Wednesday, April 24, 2024

සිරිකොත ඉදිරිපිට ගැටුමට පොලීසිය වගකිව යුතුයි! – කැෆේ

(අහක බලන පොලිසිය)

කැෆේ මැතිවරණ වාර්තා අංක 46

දෙසැ. 25 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 532 කි. එයින් 47 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 485 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.

සිරිකොත අසල ගැටුම කැෆේ හෙළා දකියි
දෙසැම්බර් 24 වන දින එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතට එල්ලවු සංවිධානාත්මක ප්‍රහාරය කැෆේ සංවිධානය දැඩිව හෙළා දකියි.
පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත්වීමෙන් පසු දිගින් දිගටම විපක්ෂය වෙත එල්ල වු බලපෑම් වල තීව්‍ර අවස්ථාවක් ලෙස කැෆේ සංවිධානය මෙය හඳුන්වයි.
දෙසැම්බර් 24 වන දින පෙරවරු 10.20 ට පමණ ජාතික සංවිධාන එකමතුව නම් වු සංවිධානයක සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අසල විරෝධතාවක නිරතව සිටියදී මෙම ගැටුම ඇතිවී තිබේ.ජාතික සංවිධාන එකමුතුව අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ ක්‍රියාත්මක වන සංවිධානයක් වන අතර එම සංවිධානයේ සාමාජිකයින් 125 දෙනෙක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.
මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවු ආකරයක් දක්නට ලැබුණ අතර , ප්‍රහාරය මෙහෙයවු ජාතික සංවිධාන එකමුතුවේ ඇතැම් සාමාජිකයින් පොලිස් ආරක්ෂාව මත පලායන ආකාරයක් දක්නට ලැබිණ.

තරුණ සේවා සභාව එජනිස මැතිවරණ ප්‍රචාරණයේ
ජාතික තරුණ සේවා සභාව විසින් “හද ගැස්ම” නමින් දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.මෙහිදී සෑම දිස්ත්‍රික්කයකින්ම තරුණ තරුණියන් කැඳවා ඔවුන්ට ආහාර පාන සහ ගමන් වියදම් ලබාදී ඉදිරියේදී රැකියා ලබාදෙන පොරොන්දුව ලබාදීම සිදු කෙරෙයි.
ප්‍රා ලේ කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක කෙරෙයි.
මීට අමතරව දෙසැම්බර් 24 වන දින මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට පැවති එජනිස අපේක්ෂකයාගේ රැළිය සඳහා සහභාගි වන ලෙස ජාතික තරුණ සේවා සභාවේ සියලු නිළධාරීන්ට බලපෑම් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් වාහන ඡන්ද වැඩවල
ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් අංක wp PD 2340 වෑන් රථය, අංක wp NB 3034 , wp NB 1100 යන කැබ් රථ දෙක එජනිස අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා මැතිවරණ ව්‍යාපාරයේ යොදවා තිබේ.
ගම්පහ දිවුලපිටිය ශ්‍රිලංගම ඩිපෝවේ සේවයේ නියුතු දෙහිවල ලියනගේ හියුබට් ගුණසේකර මහතාගේ තැපැල් ඡන්දය වංචනික ලෙස වෙනත් අයෙකු පාවිච්චි කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.මේ සම්බන්ධයෙන් අදාල ඡන්ද දායකයා දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. දිවුලපිටිය පොලිසිය මෙම පැමිණිල්ල යටපත් කිරීමට උත්සහ දරමින් සිටින බව “නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” කැෆේ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.

මහින්දෝදය විද්‍යාගාර ඡන්ද ප්‍රචාරණයට යොදා ගැනීම
මැතිවරණ ප්‍රචාරණයට පාසැල් පද්ධතිය යොදාගැනීමේ කටයුත්තක් ගැන කැෆේ සංවිධානයට පැමිණිල්ලක් ලැබී තිබේ.ලංකා ගුරු සේවා සංගමය පැමිණිලි කර ඇත්තේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව එජනිස අපේක්ෂක ප්‍රවර්ධනයට යොදා ගැනෙන බවයි. මේ යටතේ අද (දෙසැම්බර් 25 )දිනයේදී ද රත්නපුර දිස්ත්‍රික්කයේ පාසැල් කිහිපයක එම විද්‍යාගාර විවෘත කිරීම් යොදා තිබේ. මෙම උත්සව සඳහා පාසැල් දරුවන් පමණක් නොව එම දරුවන්ගේ දෙමව්පියන් ද බලහත්කාරයෙන් කැඳවා ඇත.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය 2014 දෙසැ. 24

Archive

Latest news

Related news