Friday, March 29, 2024

මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි

( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්‍රචණ්ඩත්වය යි)

තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය සේවයට පවසා තිබුනි. ඒවාගේම තවදුරටත් බොදු බල සේනාව ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ පවතින රජයට විරුද්ධව ඡන්දය දුනහොත් 1915 දී වැනි තත්වයක් 2015 දී ඇතිවිය හැකි බවයි. මේ ගැන මුස්ලිම් ජන කණ්ඩායම තම බිය ප්‍රකාශ කරන අතර එනිසාම තමන් ඡන්දය දිය යුත්තේ කාටද යන්න තවදුරටත් ගැටළු සහගත බව ඔවුන් පවසයි.

මෙම ප්‍රකාශය ඉතා බැරෑරුම් එකකි. ලංකා ජනගහනයෙන් 7%ක්ම මුස්ලිම් ජනතාවයි. ඒවාගේම මේ පවත්වන්නේ නිදහස් ඡන්දයක් යැයි පැවසේ. නමුත් රාජ්‍ය බලය සහ එහි අනුග්‍රහය ලබන මැර කල්ලි (බොදු බල සේනා හා තවත් නිල නොවන) ප්‍රසිද්ධියේම නිදහස් ඡන්දයට බලපෑම් කරන්නේ පවතින රජයේ ආශිර්වාදය මැදයි. මෙසේ රජයට පාක්ශික මැර කල්ලි කරගෙන යන මෙම ක්‍රියාදාමයන් තුලින් පෙන්නුම් කරන්නේ පවතින රජය මොන ආකාරයකටවත් නිදහස් ඡන්දයට නිදහසේ පැවතීමට ඉඩ සලසා නොමැති බවයි. එසේ නැතිනම් රටේ ජන කණ්ඩායමක ආරක්ෂාවට තර්ජනයක්ව ඇති මෙම මැර බලවේග මර්දනය කර එහි නායකයන් අත්අඩංගුවට ගැනීම නීතිගරුක රජයක් නම් කළ යුතු කාර්ය වන්නේය. නමුත් නැවත නැවත රාජපක්ෂ රජය පසක් කරන්නේ රට තුල නීතියක් නොමැති බවත් අවනීතිය රජකරන බවත් එම අවනීතියේ දිසි සහ අදිසි හස්තයන් රාජපක්ෂවරුන්ම බවයි.

බොදු බලය සහ ගෝටා

බොදු බල සේනාව සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති සම්බන්ධය රටට ප්‍රසිද්ධම දෙයකි. ආරක්ෂක ලේකම්ගේ හුරතලය ඔවුනට නොමදව ලැබෙන බව මේ සුවච කීකරු කුක්කන්ගේ උත්සවවලදී මීට ප්‍රථම කීප වතාවක්ම දක්නට තිබුනි. මොවුනගේ ප්‍රධාන රැස්වීම්වල සහ සංවිධාන උත්සවවලදී ආරක්ෂක ලේකම් මෙම සභාවල පෙනී සිටියේ කිසි සැකක් බියක් නැති ආකාරයකිනි. මෙම බොදු බල සේනා නමින් පෙනී සිටින කණ්ඩායම ඉන්දුනීසියාවේ පංචශීල බලවේගය හා සමානබවක් උසුළයි.

ජනාධිපතිවරණය ප්‍රකාශ වීමත් සමග රටපුරා මුදවාහැර ඇති මේ ප්‍රචන්ඩත්වය හා සාහසිකත්වය විවිධ කණ්ඩායම් විසින් කරනු ලබන්නේ රාජ්‍ය අනුග්‍රහය එසේ නැත්නම් පොලිස් ආරක්ෂාව සහිතවයි. මෙම ප්‍රචන්ඩත්වය යෙදවීම රටේ ඉහළම පුද්ගලයින්ගේ සිට ගම් මට්ටමින් සාමාන්‍ය වැසියන් දක්වා විවිධ අයුරින් ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා ඇතුළු පිරිසක් රැස්වෙමින් සිටි නුවර පළාතේ හෝටලයක් වටකර එයට පහර දෙනු ලැබීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට මරණ තර්ජන කිරීම නිසා ටික දිනකට ඇයට සැඟව සිටීමට සිදුව ඇති බව සඳහන් වේ. එමෙන්ම කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මහතා ජීවත්වන මුළු ගමම ත්‍රස්ත කිරීම අරඹා ඇති බව එතුලින් එම පළාතම බිය ගන්වා භීෂණයක් දියත් කර ඇති බවත් ඔහු මාධ්‍ය සාකච්ඡාවකින් ලොවටම කියා සිටිනු ලැබීය. මේ සියල්ල මැද පොලීසිය නිහඬව බලා සිටින බවත් තම ජීවිතයට තර්ජනයක් ඇතිව පවතින බවත් පැවසූ ඔහු තමාගේ ජීවිතය රැක දෙන්න යැයි ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කලේය. එයින් ගම්‍ය වන්නේ මෙම සාහසික බව, මේ ප්‍රචන්ඩත්වය පිටුපස රජය සිටින බවයි. ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහයක් නොමැතිව පොලීසි සහ හමුදා කණ්ඩායම් ඇඟිල්ලක්වත් නොසොල්වන බව රටම දන්නා ප්‍රසිද්ධ කාරණයකි.

