Tuesday, July 16, 2024

මැතිවරණ කොමසාරිස්ගේ නිහඬතාවය ජාතියේ අවාසනාවක්..! එජාපය

(එක්සත් ජාතික පන්ෂයේ විශේෂ නිවේදනයකි)
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක‍්ෂ සිය මැතිවරණ ප්‍රචාර කටයුතු අතර, තම වාසිය පිණිස මැතිවරණ නීති දිගින් දිගට ම උල්ලංඝනය කරමින් සිටී. මේ සම්බන්ධව සිවිල් සංවිධාන පොදු විපක‍්ෂය හා එක්සත් ජාතික පක‍්ෂය පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කර ඇත. එබඳු ප්‍රතිවිරෝධීතාවන් මධ්‍යයේ වුවද රාජපක්ෂ මහතා මැතිවරණ අපේක‍්ෂකයෙකු ලෙස මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම නතර කර නැත.

එබැවින්, ඒ සම්බන්ධව නැවත අපගේ විරෝධය මැතිවරණ කොමසාරිස් වරයා වෙත කිහිප වරක් දක්වා ඇත. මැතිවරණ කොමසාරිස්වරයාගේ විෂය පථය අනුව පැහැදිලිව දක්වා ඇති ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන සියළු අපේක්ෂකයන් මැතිවරණ නීති ආරක‍්ෂා කිරීමට බැඳී සිටී. එසේම මැතිවරණ කොමසාරිස්වරයා අවස්ථා ගණනාවකදී අපේක‍්ෂකයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන පැහැදිලිව විවිධ උපදෙස් ලබා දී ඇත. එවැනි පසුබිමක් යටතේ පවා කිසිදු නීතියක් රීතියක් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකර එක් අපේක‍්ෂකයෙකු මෙසේ හැසිරිම පැහැදිලිවම නීති විරෝධි තත්වයකි. එකී අපේක‍්ෂකයා රටේ වර්තමාන ජනාධීපති වරයා වීම සුවිශේෂී තත්වයක් බව එක්සත් ජාතික පක‍්ෂය දැඩි සේ අවධාරණය කර සිටී. තම ප්‍රතිවාදි අපේක‍්ෂකයන්ට අවාසිදායක ලෙස රාජ්‍ය බලය යොදා මහින්ද රාජපක‍්ෂ මහතා ක්‍රියා කිරීමට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා යම් පැහැදිලි ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැන එක්සත් ජාතික පක‍්ෂය දැඩි අප්‍රසාදය පළ කර සිටී. මැතිවරණ කොමසාරිස්වරයාට නිල බලයෙන් පැවරෙන වගකීම් පුද්ගල භේදයකින් තොරව එක සේ පවත්වා ගෙන යා යුතු බව එක්සත් ජාතික පක‍්ෂය දැඩිසේ කියා සිටි.

කිසිදු අපේක‍්ෂකයෙකුට දේශපාලන වශයෙන් පෞද්ගලිකව හානිකර ආකාරයක කිසිදු ප්‍රචාරයක කටයුත්තක් ප්‍රකාශයක් කිරීමට මැතිවරණ නීතිය අනුව තහනම් වේ. මෙම නීති තත්වය ජනාධිපති මැතිවරණ ක්‍රියා සම්බන්ධ පනතෙහි පැහැදිලිව දක්වා ඇත. මේ නීති තත්වය ජනාධිපති වරයාට තම වාසිය පිණිස වෙනස් කර ගැනීමට කිසිදු හැකියාවක් නැති අතර, ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා නිහඬව සිටිම ජාතියේ අවාසනාවකි.

