Wednesday, April 24, 2024

මැතිවරණ කොමසාරිස්තුමනි, මේ උදා වී ඇත්තේ ඔබේ වාරයයි – එජාපය

රාජ්‍ය ජනමාධ්‍ය ජනාධිපතිවරනය තුළ රාජපක්ෂගේ ප්‍රචාරය වෙනුවෙන් යොදා ගෙන තිබිම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා සේ ඉල්ලා එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයි වෙත ලිපියක් යවමින් කියා සිටි.

එම ලිපියෙහහි මෙසේද සඳහන් වේ.

මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද ව්‍යාපාරය තුල ඇති පහත්භාවය හා එය ශිෂ්ට සම්මත වටිනාකම්වලට ගරු නොකරන බව ප්‍රදර්ශනය කරමින් බදාදා දිනයේ පැවැති තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාව රජයේ රූපවාහිනි ආයතන හා තවත් පෞද්ගලික රූපවාහිනි ආයතන කිහිපයක් ඔස්සේ සජීවි විකාශනය කිරීමට කටයුතු කරන ලදී.

රාජ්‍ය මාධ්‍ය විසින් එම අවස්ථාව සජීවීව විකාශනය කිරීම පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් සේම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශ නොතකා හැරීමක් ද විය. එසේම එය සාධාරණත්වය හා යුක්තිගරුකභාවය සම්බන්ධයෙන් ඇති සම්මතයන් උල්ලංඝනය කිරීමක් ද විය.

දෙරණේ නොහික්මුණු ප්‍රචාරය :

පැහැදිලිවම එම සජීවි විකාශනය තනි අපේක්ෂකයෙකු උත්කර්ශයට නැංවීම වෙනුවෙන් වූ උත්සාහයක් පමණක් විය. එම සජීවි විකාශයෙන් පසු අපේක්ෂකයා පිලිබඳ ගීත කිහිපයක් ද විකාශය වූ අතර, එය මුදල් ගෙවූ දැන්වීමක් නොවූ අතර, එය රාජ්‍ය රූපවාහිනියේ නොහික්මුණු ප්‍රචාරක ව්‍යාපාරයේම කොටසක් විය.

මෙම නොහික්මුණු, බලය අනිසි ලෙස භාවිතා කිරිම සිදු වුයේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය තවත් එක් සාමාන්‍ය දිනක දී නොවීම විශේෂත්වයකි. එය සිදු වූයේ තීරණාත්මක ජාතික මැතිවරණයක දී වෙනුවෙන් රජයේ සේවකයන් තම තැපැල් ඡන්ද ප්‍රකාශ කරමින් සිටිය දීය.

එසේම පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් වන දෙරණ රූපවාහිනි ආයතනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පසුගිය සතියේ විකාශය කිරීම තහනම් කරන ලද විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ පැරණි කථා ඇතුළත් දැන්වීම් කිහිපයක් යළි නොනවත්වා විකාශනය කරමින් සිටිම ද අපගේ නිරීක්ෂණයන්ට හසුව ඇත.

විශේෂයෙන්ම, පසුගිය 22 වන දින රාත්‍රියේ අවස්ථා කිහිපයක දීම දෙරණ නාලිකාව එම දැන්වීම විකාශය කර තිබේ.

මැකො ව නොසලකා හැරලා:

ධුරය හොබවන ජනාධිපතිවරයා විසින් තවත් අපේක්ෂකයෙකු තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීම නතර කරන ලෙස සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කරන ලද විශේෂ විධි විධාන පිලිබඳව පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් අඩු අවධානයක් හා සැලකිල්ලක් දැක්වීම සැබැවින්ම කණගාටුදායක ය.

මෙහිදී ජාතික රූපවාහිනිය, ගුවන් විදුලිය ඇතුළු සෙසු රාජ්‍ය මාධ්‍ය ආයතනවලට යලිඳු වතාවක් අප අවධාරණය කර කියා සිටිනුයේ තමන්ව පෝෂණය කරනුයේ රාජපක්ෂ පවුලෙන් හෝ රාජපක්ෂවරුන්ගේ දේශපාලන පක්ෂවලින් නොවන බව සිහි තබා ගෙන කටයුතු කරන ලෙස ය.

මෙම නාලිකා මේ ආකාරයෙන් හෝ පවත්වා ගෙන යනුයේ ජනතා බදු මුදලින් බව මේවාහි සේවයේ නිරතවන්නන් සිහි තබා ගත යුතුය.

මෙම නාලිකාවන් හි සේවය කරන්නන් හට වැටුප් හා දීමනා ගෙවනුයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ නොව දැඩි පරිශ්‍රමයකින් යුතුව වෙහෙස මහන්සි වී තම ශ්‍රමය වගුරවන රටේ සාතිශය බහුතරයක් වන සාමාන්‍ය ජනතාව බව ඔවුන් අවබෝධ කර ගත යුතුය.

එවැනි පසුබිමක් තුල සෙසු අපේක්ෂකයන් ව අභිබවා එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු හට පමණක් සහයෝගය දැක්වීමේ කිසිදු අයිතියක් හෝ නෛතික පදනමක් කිසිවෙකුට හෝ නොමැත.

