Thursday, April 25, 2024

‘සිය දිනකින් අලුත් රටක්‘ හදන පොදු විපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂයේ දිනපොත සහ ක්ෂනික සහන 100 මෙන්න

ජනවාරි 08 දින ජනාධිපතිවරණය ජයගැනිමෙන් පසු පොදු විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාවට නංවන වැඩ සටහන දින වකවානු ඇතිව අද නිකුත් කරන ලදි.

ඒ මෙසේ ය.

2015 ජනවාරි 10 සෙනසුරාදා
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දීම.

11 ඉරිදා
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඇතුළත් වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්‍ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත් කිරීම.

12 සඳුදා
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාව පත් කිරීම.

13 අඟහරුවාදා
ශුද්ධ වූ පාප්වහන්සේ ශ්‍රී ලංකාවට සැපත්වීම සහ ඒ වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.

19 සඳුදා
පාර්ලිමේන්තුව කැඳවීම.

20 අඟහරුවාදා
ස්ථාවර නියෝග සංශෝධනය කොට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබෙන පා.67/10 අංක දරණ යෝජනාවේ සඳහන් පරිදි අධීක්‍ෂණ කාරක සභා සඳහා සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීම හා පක්‍ෂ නායකයින්ගේ එකඟත්වය ඇතිව සෑම පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි ඒවාහි සභාපතිවරුන් පත් කිරීමට පියවර ගැනීම.

21 බදාදා
දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන අල්ලස් හා දූෂණ කොමිසම හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුළත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කර හැකි ඉක්මනින් සම්මත කිරීමට පියවර ගැනීම.

28 බදාදා
මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ සර්ව පාක්‍ෂික කමිටුව පත් කිරීම.

29 බ්‍රහස්පතින්දා
කඩිනම් සහන ලබාදී ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

30 සිකුරාදා
අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක ඍජු හා වක්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම.

2015 පෙබරවාරි 2 සඳුදා
සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග්‍රහයක් නීතිගත කිරීම.

4 බදාදා
ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය හා ජනතා පරමාධිපත්‍යය යළි පිහිටු වන ලද නව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය.

5 බ්‍රහස්පතින්දා
පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විශේෂ විනිශ්චය සභා පත් කිරීම.

6 සිකුරාදා
ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කොට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

18 බදාදා
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා ඊට අදාළ පත්වීම් සිදු කිරීම.

19 බ්‍රහස්පතින්දා
ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම.

20 සිකුරාදා
තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කිරීම.

2015 මාර්තු 02 සඳුදා
නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කමිටු යෝජනා ලබා ගෙන ඒ අනුව අදාළ නීතිරීති සකස් කිරීම.

17 අඟහරුවාදා
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකිතාක් ඉක්මනින් සම්මත කිරීම.

18 බදාදා
ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම.

19 බ්‍රහස්පතින්දා
ජාතික විගණන පනත සම්මත කිරීම.

20 සිකුරාදා
තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම.

23 සඳුදා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා ස්වාධීන කොමිෂන් සභා ඇතුලූ වෙනත් පත්වීම් සිදු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම.

2015 අප්‍රේල් 20 සඳුදා
අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහය ක්‍රියාත්මක වීම.

23 බ්‍රහස්පතින්දා ඉකුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම.

එම මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්‍ෂයට අග්‍රාමාත්‍ය ධූරයත්, ඊළඟ පක්‍ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දීම.

පාර්ලිමේන්තුවේ සියලූම පක්‍ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයකින් සමන්විත සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම.

එම සර්ව පාක්‍ෂික ආණ්ඩුව යටතේ රටේ ප්‍රධාන අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියා කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම.

පවුල්වාදී පාලනය හා ඒකාධිපතිවාදය විසින් රටටත්, ජන ජීවිතයටත් කරන ලද බිහිසුණු විනාශය නිසා මහජනයා දැඩි පීඩනයට හා කම්පනයට ලක් වී සිටිති. සාර ධර්ම පිරිහී, සංස්කෘතිය සෝදා පාළු වී ගොස් තිබේ. දූෂණය ද, භීෂණය ද, නාස්තිය ද හේතු කොට ගෙන සමාජය දෙදරුම් කා ඇත. මේ හේතු කොට ගෙන හදිසි සහන ලබා දී ජන ජීවිතය මුදවා ගෙන වහාම සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට යථා තත්ත්වයට පත් කළ යුතුව තිබේ.