පසුගිය වකවානුවේ අග්‍රවිනිශ්චයකාරවරියගේ නඩු දිනවල නීතිඥයින්ට සහ ඇගේ හිතවතුන්ට පහර දුන් මැර කල්ලි පොලිස් ආරක්ෂාව මැද එසේ කළ බව රටම බලා සිටියහ. මෙසේ එකින් එක කියනවානම් ඉතා විශාල වශයෙන් මෙවැනි රාජ්‍ය අනුග්‍රහය ඇති ප්‍රචන්ඩ ක්‍රියා ඉතා විශාල ප්‍රමාණයක් රට තුල සිදුව ඇත. පොලීසිය යනු රාජපක්ෂලාගේ මැර කණ්ඩායමකට එහා ගිය කල්ලියක් නොවන තත්වයට එම ආයතනය පහත හෙලා ඇත. ඇත්තෙන්ම මෙවැනි තත්වයක් ඇත්තේ ඒකාධිපති හෝ ෆැසිස්ට් රාජ්‍යන් වල පමනි. ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක නාමය දරණ ලංකා ආණ්ඩුව තුල ලංකාවේ පොලීසිද ඒකාධිපති පිනෝචෙට්ගේ හෝ සුහර්තෝගේ ඉන්දුනීසියාවේ පොලීසි මෙන් එකම ලක්ෂණ හිමිකර ගෙන ඇති බව පෙන්නුම් කරයි.

මේ වන විට රජය විසින් ඇතිකර ගෙන ඇති කල්ලි පසුගිය සතිදෙක ඇතුළත ප්‍රචන්ඩ ක්‍රියාවන් සියයට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව වාර්තා වේ. රාජපක්ෂලාගේ හිතවත් හමුදා සහ පොලිස් කණ්ඩායම් නිල ඇදුම් රහිතව රටපුරා ගම්දනව් සැරි සරන්නේ බොහෝ විට නොම්බර තහඩු පවා නොමැති වාහන පාවිච්චි කරමිනි. ඔවුන්ගේ මෙම සැරිසැරීම තුලින් රටේ ජනසමාජය තුල අදෘශ්‍යමාන බියක් ජනිත කරවීම කරවනු ලබයි. සෑම පුද්ගලයෙකුම පාහේ එලිපිට තම අදහසක් ඉදිරිපත් කිරීමට පවා බියවන තත්වයක් රටතුල ඇතිකරමින් පවතී. වෙඩි තැබීම් සහ බෝම්බ ගැසීම් ගණනාවක්ද මේ ප්‍රචන්ඩ ක්‍රියාවන් අතරට එක්ව ඇති අතර මේ සියලු ක්‍රියාවන් යොමු වී ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දෙන කණ්ඩායම් වෙතයි. මැර බලය මුසුකල රාජ්‍ය බලය මේ ප්‍රචන්ඩ ක්‍රියාවන් සිදුකරන බව ප්‍රසිද්ධ කාරණාවන්ය. මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩ ඇත්තේ ඒකාධිපති රාජ්‍යයන් තුල පමනි.

ජයතිලක බණ්ඩාරට පහර දීම
එප්පාවලදී ජයතිලක බණ්ඩාර ඇතුළු පුරවැසියනට පහර දෙනු ලැබුවේ පිස්තෝල අමෝරා ගත් මැරයන් විසින් පොලිස් නිලධාරීන් වටවී බලා සිටිද්දීය. පොදු අපේක්ෂකයාගේ රැස්වීම්වලට තර්ජනය කරමින් ඒවාට පහරදීම් කරනුයේද ප්‍රසිද්ධියේමය. නමුත් පොලීසිවල ඇස් අන්ධවී ඇති සෙයකි. නීති විරෝධී කටවුට් පොලීසිවලට නොපෙනේ නම් තමන්ට ඒවා පෙන්විය හැකි බව පසුගිය දිනෙක මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රසිද්ධියේ පවසා තිබුනි.

