Thursday, April 25, 2024

වේදිකාවට වෙඩි; රැළියට ගල් ප්‍රහාර; අනීතික පත්වීම් සහ ජොතිෂ්‍යය පත්තර

(ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට අයත් මදිරිගිරිය  කාර්යාලය කඩා බිඳ දමා ඇති අයුරු)

කැෆේ මැතිවරණ වාර්තා අංක 49.

2014 දෙසැ. 28 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 595 කි. එයින් 53 ක් ප්‍රචණ්ඩ ක්‍රියා වන අතර තවත් පැමිණිලි 542 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.

පොදු අපේක්ෂක රැළියෙන් පසුව හම්බන්තොට තැන තැන ප්‍රචණ්ඩ ක්‍රියා

වලස්මුල්ල මැතිවරණ වේදිකාවට වෙඩි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීම් මාලාවෙන් පසුව විපක්ෂ ක්‍රියාකාරීන්ට ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දෙසැ. 27 දින ප්‍රචාරක රැළයක් පැවැත්වුණු වලස්මුල්ල හොරේවෙල මංසන්ධියේ ඉදිකොට තිබූ වේදිකාවට රැළිය අවසන්වීමෙන් පසුව දෙසැ. 28 දින අලුයම 1.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත. වේදිකාව අසල තිබූ කොඩි, සැරසිලි මෙම පිරිස විසින් ගිණි තබා ඇත.

මෙම රැළියට පැමිණි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයකට උඩහගොඩ, නමනැළිය දී ප්‍රහාරයක් එල්ල වී ඇත. පුද්ගලයින් දෙදෙනෙකුට දැඩි ලෙස පහරදී ඇත.

මල්වත්ත ප්‍රදේශයේ පදිංචි මහින්ද සහ වන්නිආරච්චි යන ප්‍රබල එජාප ආධාරකරුවන් දෙදෙනාගේ සහ ඔවුන් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට එක් වූ තවත් තිදෙනෙකුගේ නිවෙස්වලට දෙසැ. 27 රාත්‍රී 10.30 සිට 11.30 දක්වා කාලයේ මෝටර් සයිකල් වලින් පැමිණි පිරිස‍් හිසට ගිණි අවි තබා තර්ජනය කොට ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රචාරක කටයුතු සදහා සම්බන්ධ නොවන ලෙසත්, ප්‍රචාරක කටයුතු සදහා එක් නොවන ලෙසත් මෙම පිරිස තර්ජනය කොට ඇත. හිස සම්පූර්ණයෙන්ම වැසුණු හෙල්මට් පැලද මෝටර් සයිකල් වලින් පැමිණි සිව් දෙනෙකු තමන්ට තර්ජනය කළ බව මහින්ද සහ වන්නිආරච්චි යන අය කැෆේ සංවිධානය වෙත පැවසීය.

අක්කරෙයිපත්තුවේ විපක්ෂ නායක රැළියට ගල් ප්‍රහාර

දෙසැම්බර් 27 වන දින පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහය පල කරමින් අක්කරෙයිපත්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති රැළියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. රාත්‍රී 7 ත් 8 ත් අතර කාලයේ අවස්ථා දෙකක දී ගල් ප්‍රහාර එල්ල වී ඇත.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රැළිය අමතමින් සිටින අතරතුර එක් ගල් ප්‍රහාරයක් එල්ල වි ඇත. මෙම ගල් ප්‍රහාරය විපක්ෂ නායක වරයා සභාව අමතමින් සිටි මයික්‍රෆෝනයට වැදී ඇති අතර එය බිම වැටිණ. කෙසේ නමුත්, විපක්ෂ නායකවරයා සිය කථාව දිගටම කරගෙන ගොස් තිබේ.

කුණ්ඩසාලේ පොදු අපේක්ෂක කාර්යාලයට ප්‍රහාරයක්

දෙසැම්බර් 26 වන දින රාත්‍රියේ එල්ල වු මෙම ගල් ප්‍රහාරයෙන් එම කාර්යාලයේ ජනෙල් වීදුරු වලට දැඩි හානි සිදුව ඇත. ප්‍රහාරය එල්ල කළ පිරිස පොදු අපේක්ෂකයාගේ රුව රැගත් කටවුට් ද රැගෙන ගොස් ඇත.

එජනිස අපෙක්ෂකයා වෙනුවෙන් ජොතිෂ්‍යය පුවත් පතක්

එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම (ලේක්හවුස්) මඟින් එම අයතනයේ මුද්‍රණය කරන සෙත්මිණ නම් ජෝතිෂ්‍යය පුවත් පතේ විශේෂ කලාපයක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් මුද්‍රණය සඳහා සුදානම් කොට ඇති බව වාර්තාවේ.

එජනිස ජනාධිපතිවරණ අපේක්ෂකයා නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවටත් පොදු අපෙක්ෂකයා පරාජය වන බවටත් මෙම විශේෂ කලාපයේ සදහන් කර තිබේ.

එක් අපේක්ෂකයෙකුට වාසි වන ආකාරයේ ජොතිෂ්‍ය අනාවැකි ඇතුළත් මෙම පුවත්පත මුද්‍රණය කර බෙදා හැරීමට මේ වනවිට කටයුතු සැලසුම් කර තිබේ.

මේ සම්පූර්ණ වියදම ලේක්හවුස් ආයතනය මඟින් දරන අතර මෙහි කලාප ලක්ෂ විස්සක් පමණ මුද්‍රණය කර නොමිළේ බෙදා හැරීමටද කටයුතු සූදානම් කර ඇත.

දැරණියගල පොදු අපේක්ෂක පක්ෂ කාර්යාලයට ප්‍රහාරයක්

දැරණියගල දීගල පිහිටි පොදු අපේක්ෂක පක්ෂ කාර්යාලයට දෙසැම්බර් 27 වන දින රාත්‍රී 8 ට පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ. නියොජ්‍ය අමාත්‍ය එච්.ආර්.මිත්‍රපාල මහතා ඇතුළු තිදෙනෙක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට අප වෙත ලැබුණු පැමිණිලේලේ සදහන් වේ.

මැතිවරණය ආසන්නයේ රජයේ පත්වීම් ලබාදීම

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා විසින් 2015 ජනවාරී 01 වන දින රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් 300 ක් ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

මහනුවර නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නගර ශාලා‍වේදී මෙම පත්වීම් ලිපි උත්සවාකාරයෙන් ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය
දෙසැ. 28

Archive

Latest news

Related news