100 දිනක් ඇතුළත ක්‍රියාවට නංවන ක්‍ෂණික සහන වැඩසටහන

1. රජයේ සේවකයෙකුට රුපියල් 10,000 ක වැටුප් වැඩි වීමක් ලබාදීම සහ එහි මූලික පියවර හැටියට වහාම ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි මස වැටුපට රුපියල් 5,000 ක වැටුප් වැඩි වීමක් ලබා දීම. සියලූ දීමනා ඇතුළත් කොට ඒකාබද්ධ වැටුප නිර්ණය කිරීමෙන් අනතුරුව හිඟ මුදල් ද සහිතව ඉතිරි වැටුප් වැඩිවීම් ලබාදීම.

2. රජයේ සේවකයින් හට ලබා දී ඇති මෝටර් සයිකල් ලබා ගැනීමේ ණය මුදල සම්පූර්ණයෙන් කපා හැර ඔවුන් එම ණය මුදලින් නිදහස් කිරීම සහ දැනට සම්පූර්ණ මුදල ගෙවා ඇති අය වෙත එම මුදල ප්‍රතිපූරණය කිරීම. මෝටර් සයිකල් ලබා දීමේ දී අසාධාරණයට ලක්වූ රජයේ සේවකයින් ගැන සොයා බලා ඔවුන්ට සහන සැලසීම.

3. දේශපාලන වහල් වැඩට යොදා ගෙන ඇති උපාධිධාරීන් රාජ්‍ය සේවය සඳහා විධිමත් පරිදි ඇතුලූ කොට ගෙන ඔවුන්ගේ සුදුසුකම්වලට සරිලන උසස්වීම් ක්‍රමයක් ඇති කිරීම.

4. විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනු ලබන තෙක් ඔවුන්ට රුපියල් 3500 ක මාසික අන්තර් දීමනාවක් ලබාදීම.

5. රාජ්‍ය බැංකුවල තිබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත්වල පළමු ලක්‍ෂ 10 සඳහා ගෙවනු ලබන පොලිය 15% දක්වා ඉහළ දැමීම.

6. සමෘද්ධි සහනාධාරය උපරිම 200% දක්වා වැඩි කිරීම.

7. දරුවෙකු ප්‍රසූත කරන සෑම මවකටම පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීම.

8. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග දහයක් සඳහා අය කරන අධික බදු ඉවත් කොට ඒවාහි මිල පහත හෙළීම. මීට සමගාමීව අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින දේශීය නිෂ්පාදකයින් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

9. ඉන්ධනවලින් රජය අය කරන කෝටි 4000 ක අධික බදු ඉවත් කර, ඉන්ධන මිල අඩු කරමින් එහි වාසිය මහජනයාට ලබාදීම.

10. ප්‍රවාහන කර්මාන්තයට අවශ්‍ය දිරි දීමනා ලබා දෙමින් රජයේ මෙන්ම පුද්ගලික අංශයේ ද පොදු ප්‍රවාහන සේවාවල ඵලදායීතාව ඉහළ නැංවීමට ක්‍රියා කිරීම.

11. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කිරීම.

12. වී කිලෝවක මිලදී ගන්නා සහතික මිල රුපියල් 50 දක්වා ඉහළ දැමීම.

13. අර්තාපල් කිලෝවක මිලදී ගන්නා සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ දැමීම.

14. අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80 – 90 අතර පාවෙන මිලක් පවත්වා ගෙන යාම.

15. රබර් සඳහා රුපියල් 350 ක පාවෙන මිලක් පවත්වා ගෙන යාම.

16. කිරි ගොවීන්ට කිරි ලීටරයකට දැනට ගෙවන රුපියල් 60 ක සහතික මිල රුපියල් 10 කින් වැඩි කිරීම.

17. සියලූ ගොවි ණය 50% කින් කපා හැර ගෙවීමට ඇති ඉතිරි මුදල නැවත සමාලෝචනය කර ගෙවීමට සහන කාලයක් ලබාදීම.

18. දැනට ලබාදෙන පසට ද බෝග වගාවට ද මනුෂ්‍යාට ද අහිත කර බාල පොහොර වෙනුවට උසස් තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම.

19. දැනට දෙන බාල පොහොර වෙනුවට ප්‍රමිතියෙන් යුතු පොහොර කුඩා තේවතු හිමියන් වෙත ලබාදීමට කටයුතු කිරීම.