කැත පුරුද්දක් :

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සිට රූපවාහිනි ආයතන දක්වා සියළු රාජ්‍ය දේපල සිතූ සේ පරිහරණය කිරීමේ කැත පුරුද්දක් රාජපක්ෂවරුනට ඇති අතර, රටේ සියළු කටයුතු හි සුක්කානම තනි පවුලක් යටතේ ඇති බව ඔවුන් විශ්වාස කරයි. රාජපක්ෂවරුන් තුල නිදන්ගතව ඇති රෝගයේ ලක්ෂණය ඒ ආකාරය ය.

මේ පසුබිම තුල සැබෑ ප්‍රශ්නය යොමු වනුයේ මැතිවරණ කොමසාරිස්වරයාට ය. අප ඔහුගෙන් විමසා සිටිනුයේ තම දෙපාර්තමේන්තුව සූදානම් වන මැතිවරණයකට තරග කරන එක් අපේක්ෂකයෙකු විසින් සිදු කරන මේ අතිශය අප්‍රසන්න රාජ්‍ය බලය භාවිතා කිරීම නොපෙනෙනුයේ දෑස් අන්ධ නිසා ද, ඒවා නොඇසෙනුයේ කන් බිහිරි නිසා ද කියා ය.

ශ්‍රී ලංකාවේ මී ලඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල සිදුවන මේ අකටයුතුකම් සම්බන්ධයෙන් තව දුරටත් නිහඩ නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරිමට සැලසුම් කර ඇත් ද යන්න අප මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මේ මොහොතේ ප්‍රශ්න කරන්නෙමු.

මැතිවරණ සමයක දී, මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයට ඊට අදාළ නිතිය බලාත්මක කිරීම හා රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් සම්පූර්ණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමිව තිබේ.

නමුත්, තැපැල් ඡන්ද දිනයේ සිදු කරන ලද අප ඉහත පෙන්වා දුන් විකාර සහගත ක්‍රියාව සම්බන්ධයෙන් කිසිවක් කරනවා වෙනුවට දැඩි නිහඬතාවයකින් මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කිරීම සැබැවින්ම කණගාටුදායක ය.

උදා වී ඇත්තේ මැකෝ ගේ වාරයයි :

රටේ ප්‍රජාතන්ත්‍රීය විපක්ෂය, ලෙස මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ගන්නා ක්‍රියාමාර්ග කවරේ ද යන්න දැන ගැනීමට අප කැමැත්තෙමු.

මෙහිදී අප මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මැතිවරණ දිනය තෙක් හෝ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරිමට නිසි බලධාරියෙකු වහා පත් කිරීමට කටයුතු කරන ලෙස ය.

එසේ පත් කර මෙම අප්‍රසන්න ඒකපාක්ෂික මාධ්‍ය භාවිතාව නතර කිරිමට කටයුතු කරන මෙන් අප මැතිවරණ කොමසාරිස්වරයාට යෝජනා කරන්නෙමු. යම් ලෙසකින් මැතිවරණ කොමසාරිස්වරයා එසේ නොකරන්නේ නම් රාජ්‍ය මාධ්‍යයන් විසින් මේ සිදු කර ගෙන යන අනිසි භාවිතාව තවත් දිරිමත් කිරීමක් හා එය අනුමත කිරීමක් සිදු වන බව අපගේ විශ්වාසයයි.

තමන්ගේ අධිකාරී බලය යටතේ හිමිව ඇති බලය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ යනු ජනාධිපතිවරණය තුල සිටින තවත් එක් අපේක්ෂකයෙකු බව ඔහුට සිහිපත් කරන ලෙස අප මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

තම බලය අනිසි ලෙස භාවිතා කිරිම හා නීති බිදීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව විධානයක් නිකුත් කරන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

එසේම මෙම මැතිවරණ සමයේ තම පැවැත්ම සම්බන්ධයෙන් යම් බලපෑමක් එල්ලවන්නේ නම් රට හමුවේ තම දුක් ගැනවිලි ඉදිරිපත් කරන ලෙස අප මැතිවරණ කොමසාරිස්වරයාට අවධාරණය කරන්නෙමු.

එවිට සාධාරණ මැතිවරණයක් මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටින මේ රටේ සුවහසක් බලවේග මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටින බව අප වගකීමකින් යුතුව පවසන්නෙමු.

මේ තීරණාත්මක මොහොතේ රටේ සියළු ඇස් යොමුව ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ හැසිරීම කෙරෙහි ය.

අතිශය භයානක වටපිටාවක් මධ්‍යයේ වුව ද ශක්තිමත් ධෛර්යවන්ත හා ස්වාධීන හැසිරීමක් මේ මොහොතේ රට මැතිවරණ කොමසාරිස්වරයාගෙන් බලාපොරොත්තුවෙන් සිටී. මැතිවරණ කොමසාරිස්තුමනි, මේ උදා වී ඇත්තේ ඔබේ වාරයයි.

Archive

Latest news

Related news