Tuesday, July 16, 2024

පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන එළි දැක්වීමටත් බාධා: හමුදාව එයි;වයර් කපයි

( ප්‍රතිපත්ති ප්‍රකාශණය එලි දැක්විම අතරතුර)

කැෆේ මැතිවරණ වාර්තා අංක 38

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාව 2014 දෙසැ. 19 දින කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි. මෙම උත්සවය සදහා අවසර ඉල්ලා 2014 දෙසැ. 16 දින යොමු කළ ලිපියකට එදිනම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස් විසින් අවසර ලබා දී තිබුණි.

කුරුදුවත්ත පොලීසිය විසින් විහාරමහාදේවි එළිමහන් භුමියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සදහා දෙසැ. 17 දින අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව මෙම රැස්වීම නීත්‍යානුකුල වේ.

සිරිසේන මහතා ගේ ආධාරකරුවන් රැස්වීම සදහා වන පීඨිකාව, අමුත්තන් සදහා වන පියස්ස සකස් කරමින් සිටින අතර දෙසැ. 18 දින රාත්‍රී 11 ට පමණ පැමිණි හමුදා නිලධාරියෙකු වන කැප්ටන් ශාන්ත දිසානායක නැමැත්තා මෙම භුමිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට යටතේ පාලනය වන බැවින් එහි ඉදිකිරීම් සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අවසර ලබා ගත යුතු බව පවසා ඇත. උත්සවයේ කටයුතු සංවිධානය කිරීම භාරව කටයුතු කළ විශ්‍රාමික මේජර් සරත් සිරිවර්ධන මහතා එයට දැඩි විරෝධය දැක්වීමෙන් පසුව හමුදා නිළධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. පසුව දෙසැ. 19 දින අලුයම 4.00 ට පමණ එහි පැමිණි තවත් හමුදා නිලධාරියෙකු ඒ වන විටත් ඉදිකරමින් තිබූ පියස්ස ගලවා දැමීමට උත්සහ දරා ඇත. එහි සිටි පිරිසගේ දැඩි විරෝධය හමුවේ හමුදා නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් විය.

උත්සවය පැවැත්වෙන භුමියේ විදුලිය විසන්ධි කොට තිබූ අතර මෙම අවස්ථාවට විදුලිය සපයා තිබුණේ ජෙනරේටර් මගිනි. රැස්වීම ආරම්භවීමෙන් පසුව පෙ.ව. 10.10 ට පමණ ජෙනරේටරයෙන් විදුලිය සැපයීමේ ප්‍රධාන විදුලි වයරය කපා දමන ලදී. ප්‍රතිපත්ති ප්‍රකාශනය දොරට වැඩීමේ අවස්ථාවේ විනාඩි 12 කට වැඩි වේළාවක් විදුලිය විසන්ධි වී තිබූ අතර එය පැහැදිලි කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය.
තෙල්දෙණියේ විදුලිය කපලා. නාවලපිටියේ ලංගම බස් නෑ.

තෙල්දෙණියේ විදුලිය විසංධි කරයි

අද දෙසැ. 20 දින මහනුවර තෙල්දෙණිය හා නාවලපිටිය හි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීම් පැවැත්වීමට නියමිතය. පෙ.ව. 7.40 වන විටත් තෙල්දෙණිය ප්‍රදේශයේ විදුලිය විසන්ධි කොට ඇත. නාවලපිටිය රැස්වීම පෙ.ව. 9 ට පැවැත්වීමට නියමිත අතර පෙ.ව. 8.31 වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවාවන් අඩාල කොට ඇත.
ගල්නෑවේ පැමිණිලිකරුවන්ට සභාපතිගෙන් මරණ තර්ජණ

ගල්නෑවේ මරණ තර්ජන

2014 දෙසැම්බර් මස 16 වැනිදා ගල්නෑව මාවත්තේගම පාසල අසල සිදුවු වෙඩිතැබීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන ගල්නෑව ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව්.එම්. චන්ද්‍රතිලක මහතා ඒ පිළිබද පොලිස් පැමිණිල්ල සිදු කළ අයට කිහිපවරක්ම මරණ තර්ජන කර ඇත. ජේ.ඒ.අජිත් ප්‍රේමකුමාර ඇතුඵ පැමිණිලිකරුවන්ට මේ නිසා පොලිසියට යාමට පවා නොහැකි වී ඇත. මෙම තර්ජන පිළිබද ගල්නෑව පොලිසියට පැමිණිලි කිරීමට ගිය ද එම පැමිණිල්ල පවා පොලීසිය සටහන් කරගෙන නොමැත.

ගල්නෑව නිවසේ විපක්ෂයේ පොදු අපෙක්ෂකයාට සහාය දැක්වීමට පැවති රැස්වීමේ අවසානයේ පිටව යාමට සුදානම් වන විට එල්ල වු මෙම ප්‍රහාරයෙන් යතුරු පැදි 5 කට සහ ට්‍රැක් රථයකට අලාභ හානි සිදු විය.
තරුණ සේවා සභාවේ සේවකයින් බලහත්කාරයෙන් මැතිවරණ ව්‍යාපාරයට

බලෙන් මැතිවරණ කැම්පේන් එකට

ජාතික තරුණ සේවා සභාවේ සේවකයින් බලහත්කාරයෙන් එජනිස මැතිවරණ ව්‍යාපාරයේ යෙදවීමේ අවස්ථා ගණනාවක් පිළිබද පැමිණිළි කැෆේ සංවිධානය වෙත ලැබී ඇත. මහරගම ප්‍රධාන කාර්යාලයේ සේවකයින්ට දෙසැ. 22 දින බැහැරයාමේ ලේඛණයේ අත්සන් තබා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යාමට සුදානම් වන ලෙස දැනුම් දී ඇත. මේ පිරිස මාතරට රැගෙනයාම සදහා බස් රථ යොදවා ඇත.

සදුදා (22) පෙ.ව.7 ට මහරගම ට පැමිණෙන ලෙස මේ පිරිසට දන්වා ඇති අතර එසේ පැමිණීමට අකමැති පිරිස් ඒ බව ලිඛිතව දැනුම්දිය යුතු බවට තරුණ සේවා සභාපතිවරයා දන්වා ඇත.

දෙසැ. 20 දින පෙරවරු 10 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 406 කි. එයින් 40 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 366 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය 2014 දෙසැ. 20

Archive

Latest news

Related news