20. මහා මුහුදේදී ජීවිතය අහිමි වන ධීවරයෙකු වෙනුවෙන් රුපියල් දස ලක්‍ෂයක රක්‍ෂණාවරණයක් රජයේ දායකත්වය ද ඇතුව ලබාදීම.

21. ගොවීන්ට වගා හානි රක්‍ෂණාවරණයක් රජයේ සහනාධාර ද ඇතුළත්ව ලබාදීම.

22. ගොවි, ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම.

23. ත්‍රීරෝද රථ රියදුරු, මේසන් හෝ වඩු වැඩ, සුළු වෙළෙඳාම ඇතුලූ අවිධිමත් රැකියා ක්ෂේත්‍රයන්හි නියුතු අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම.

24. විදේශ රැකියාවන්හි නියුතු සේවක සේවිකාවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම හා ඔවුන්ගේ මෙරට අනේවාසික ගිණුම් සඳහා 2.5% පොලියක් දැනට ඇති පොලියට එකතු කිරීම.

25. මැද පෙරදිග ඇතුළු පිටරටවල ශ්‍රමය කැප කරන ශ්‍රී ලාංකිකයින්ගේ පවුල් රැක බලා ගැනීම සඳහා විශේෂ පවුල් සුරැකුම් වැඩ සටහනක් ආරම්භ කිරීම.

26. උපරිම රුපියල් ලක්‍ෂ දෙකක වටිනාකමකට උකස් කර ඇති රන් භාණ්ඩ සඳහා ගෙවිය යුතු අධික පොලිය හා දඩ මුදල් කපා හැරීම.

27. විවිධ මූල්‍ය ආයතන මගින් දෙන ලද පොරොන්දු, ක්‍රෙඩිට් කාඩ් යෝජනා හා පිරමීඩ ක්‍රම මගින් රැවටීමට ලක්වීම නිසා පැටවී ඇති ණය පිට ණය කපා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

28. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා කාන්තාවට එරෙහි ලිංගික අඩන්තේට්ටම් වළක්වා කාන්තාවන්ට හා ළමුන්ට අප රටේ නිදහසේ ජීවත්වීමට හැකි වනු පිණිස නව නීති සම්පාදනය කිරීම හා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම.

29. යුද්ධයේ දී වැන්දඹු වූ සියලූ ජන කොටස්වල කාන්තාවන්ට හා ඔවුන්ගේ යැපෙන්නන්ට විශේෂ රැකවරණ ක්‍රමයක් හඳුන්වාදීම.

30. දේශපාලන තීරණ ගැනීම සඳහා කාන්තා සහභාගීත්වය වැඩි කිරීම පිණිස පළාත් පාලන හා පළාත් සභාවල මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 25% ක් වත් විය යුතු බවට නීති සම්පාදනය කිරීම.

31. අපේ තරුණ පරපුරේ අසහනයට මුල් වී ඇති විරැකියාව සහමුලින්ම තුරන් කිරීම ඉලක්ක කර ගත් දේශීය හා විදේශීය රැකියා හා ස්වයං රැකියා දස ලක්‍ෂයක් සැපයීමේ වැඩසටහන ආරම්භ කිරීම.

32. තරුණ තරුණියන්ට තමන් කැමති මතයක් දැරීමට, ප්‍රකාශ කිරීමට හා ඒවා පිළිබිඹු වන පරිදි නිර්මාණකරණයේ යෙදීමට මෙන්ම නිදහසේ තරුණ ජීවිතය බුක්ති විඳීමට ඇති අයිතිය තහවුරු කිරීම.

33. නොමිලයේ ඉන්ටර්නෙට් ලබා දීම සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයි ෆයි කලාප ඇති කිරීම.

34. යොවුන් පාර්ලිමේන්තුවට මුදල් බලතල ලබාදී යෞවන සමාජ හා අනෙකුත් තරුණ සංවිධානවලින් ඉදිරිපත් කරන තරුණ වැඩ සටහන් සඳහා වියදම් කිරීමට 2015 වර්ෂය සඳහා රුපියල් මිලියන 250 ක් යොවුන් පාර්ලිමේන්තුවට වෙන් කිරීම.

35. ණය තොරතුරු ඒකකයේ (CRIB) අසාධු ලේඛනයට ඇතුළත්ව ණය උගුලේ සිරවී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ ක්‍රෙඩිට් කාඩ් හිමියන් ඉන් මුදවා ගෙන ලිහිල් කොන්දේසි සහිතව ණය ගෙවීමට අවස්ථාවක් ලබා දීම.