ගල්නෑවේදී විරුද්ධ පක්ෂ රැස්වීමකට පහර දී වාහන විශාල ප්‍රමාණයකට අලාභ හානි සිදුකර ඇති අතර පොදු අපේක්ෂකයාගේ වදුරඹ රැස්වීම සඳහා සකස් කළ වේදිකාව ගිනි තබා ශබ්ද විකාශන යන්ත්‍ර විනාශ කර තිබුනි. මෙසේ ප්‍රචන්ඩත්වය රටක් වශයෙන් පැතුරුණු ආකාරයකින් මුදා හැර ඇති අතර එතුලින් සමාජයට භීෂණයක් මුදා හැර ඇත. දිනෙන් දින වැඩිවෙමින් පවතින මෙම ප්‍රචන්ඩ ක්‍රියාවන් තුලින් ඔවුන් සමාජයට දෙන පණිවිඩය වන්නේ ‘බලය ඇත්තේ අප සමගයි. අපට එරෙහිවීම ශරීර සෞඛ්‍යට හිතකර නොවේ’ යන්න වේ. එමෙන්ම මෙතුලම ඇති සැඟවුන පණිවිඩය වන්නේ ජනාධිපතිවරණය නිදහස් ඡන්දයක් වන්නේ දැනට බලයේ සිටින මහින්දට ඡන්දය දෙන අයට පමණක් බවයි. අන්අයට එය මාරකයක් වන බවට අනතුරු ඇඟවේ. යම් අයුරකින් මහින්ද කල්ලිය බලයට පත්වුවහොත් ලංකා සමාජයට විශේෂයෙන්ම ඔවුන්ගේ දේශපාලනයට එරෙහි වූ අයට මුහුණ දීමට සිදු වන්නේ කුමන වර්ගයේ ප්‍රචන්ඩත්වයක්ද යන්න දැනටමත් ඔවුන් පෙන්නුම් කරමින් පවතී.

මේ පිළිබඳව විවිධ පුද්ගලයන් විසින් මේ වන විටත් විග්‍රහයන් ඉදිරිපත් කර ඇත. මෙම විග්‍රහයන් තුලින් බොහෝ දෙනෙකුම පාහේ පවසන්නේ ඉදිරියට ඇතිවන තත්වය මීටත් වඩා මජර, ප්‍රචණ්ඩ, ජඩ විය හැකි බවයි.

මේ සම්බන්ධව පසුගිය වකවානුවේ දිගින් දිගට අදහස් ඉදිරිපත් කළ අජිත් පැරකුම් ජයසිංහ (W3 Lanka) වැනි අය ඉතා පැහැදිලිව විග්‍රහ කර ලිපි ගණනාවක්ම ලියා ඇත. ඒවාගේම අජිත් පැරකුම් ඉදිරිපත් කරන අනෙක් කාරණය වන්නේ මෙම රාජපක්ෂ කල්ලියට එරෙහිව පවතින බලවේගයන් අතර අන්තර් සම්බන්ධය සහ ඒවාතුල ඇති අසංවිධානාත්මක බවයි.
තත්වයන් අද වන විටත් ඇත්තේ මෙසේ නම්, ලංකා සමාජය බියකින් වෙලාගෙන ඇත්තේ නම්, එයට විසඳුම වී ඇත්තේද මෙම ප්‍රචන්ඩත්වයට එරෙහිව බලවේගයන් එක පෙළකට ගොනුකර ගැනීම සහ සෑම ප්‍රජාතන්ත්‍රවාදී මිනිසෙකුම මෙම ප්‍රචන්ඩත්වයට එරෙහිව එකට සිට ගැනීම මිස බියෙන් හැකිලී සැඟවීම නොවේ. අද වන විට ලංකා සමාජය අරා පැතිර ඇති මෙම බිය හදිස්සියේ ඇතිවූ එකක් නොවන අතර එය පසුගිය වසර ගණනාවක් තිස්සේ ඇතිකර ක්‍රමක්‍රමයෙන් උත්සන්න කළ එකකි. එය සමාජයට නිදන් ගත රෝගයක් බවට පත්කිරීම සඳහා විවිධ බලවේගයන්ගේ සහාය මෙම රාජපක්ෂ කල්ලියට ලැබුණු අතර එහි නියමුවන් වන්නේ රජපක්ෂ කල්ලියයි.

