජ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ය නායක නායිකා දරුවකු මෙරට වීද?
අනුර බණ්ඩානායක, සජිත් ප්‍රේමදාස‍‍. රවි ජයවර්ධන යනාදී කිසිවකු බලකායන් මගින් විරුද්ධවාදීන් මැඩළීම දේශපාලනය කර ගත්තේ නැත.

ඔබ විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද දේශපාලන දායාදය නාමල් රාජපක්ෂ නම් අහෝ! එය මොන තරම් විපතක් විය හැකි  ද? සිය දොළදුක් සංසිදවා ගැනීම පිණිස මල්වතු අස්ගිරි නා හිමියන්ගේ ඉල්ලීමට පිටුපා ඔහු විසින් මහනුවර නගරයේ මොටර් සයිකල් රේස් පැද්දවීම යනාදී නාස්තිකාර හැසිරීම් විසින් සංකේතවත් කරන්නේ හයිටියේ අඥාන ලාබාල අඥාදායකයා වූ බේබි ඩොක් එරටට අත්කර  දුන් ඉරණම ය. බේබි ඩොක්ට ද මැර හමුදාවක් වූ අකිකරු දරුවන් කෑමට ගන්නා අවතාරයක නම ගත් ‘තොන් තොන් මැකූත්’ නම් භිෂණ කල්ලියක් තිබුණි.

17 වසක එජාප පාලනයට පසු එළඹි 1994  ජනාධිපතිවරණ සමයෙහි අපිද  ‘බියෙන් අත් මිදෙමු‘ ප්‍රසංගය සමඟ රටපුරා ගියෙමු. එහෙත් අපට එක ද ගල් පහරක් හෝ වැදුනේ නැත. එක හූවක් හෝ ඇසුණේ නැත. ලක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ්මන් විජේසේකරඑදා  එම වේදිකාවෙහි ගී ගයා නිරුපද්‍රිතව ගෙදර  ගියේ ය. ජයතිලක බන්ඩාර ද ගී ගැයුවේ ය. ඔහුට පහර දීමට එදා ජනාධිපති දරුවන්ගේ බලකායන් පැමිණයේ නැත.
අද ජනාධිපතිතුමනි, කොතරම් වෙනසක් ද?

යුද්ධාවසානයෙන් පසු ඔබට   ආපසු හැරී බලන්නැයි ද ධර්මාශෝක මඟ ගන්නැයි ද  කළ ආයාචනා ඔබ විසිකර දැමුවෙහි ය. අවාසනාවකට මෙන් දැන් මේ අවස්ථාව එළඹෙන්නේ ඔබ බලයෙන් පහවීමේ පෙර නිමිති පහළ වී ඇති මෙහොතෙහි ය.

ඉතිං දැන් ස්වකීය  විත්ත අභ්‍යන්තරයට සවන් දීමේ අවස්ථාව ඔබ හමුවට පැමිණ තිබේ.

දේශපාලන බලය සදා පවතින දෙයක් නොවේ. එය අත්හැරීමට අවස්ථාව පැමිණි විට සාමකාමීව බැස යාමට සූදානම ප්‍රජාතනත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය අංගයකි. දැන් ඔබ කළ යුතුව ඇත්තේ මහා ජනයාගේ නිදහස් ජන්දයට සවන්  දී ජනවාරි 09 දා සාමකාමීව බලයෙන් ඉවත්වීමය. අඩුම වශයෙන් මේ එළඹෙන අවසාන අවස්ථාවේදීවත් ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට හිස නමන්න. බලයෙන් හෝ කූටෝපායෙන් හෝ බලයේ රැදී සිටින්නට තැත් දරන්න එපා. ඉතිහාසය ඔබ සම්බන්ධ විනිශ්වය දී අවසානයි. ඊට හිස නමන්න සූදානම් වන්න.

– සුනන්ද දේශප්‍රිය

Archive

Latest news

Related news