මේ නීති තත්ත්වය උල්ලංඝනය කරමින් මහින්ද රාජපක‍්ෂ මහතා අපේක්ෂකයා ලෙස සිය තනතුරු බලය සහ රාජ්‍ය පහසුකම් භාවිතා කිරීම කිසිසේත් සදාචාර සම්පන්න නොවේ. ඔහුගේ නායකත්වය යටතේ සෑම මැතිවරණයන්හිදී සියළු මැතිවරණ නීති උල්ලංඝනය කළ බව එක්සත් ජාතික පක‍්ෂය වගකීමෙන් කියා සිටි. මේ තත්වය මැතිවරණ කොමසාරිස්වරයා මැනවින් දනී. පසුගිය දින කිහිපය තුල රාජ්‍ය සහ රජයට සම්බන්ධ සමහර මාධ්‍ය තම සීමා ඉක්මවා යමින් ක්‍රියා කළ බවද මෙහිලා සඳහන් කළ යුතුව ඇත. ජනාධිපති අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහ ලේකම්ව ක්‍රියා කළ බව නොරහසකි. ඒ යුගයේ සිරිසේන මහතා මහින්ද රාජපක‍්ෂ මහතා ගැන කරන ලද සමහර ප්‍රකාශයක් නැවත නැවත ප්‍රචාරය කරනු ලැබිය. අද වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂිත පාලනය නිසා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් ව පොදු අපේක‍්ෂකයා ලෙස මහින්ද රාජපක‍්ෂ මහතා සමග ජනාධිපති මැතිවරණයට තරඟ කරමින් සිටී. ඒ තත්ත්වය තුල ඔහු තවදුරටත් සිය පැරණි දේශපාලන විශ්වාසයන් කෙරෙහි එකඟ නැති බව සහ තමා අමාත්‍ය ධුරය දැරූ කාලයේ දැක්වූ අදහස් කළ ප්‍රකාශවල වලංගුතාවයක් නැති බව ශීලාචාර මිනිසුන් මැනවිත් තේරුම් ගෙන සිටී. නමුත් එකී ශීලාචාර භාවය වත්මන් ජනාධීපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ නිදහස් සංධානයේ මැතිවරණ ව්‍යාපාරය තුල නොමැති බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඒ අනුව මැතිවරණ නීතියට අනනුකූලව සිදු කරන එකී අශිෂ්ඨ නීති විරෝධි ක්‍රියා නතර කරවිමට මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රමාණවත් පියවර නොගැනිම රටේ අවාසනාවන්ත තත්වයකි.

මේ හරහා රටේ නීතිය කෙරෙහි වර්තමාන රාජ්‍ය පාලකයා දක්වන ආකල්පය කුමක්ද යන්න ඉතා පැහැදිලි වේ. දස වසරක් තිස්සේ රටේ නීතියට අභියෝග කරමින් රට පාලනය කළ මහින්ද රාජපක‍්ෂ මහතා මෙවර විනය ගරුක රටක් නිර්මානය කිරීමට ඡන්දය ඉල්ලා සිටි. එහෙත් ඔහුට තවමත් තම විනය පවත්වා ගැනීමට නොහැකිව ඇති බව මේ හැසිරීම තුල තහවුරු වේ. දැනටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින මහින්ද රාජපක‍්ෂ මහතාගේ මේ ක්‍රියාකාරකම් වලට නිසි පිළිතුරු එළඹෙන මැතිවරණයේදී ලැබෙන බව සහතිකය.

තමා සමග කරට කර තරගයක යෙදෙන මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගෙන මෙසේ ද්වේෂ සහගතව කටයුතු කිරීම තුල සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් වරයා වෙත නිල බලයෙන් පැවරී ඇති වගකීම් සහ යුතුකම් දැඩි සේ අභියෝගයට ලක් වී හමාරය. මහින්ද රාජපක‍්ෂ මහතාගේ මෙම හැසිරිම ජනාධිපති මැතිවරණ පනතේ 80 වගන්තිය අනුව නීති විරෝධි ක්‍රියාවකි. එබැවින්, නීතියට පිටින් යමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන මහින්ද රාජපක‍්ෂ අපේක්ෂකයාගේ හැසිරීම ගැන මැතිවරණ කොමසාරිස් වරයා සිය නිල ස්ථාවරය නොපමාව ප්‍රකාශයට පත් කළ යුතු බව දැඩි අවධාරණයෙන් යුතුව සඳහන් කිරීමට කැමැත්තෙමු.

එක්සත් ජාතික පක්ෂය
2014 දෙසැ 18

Archive

Latest news

Related news