බිය සමජ ගතවීම

නිලධරයන් ගස් බඳින විට, මාධ්‍ය වේදීන්ගේ කැමරා උදුරාගෙන පහරදෙන විට, පිස්තෝල අමෝරාගෙන ප්‍රසිද්ධ රැස්වීම්වල තර්ජන ගර්ජන කරන විට, මාධ්‍යවේදීන් මරා දමා හෝ අතුරුදහන් කරන විට, නීතිය බල්ලාට දමමින් අග්‍රවිනිශ්චයකාරවරිය හඹායාමට රස්තියාදුකාර මැර කල්ලි මෙහෙයවන විට, යුද්ධයකට නායකත්වය දුන් ජෙනරල්වරයෙකු බලු කුක්කෙකු මෙන් ඇදගෙන ගොස් හිරකූඩුවේ ලන විට, වතුර ඉල්ලූ ජනයාට වෙඩි තබන විට, තම සුභසාධන මුදල් අපයෝජනයට එරෙහිව හඬනැගූ කම්කරුවන්ට වෙඩි තබන විට, තෙල් මිල පහත හෙලන ලෙස ඉල්ලූ ධීවරයින් මරා දමන විට, නොම්මර නැති රථවාහන වලින් විරුද්ධ මතධාරීන් පැහැර ගෙන යන විට, නගරයේ පදිංචි අඩු ආදායම් ලාභීන්ගේ නිවාස කඩා දමමින් ඔවුන් පලවා හරින විට ආරක්ෂක ලේකම්ගේ අනුග්‍රහය ලබන මැර කල්ලි මුස්ලිම් සහ කතෝලික ආගම්වල පල්ලිවලට පහර දෙන විට, ඔවුන්ගේ කඩ සාප්පුවලට පහරදෙන විට මේ දෙස නිහඬව බලා සිටි පොලීසි සහ රාජ්‍ය පමණක් නොව සෑම රට වැසියෙකුම තම නිහඬව බලා සිටීම තුලින් මේ බිය සමාජ ගත කිරීමට මේ ප්‍රචන්ඩත්වය සමාජය වසා පැතිරවීමට දැන හෝ නොදැන දායක වී තිබේ.

මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ සාමාන්‍ය රට වැසියා බත් කෑමට ඇර වචනයක් කතා කිරීමට මුව විවර කිරීමට බියක් ඇතිකර ගත් තත්වයකට පත්වීමයි. මාටින් නි මොලර්ගේ කවිය බොහෝ දෙනෙකු දනිති. බොහෝ දෙනෙකු එය නැවත නැවත කියති. නමුත් එය දැන සිටියාට ප්‍රයෝජනයක් නොමැත. එය, එහි අඩංගුව සහ ඉන් කියවෙන වාතාවරණය තම සමාජ වාස්තවික තත්වයට ගලපා ගැනීමට තරම් ප්‍රඥාවක් අපට හිමි නොවේනම්. නමුත් දැන් මේ සමාජය වසා පැතිර ඇති භිය ඉවත් කර ගැනීමද කළ යුත්තේ දේශපාලනය තුලින්ම පමනි. එයත් ඇත්තෙන්ම ‘ලිදේ වැටුන එකා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම වීම’ වැනියි.

අද වන විට වමේ යුතුකම වන්නේ මේ භීෂණය ජනතාවගෙන් තුරන් කිරීමට පොදු ජන බලවේගය ශක්තිමත් කිරීමයි. ජනයාගේ බලය විශාල බලයක් ලෙස ගොනුවීම තුලින් ජනතාව තුල ජනිත කර ඇති මේ බිය ඉවත් කළ හැක. එසේ නොමැතිව ‘අපි පිරිසිදු වම වන්නෙමු. අප ධනපතීන් සමග සන්ධාන නැත. ඔවුන් කොවුනුත් එකයි. එනිසා අපි තනිව සටන් කරමු’ වැනි මෝඩ, තකතීරු, ගොන් කතාවලින් සිදු වන්නේ රට නිරන්තර ප්‍රතිගාමීත්වයකට බිලිදීම පමනි.

