Friday, April 19, 2024

මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම

මෛත්‍රී ගේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවන්න

අද එළිදැක්වුනු මෛත‍්‍රී ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරේ. අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව හා සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යූහයක් හඳුන්වා දීමට පියවර ගැනේ. එහිදී ජනාධිපතිවරයා අන් පුරවැසියන් මෙන්ම සමානව නීතිය ඉදිරියේ සැළකෙයි. නීතිමය වශයෙන් විශේෂ වරප‍්‍රසාද නව ආණ්ඩුක‍්‍රම ව්‍යූහය යටතේ ජනාධිපතිවරයාට නොලැබේ. සියලූම සංශෝධනවලදී රටේ ස්ථාවරභාවය, ආරක්‍ෂාව හා ස්වෛරීත්වය සඳහා පවතින ඉඩකඩ වර්ධනය කෙරේ. ඊට හානිකර වූ කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සහ සංයුතියත්, ස්වභාවයත් තීරණය කෙරේ. අමාත්‍යාංශ ක‍්‍රියාකාරීත්ව සඳහා පාර්ලිමේන්තු කාරක සභා ක‍්‍රමය ශක්තිමත් කිරීමටද මෛත‍්‍රීපාල සිරිසේන මහතා ක‍්‍රියාකරයි.

ගොවි ප්‍රජාවෙහි නියෝජිතයින් ප්‍රතිපත්ති ප්‍රකාශනයඑළි දැක්විමේ අවස්ථාවට
ගොවි ප්‍රජාවෙහි නියෝජිතයින් ප්‍රතිපත්ති ප්‍රකාශනයඑළි දැක්විමේ අවස්ථාවට

මහජන නියෝජිතයන් සඳහා පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග‍්‍රහයක් නීතිගත කෙරේ. වර්තමානයේ මහජන නියෝජිතයන් විසින් සිදුකරනු ලබන විවිධ නීති විරෝධි කි‍්‍රයා සම්පූර්ණයෙන්ම අත්හිටුවීම එහි අරමුණයි. මහජනයා පීඩාවට පත් කිරීම, බලය අයුතු ලෙස යොදා ගැනීම, අල්ලස්, ස්ත‍්‍රී දූෂණ, ඝාතන ආදී අපරාධවලින් තොර සමාජයක් නිර්මාණය කිරීමට එය පිටිවහලකි. මහජන නියෝජිතයන්ගේ පක්‍ෂග‍්‍රාහී ක‍්‍රියාකාරකම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා බවද පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මනාප ක‍්‍රමය අහෝසි කිරීමත්, සෑම ඡන්ද කොට්ඨාසයකටම අනිවාර්යයෙන්ම එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලැබෙන පරිදි මැතිවරණ ක‍්‍රමවේද සංශෝධනයටත් පියවර ගැනේ.

යහපාලනය අධීක්‍ෂණය සඳහා යාන්ත‍්‍රණයක් සැකසේ. ව්‍යවස්ථා සංශෝධනයක් මගින්, අධිකරණ, පොලීසිය, මැතිවරණ, විගණන හා නීතිපති ආයතනවල අපක්‍ෂපාතීත්වය ආරක්‍ෂා කෙරෙන ස්වාධීන කොමිසන් සභා ස්ථාපනය කෙරේ. අල්ලස් හා දූෂණ කොමිසම් ක‍්‍රියාකාරීත්වය ශක්තිමත් හා ක‍්‍රියාශීලී කිරීම සඳහා ස්වාධීන ආයතනයක් ලෙස පිළිගැනීම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කිරීමට ද පියවර ගන්නා බව සිරිසේන මහතා කියයි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමටත් අපක්‍ෂපාතීත්වය තහවුරු කිරීමටත් පියවර ගැනේ. අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සඳහා අධිකරණ කොමිසම ස්ථාපනය කරන අතර, විනිසුරුවන් පත් කිරීම සහ උසස් කිරීම ජ්‍යෙෂ්ඨත්වය සහ කුසලතාවය මත සිදුකිරීමේ ක‍්‍රමවේදයක් සැකසෙයි.

ළමා හා කාන්තා දූෂණ සම්පූර්ණයෙන්ම අත්හිට වීමට අවශ්‍ය විධිවිධාන යෙදේ. එවැනි වරදකරුවන්ට දැඩි දඩුවම් ලබාදීමට ක‍්‍රියා කෙරේ.මැතිවරණ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසම පිහිටුවන අතර අපේක්‍ෂකයන් රාජ්‍ය බලය, ධන හා මාධ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම සහමුලින්ම පාලනය කිරීමට පියවර ගැනේ.තොරතුරු දැනගැනීම ජනතා අයිතියකි. ඒ නිසා, සියලූ තොරතුරු ජනතාවට දැනගත හැකි තොරතුරු දැනගැනීමේ පනතක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රට සංවර්ධනය සඳහා මහා පරිමාණ දූෂණය නැවැත්විය යුතුය. පසුගිය වසර හය තුළ සිදුවූ දූෂණ අවම කිරීම මගින් එම වසර හය තුළ සිදුකළ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් ඇති කළ හැකිය. රාජ්‍ය ණය ගැනීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් පෙන්වාදෙයි.