36. ආර්ථිකය හසුරුවන අතළොස්සක් වූ කැසිනෝ, මත්කුඩු, එතනෝල් ජාවාරම්කරුවන් වෙනුවට රටේ දියුණුව වෙනුවෙන් කැපවූ දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ලිහිල් කොන්දේසි සහිත සහනදායී ණය ක්‍රමයක් හඳුන්වාදීම.

37. අපනයන වැඩි කිරීම සහ රැකියා වැඩි කිරීම ඉලක්ක කර ගෙන GSP+ සහනය යළි ලබා ගැනීම.

38. දැනට කෙරී ගෙන යන මූල්‍ය ආයතන හා බැංකු ඒකාබද්ධ කිරීමේ වැඩ සටහන නැවත සමාලෝචනයට ලක් කිරීම.

39. ශුද්‍ර ණය පාලනය කිරීම හා සංවර්ධනය කිරීමට ස්වාධීන අධිකාරියක් පිහිටුවීම.

40. කුඩා ව්‍යවසායකයින් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජයේ කාර්යාංශයක් පිහිටුවීම.

41. ත්‍රීරෝද රථ ක්ෂේත්‍රය වෙනුවෙන් ත්‍රීරෝද රථ හිමියන්, බැංකු නියෝජිතයින් ඇතුළත් කමිටුවකින් සමන්විත රජයේ කාර්යාලයක් ඇති කිරීම.

42. අයවැයෙන් නිදහස් සෞඛ්‍ය සඳහා දැනට වෙන් කර ඇති 1.8% ක් පමණ වන මුදල 3% දක්වා ඉහළ දැමීම ආරම්භ කිරීම.

43. රජයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගියෙකුට අවශ්‍ය සියළුම බෙහෙත් අඩුපාඩුවකින් තොරව රෝහලෙන්ම ලබාදීම.

44. රජයේ රෝහල්වල සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටින සියළුම රෝගීන්ගේ සැත්කම් නිම කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

45. රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය රාත්‍රී 10.00 දක්වා විවෘත කර තැබීම.

46. වකුගඩු රෝගයට තුඩු දෙන බවට සැක කරන වල් නාශක වර්ග, අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය තාවකාලිකව ආනයනය තහනම් කිරීම හා වකුගඩු රෝගය වැළැක්වීම සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් සම්පාදනය කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.

47. ආහාර, රූපලාවන්‍ය භාණ්ඩ හා සේවා, ඔෟෂධ ආදී සියලූ පාරිභෝගික භාණ්ඩ නියාමනය සඳහා ශක්තිමත් ආයතනයක් පිහිටුවීමට පියවර ගැනීම.

48. ආයුර්වේද ප්‍රජා වෛද්‍ය සෞඛ්‍ය සේවය සවිබල ගැන්වීමට කටයුතු කිරීම.

49. සියලූ බටහිර, පෙරදිග හා දේශීය වෛද්‍ය ක්‍රම මනා ලෙස සම්බන්ධීකරණය කර ඒකාබද්ධ සේවාවක් ජනතාවට සැපයීමට අවශ්‍ය පියවර ගැනීම.

50. හෙරොයින්, කේරල ගංජා, ටැබා ඇතුලූ සියලූ මත්ද්‍රව්‍ය නිශ්චිත කාල සටහනකට අනුව සහමුලින්ම තුරන් කිරීමට ප්‍රමුඛතාව ලබාදීම සහ දැනට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීම සඳහා දීප ව්‍යාප්ත කඩිනම් වැඩසටහනක් විදේශ ආධාර ඇතිව දියත් කිරීම.

51. මත් කුඩු ජාවාරම්කරුවන් මැඩලීම සඳහා ඒකාබද්ධ විශේෂ බලකායක් පිහිටුවීම.

52. දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද 80% දක්වා වැඩි කිරීම.

53. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ හා මහජනයාගේ විරෝධය මධ්‍යයේ අප්‍රමාණ බදු සහන ලබාදුන් කැසිනෝ බලපත්‍ර අවලංගු කිරීම.

54. රේගු බදු නොගෙවා සිදු කරන එතනෝල් ජාවාරම මර්ධනය කිරීම.

55. දැනට නිදහස් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති 1.7% ක් පමණ වන ප්‍රතිපාදන 6% ඉලක්කය කරා යෑම ආරම්භ කිරීම.

56. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවරා ගෙන ඇති විශ්වවිද්‍යාලවල බලතල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා නැවතත් විශ්වවිද්‍යාලවලට ලබා දී දේශපාලනීකරණයට ලක් වී ඇති විශ්ව විද්‍යාල ඉන් ගලවා ගැනීම.