ලෝකයේ බොහෝ රටවල සිදුවූවාක් මෙන් තීරණාත්මක මොහොතේ වම තම කාරිය හරියට වටහා නොගැනීමෙන් දීර්ඝ කාලීන අගාධයකට රට ඇද වැටෙනු ඇත. වමේ අයට ලංකාව විග්‍රහ කර ගැනීමට තරම් වැටහීමක් නොමැති නම් ෆැසිස්ට්වාදී රාජ්‍යන් රාජ්‍ය බලය ඇල්ලීමට ප්‍රථම එම රාජ්‍යන්හි පූර්ව ෆැසිස්ට් දේශපාලන අවධිය හැදෑරීම වැදගත් වේ. වම විසින් මේ තීරණාත්මක මොහොතේ කළ යුත්තේ තම පිරිසිදු කණ්‍යාභාවය ආරක්ෂා කර ගැනීමට දත්කෑම නොව රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමේ කාර්ය තේරුම් ගෙන එම බලවේගයන්හි කොටස් කරුවන් වීමයි.

මොවුන් විසින් කළ යුතු වන්නේ පොදු ජන බලවේගය තුල ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් සමග අතිනත් ගෙන එය ශක්තිමත් කිරීමයි. එතුලින් මෙම රාජපක්ෂ කල්ලියෙන් බලය පෙරළා දමා ඉන්පසු වකවානුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති අරගලය ඉදිරියට ගෙන යාමයි. මේ දුර්ධාන්ත බලය පෙරලා දැමීම තුලින් මිනිසුනට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ සලසා දීමයි.

මයිකල් ඔන්ඩච්චි කි ඇත්ත

මා මීට ඉහතද වරක් සඳහන් කළ පරිදි ලංකාවේ ඉපදී වයස 14 වනතුරු ලංකාවේ ජීවත්ව ඉන්පසුව එන්ගලන්තය හා කැනඩාවේ හැදී වැඩී අධ්‍යාපනය ලැබූ සාහිත්‍යධරයෙකු වන මයිකල් ඔන්ඩච්චි වරක් ඔහුගේ පවුල ගැන ලියූ පොතේ ‘ලාංකිකයාට තර්කානුකූල සාධක පනහක් ඉදිරිපත් කළද පිළිනොගනී. නමුත් එක බොරුවක් කී විට එය පිළිගනී’ කියා පවසයි. මේ තත්වය අද වන විටත් ලංකා සමාජය තුල පවතින තත්වයයි. පාලකයින් කියන ඕනෑම බොරුවක් පිළිගන්නා ලංකා සමාජය ඇස්පනාපිට පෙනෙන සත්‍ය පිළිනොගනී. ලෝකයේ කොහෝ හෝ නැති විදුලි පුටුවකට ජාත්‍යන්තරය විසින් මහින්දව ගෙන යාමට සූදානම් වෙනවායැයි ඔහු පවසයි. ඩෙන්හාග් උසාවිය ඉදිරියට ඔහු ගෙනයාමට උත්සාහ කරනවා යැයි කියන විට පිළිගන්නා ජනයා තර්කාන්විතව එසේ නොවේයැයි කී කිසි විටෙක එක පිළි නොගනී. මයිකල් ඔන්ඩච්චි කීවාක් මෙන් තවදුරටත් ලංකා සමාජය බොරුවෙන් අන්ධ වී ජීවත් වීමට ඉඩ හරිනවාද එසේ නැත්නම් තර්කාන්විත සාධකයන් මත ක්‍රියාත්මක වෙන සමාජයක් බවට පත්කර ගන්නවාද යන පැනය අප හමුවේ ඇත. ඒවාගේම මේ තත්වය වෙනස් කර ගැනීමට ඇති ඉඩකඩක්ද අද වනවිට යන්තමින් හෝ විවරව තිබේ. ඔබේ දේශය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සැබෑ තර්කාන්විත සමාජයක් බවට පෙරලා ගැනීම ආරම්භ කිරීමට පැමිණ ඇති මෙ ඉඩකඩ ප්‍රයෝජනයට ගැනීමට අන් බලවේග සහ එක්වීමේ අවස්ථාව උදාවී ඇත. සෑම නිදහස් පුරවැසියෙකුගේම යුතුකම වන්නේ මේ බලවේග සමග එක්වීමයි. වෙනසක් ඇති කිරීම සඳහා ඔබත්එහි කොටස් කරුවකු වන්න!

බියෙන් අත් මිදෙමු! ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීම සඳහා එක්වෙමු!

Ranjith Hennayakearachi
Ranjith Hennayakearachi
රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news