පක්ෂ නායක පිරිස් ප්‍රතිපත්ති ප්‍රකාශණය එළි දැක්විමට
පක්ෂ නායක පිරිස් ප්‍රතිපත්ති ප්‍රකාශණය එළි දැක්විමට
ජීවන වියදම් වලින් ජනතාව ගලවාගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක රේගු බදු ඉවත් කිරීමට පියවර ගන්නා බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කියා සිටී. එමගින් ආහාර ද්‍රව්‍ය වල මිළ කඩිනමින් අඩු කිරීමට හැකිවෙයි.සමෘද්ධී දීමනාව, දුෂ්කරව ජීවත්වන ජනතාව වෙනුවෙන් දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගැනේ. විධ්මත් අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඒ සඳහා සැකසේ. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කෙරේ. එහි පළමු අදියර ලෙස පෙබරවාරි මාසයේදී රුපියල් 5,000 ක් රාජ්‍ය සේවකයන් වෙත ලබාදීමට මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්තිය යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතිඥා දී තිබේ. විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 3,500 ක මාසික අන්තර් දීමනාවක් ලබාදීමට පියවර ගැනේ. දුගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව රුපියල් 1,500 දක්වා වැඩි කෙරේ.

සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අරමුණයි. මත්කුඩු ජාවාරම් මර්දනයට විශේෂ බලකායක් ස්ථාපනය කෙරෙන අතර සියලූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නම් ගම් හෙළි කෙරේ. දුම්වැටි ඇසුරුම් වල රූපමය අවවාද 80% ක් දක්වා වැඩි කෙරෙන අතර සංස්කෘතික, ආගමික නිදහස හා සංහිඳියාව ඇති කිරීමේ ක‍්‍රියාමාර්ග රැුසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ඉදිරිපත් කරයි.

කලා හා සංස්කෘතික කටයුතු ප‍්‍රවර්ධනයත් – තිරසර ගොවිතැන හා ආහාර සුරක්‍ෂිතතාවත් සොබාදහම රැුකීමත්, සැමට සුවසෙත සැලසීමත් නව රජයක ප‍්‍රමුඛ කාර්යයන් බවත් ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දී දැක්වෙයි.

අධ්‍යාපන සංවර්ධනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කෙරේ. මහපොළ සරසවි ශිෂ්‍යාධාරය රුපියල් 5,000 ක් දක්වා වැඩි කෙරෙන අතර තාක්‍ෂණික අධ්‍යාපනයට පිවිසෙන තරුණ තරුණියන් සඳහා ණය පහසුකම් ලබාදීමට ද නව රජයක් යටතේ ක‍්‍රියා කෙරේ. උසස් පෙළ විෂයයන් තුනක් සමත් සිසුන්ට උපාධිය හෝ ඩිප්ලෝමාවක් හැදෑරීමට ද ණය පහසුකම් ලබාදීමට ද ක‍්‍රියා කරන බවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ප‍්‍රතිඥා දෙයි.

ජාතික මතය නිරූපණය වන විදේශ ප‍්‍රතිපත්ති සැකසෙන අතර මානව හිමිකම් කඩවීමේ චෝදනා වලට නිවැරදි පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකාව පිළිබඳ නව ප‍්‍රතිරූපයක් ලෝකය තුළ ගොඩනැගීමට ක‍්‍රියා කෙරේ.කර්මාන්ත හා සේවා සංවර්ධනයත් වගකීම් සහගත රාජ්‍ය අංශයක් නිර්මාණය කිරීමත් බලශක්ති සුරක්‍ෂිත ශ‍්‍රී ලංකාවක් පවත්වා ගැනීමත් මගින් නව යුගයකට ශ‍්‍රී ලංකාව මෙහෙයවන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පෙන්වා දෙයි.

රාජ්‍ය ජනමාධ්‍ය, පාලක පක්‍ෂයේ ප‍්‍රචාරක අවියක් බවට පත් කිරීම නවතා සමබර තොරතුරු ප‍්‍රකාශයට අවශ්‍ය පසුබිම සැකසීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සැකසේ. ජනමාධ්‍ය කරුවන්ගේ සහ ජනමාධ්‍යයයේ නිදහස ආරක්‍ෂාවන දිගු හා කෙටිකාලීන වැඩසටහන් සැකසේ.අන්තර් ජාලය නොමිලයේ භාවිත කළ හැකි කලාප ප‍්‍රධාන නගර වල ඇති කිරීමට ද ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්තිය යටතේ පියවර ගැනේ.පක්‍ෂ, ආගම් ජාතිභේද වලින් තොරව 21 වන සියවසට ඔබින නූතනත්වයෙන් පිරිපුන් රටක් නිර්මාණය කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ප‍්‍රතිඥා දෙයි.

– Asian Mirror

Archive

Latest news

Related news