57. සරසවි මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 ක් දක්වා වැඩි කිරීම.

58. උසස් පෙළ විෂයන් තුනක් සමත් සියලූ දෙනාට උසස් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍ය අවකාශ සම්පාදනය කිරීම.

59. පාසල්වලට, පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා සාධාරණ, විනිවිඳ පෙනෙන ක්‍රමවේදයක් සකස් කිරීම. පළමු වසරට ඇතුළත් වීමේ දී දැනට අසාධාරණයට ලක්ව ඇති දරුවන්ට කඩිනම් සහන සලසා දීම.

60. පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී දැනට පවතින ප්‍රමාදයන් සම්පූර්ණයෙන්ම නැති කර පළමු වාරය ආරම්භ වන විට සියලූ දරුවන්ට පාසල් ලබාදීම සහතික කිරීම.

61. පාසල්වල ආගම් ඉගැන්වීමේ චක්‍රලේඛය සියලූ පාසල් අරභයා ක්‍රියාත්මක කිරීම. එම වැඩ කටයුතු සොයා බැලීම සඳහා සියලූ ආගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම.

62. ජාත්‍යන්තර පාසල් රජයේ අධීක්‍ෂණයට ලක් කිරීම.

63. ධීවර යාත්‍රා, දැල්, ආම්පන්න සහ බෝට්ටු එංජින් සදහා පනවා ඇති අධික බදු ඉවත් කිරීම.

64. විදේශ ධීවර යාත්‍රා ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම වැළැක්වීම.

65. මත්ස්‍ය අපනයනය සඳහා අහිමි වී තිබෙන යුරෝපා වෙළෙඳපොළ නැවත ලබා ගැනීම.

66. කුණාටු සහ මුහුදේ ඇති වන කැළඹිම් තත්ත්වයන් ගැන නිවැරදි තොරතුරු කඩිනමින් ධීවරයා වෙත ලබාදිය හැකි කාලගුණ විමර්ශන වැඩපිළිවෙළක් සකස් කිරීම.

67. ඇහිරී ඇති වාරි පද්ධති යළි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීම.

68. ගොඩ වී ඇති වැව්වල රොන්මඩ ඉවත් කිරීම ආරම්භ කිරීම.

69. දැනට තණකොළ කැපීමට, පාරවල් අතු ගෑමට, කානු ශුද්ධ කිරීමට යොදවා ඇති වීරෝදාර රණවිරුවන් එයින් මුදවා ගෙන ත්‍රිවිධ හමුදාව, හමුදා වැඩ කටයුතුවලට පමණක් සීමා කිරීම.

70. දේශපාලනීකරණයට ලක්වී ඇති පොලිසියේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය අහෝසි කර විධිමත්, හැකියාව, දක්‍ෂකම, කැපවීම සහ කාර්යක්‍ෂමතාව මත පදනම් වූ උසස් වීම් ලබා දීමේ ක්‍රමයක් සකස් කිරීම.

71. උප පොලිස් සේවයේ නිලධාරීන් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ දී එතෙක් නිත්‍ය සේවයේ යෙදී සිටි නිලධාරීන්ට සිදුවූ අගතිය නිවැරදි කිරීම හා නිත්‍ය සේවයේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම.

72. මැති ඇමැතිවරුන් හා ඔවුන්ගේ පවුල්වල උදවියගේ ආරක්‍ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීම වහාම නතර කිරීම හා නියමිත පටිපාටීන්ට අනුකඣලව පොලිස් ආරක්‍ෂාවක් ඔවුන්ට ලබා දෙන අතර ආරක්‍ෂක රථ පිරිවරා ගෙන මහජනයාට පීඩා වන ආකාරයෙන් මැති ඇමැතිවරුන් ගමන් කිරීම නැවැත්වීමට පියවර ගැනීම.

73. වතුකරයේ ජනතාව දැනට ජීවත් වන දුෂ්කර ‘ලයින් කාමර‘ ජීවිතයෙන් මුදවා ගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ද සමග සැබෑ නිවසක හිමිකාරත්වය ලබාදීම.

74. බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල යන දිස්ත්‍රික්කවල වතුකරයේ ජනතාවගේ දරුවන්ට දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරිය හැකි වන පරිදි පහසුකම් සහිත පාසල් ආරම්භ කිරීම.

