Saturday, April 20, 2024

මහින්දට ජන්දය දෙන්නැයි, හමුදාව වන්නි මැතිවරණ ප්‍රචාරයේ

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා හමුදා සෙබළුන් වන්නි ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරතව ඇතයි ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි.

මහින්දට ජන්දය ලබා දෙන්නයි වන්නි ජනතාව වෙත හමුදාව විවිද ආකාරවලින් බලපෑම් කරන බවද අතුරුදහන්වූ පිරිසව මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් කරනු ඇතයිද ඇතැම් ප්‍රදේශවල හමුදාව පවසා තිබේ.

රනිල්ද? මහින්දද? යැයි තීරණය කරන ලෙසත්, කොටි සංවිධානයෙන් කරුණා අම්මාන්ව කඩා වෙන් කළේ රනිල් බවත් නැවැත ඔහු පැමිණියේ නම් යළි යුද්දයක් ඇතිවී ඔබලා අවතැන්වීමට සිඳුවිය හැකි බවද හමුදාව පවසා ඇතැයි එම වෙබ් අඩවිය වන්නියේ සිට වාර්තා කරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියදී තවත් සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට ඇති බවත්, ඔබගෙන් අහිමිවූ සියළු දෙය ඔහු යළි ලබා දෙනු ඇතැයිද පවසා සිටින හමුදාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවුයේ නම් ඔබලාට කිසිවක් නොලැබෙන බවද පවසන බව ද එය වාර්තා කරයි.

මේ අතර මෑතකදී මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල සහභාගිවී තිබුණි. උතුරේ කිලිනොච්චිය හා මුල්ලතීව් දිස්ත්‍රික්කවලටද ගොස් ප්‍රචාරක කටයුතු පවත්වා තිබුණි.

නැගෙනහිරදී පොදු විපක්‍ෂයේ මහින්දට එරෙහිව රැස්වීම් කිහිපයක් පවත්වා තිබූ නමුත් උතුරදී පොදු විපක්‍ෂය විසින් මෙතෙක් කිසිම රැස්වීමක් පවත්වා නොමැත, මෙවැනි අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් හමුදාව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියි.

සෑම ස්ථානයකදීම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කටවුට් හා පෝස්ටර් අලවා තිබේ. මේ අතර හමුදාව දිගින් දිගටම අත් පත්‍රිකාවන් හා පෝස්ටර් බෙදා දෙමින් සිටියි. දෙමළ ජාතික සන්ධානය තම ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ නොකර සිටීමෙන් දෙමළ ජනතාව අතර තමන් කාටද ජන්දය ලබාදිය යුත්තේ යන ගැටළුවක් පවතින බවද ග්ලෝබල් පුවත් වාර්තා කරයි.

Archive

Latest news

Related news