75. නීති විරෝධී ලෙස තම නිවාසවලින් හා ඉඩම්වලින් විවිධ හේතු මත ඉවත් කළා වූ සියලූ පුරවැසියන්ට සහන සැලසීම.

76. කොළඹනගරයේ නිවාස හා ඉඩම් අහිමි කරන ලද ජනතාවගේ එම දේපොළ යළි තක්සේරු කර ඒවාහි වටිනාකම දැනට ගෙවන නිවාස ණය මුදලින් අඩු කිරීම.

77. හිසට සෙවනක් නොමැතිව ජීවත් වන ලක්‍ෂ ගණනක් වූ ජනතාවට නිවාස ලබාදීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කිරීම.

78. උතුරේත්, දකුණේත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.

79. ජන වර්ග අතර හෝ ආගම් අතර අසමගිය, වෛරය, ආගමික නායකයින්ට අපහාස වන අයුරින් ක්‍රියා කිරීම හෝ ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා නීතිමය හා සමාජමය ක්‍රියාමාර්ග ගැනීම.

80. ආගමික ස්ථානවලට අවශ්‍ය රැකවරණය ලබා දීම.

81. ආගමික සහජීවනය වෙනුවෙන් ක්‍රියා කරන හා අන්තවාදයට එරෙහිව ඍජුව කටයුතු කරන ආගමික නායකයින්ගෙන් සමන්විත ප්‍රාදේශීය හා ජාතික මණ්ඩල ස්ථාපිත කිරීම.

82. පුරාවිද්‍යා ස්ථාන සංරක්‍ෂණය හා ආරක්‍ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම.

83. ශ්‍රී දළදා මාළිගාව ඇතුලූ පූජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන සුරාසැල් එම ස්ථානවලින් වහාම ඉවත් කරන අතර එම පූජා භූමි අවට කාර් රේස් පැවැත්වීම වහාම තහනම් කිරීම.

84. යෝජිත බෞද්ධ විහාර හා දේවාලගම් පනතේ සංශෝධන මහනාහිමිපාණන් වහන්සේලාගේ අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම් හා අනුමැතිය මත සිදු කිරීම.

85. සම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම උදෙසා හා දහම් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීම.

86. පිරිවෙන් අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම උදෙසා ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම.

87. සත්ව හිංසනය වැළැක්වීම සඳහා නීති පැනවීම.

88. ආර්ථික, සමාජ, සංවර්ධන, මානව හිමිකම්, පාරිසරික සහ යහපාලනය ආදී ක්ෂේත්‍රවලට අදාළ පුරවැසි සංවිධානවලට තම කටයුතු කර ගෙන යාම සඳහා දැනට තිබෙන බාධා ඉවත් කිරීම.

89. සියලූ කලා මාධ්‍යයන් හා කලාකරුවන්ගේ නිර්මාණ ඇගයෙන සහ ස්වාධීනත්වය ආරක්‍ෂා කෙරෙන ව්‍යුහයක් නිර්මාණය කිරීම.

90. සියලූ ජනමාධ්‍ය කරුවන්ගේ හා ආයතනවල නිදහස ආරක්‍ෂා වන කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් දියත් කිරීම.

91. මත දැරීමේ හා අදහස් පළ කිරීමේ නිදහස ආරක්‍ෂා කිරීම.

92. පාර්ලිමේන්තුවේ රැස්වීම සජීවී ලෙස රූපවාහිනි මාධ්‍යයෙන් විසුරුවා හැරීම.

93. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ස්ථාපිත කළ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා නැති නිසා එවැනි චෝදනා වෙතොත් ඒ පිළිබඳ යුක්තිය පසඳලීමේ කාර්යය දේශීය ස්වාධීන අධිකරණයක් යටතේ සිදු කිරීම.

94. හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුලූ දේශපාලන පලි ගැනීම් හා දඬුවම්වලට ලක්වූවන්ට අහිමි වූ තනතුරු හා අයිතිවාසිකම් යළි ලබාදීම.

95. දේශපාලනීකරණය නොවූ ගෞරවනීය විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම.

96. අප රටේ සංරක්‍ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්‍ෂා කර ගැනීම හා ඒවායේ මායිම්වල සුරක්‍ෂිතබව පිළිබඳව වගබලා ගැනීම.

97. පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

98. දැනට හානි සිදු වී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණදී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීතනම විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම.

99. සත්ව හා වෘක්‍ෂ ලතා ආඥා පනත නොබියව හා පක්‍ෂග්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

100. සංවර්ධන වැඩ සටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම.

Archive

Latest news

Related news