Thursday, April 25, 2024

ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පරදවා යහපත් සමාජයක් සඳහා සටන පෙරට ගෙන යමු – ජවිපෙ

“ඒකාධිපති පාලනය පරදවමු! ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!

2015 වසරේ ජනවාරි 08වැනි දාට ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප‍්‍රකාශයට පත්ව තිබේ. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය අවසන්වීමට තව වසර 02ක් තිබියදී මෙම හදිසි ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ, ඔහුට තවත් වසර 06ක ධුර කාලයක් ලබා ගැනීම සඳහා ජනතා කැමැත්ත විමසීමට ඔහු විසින් ගත් තීරණය නිසාය. එබැවින් මෙම ජනාධිපතිවරණය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බල තණ්හාව සඳහාම පවත්වනු ලබන්නකි. මේ සඳහා රුපියල් කෝටි 300ක් වියදම් වන බව මැතිවරණ දෙපාර්මේන්තුව කියයි.

මහජන මුදල් මහා ධනස්කන්ධයක් වියදම් කොට තනි පුද්ගලයෙකුගේ බල ලෝභය වෙනුවෙන් පවත්වන මෙම ජනාධිපතිවරණය ව්‍යවස්ථාවිරෝධී හා නීතිවිරෝධී එකක්ද වේ. එහෙත් අධිකරණය තම වුවමනාවන් වෙනුවෙන්, යටපත් කරගෙන සිටින මහින්ද රාජපක්ෂ මහතා, එය ලවා ප‍්‍රකාශයක් ලබාගෙන ව්‍යවස්ථාව නොසලකා මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම ජනාධිපතිවරණය නීතිවිරෝධී වනවාක් මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයද මැතිවරණ නීති මුළුමනින්ම උල්ලංඝනය කරන්නකි. රජයේ හා මහජන මුදල් තම ඡුන්ද සටන වෙනුවෙන් ලැජ්ජා නැතිව වියදම් කරන ජනාධිපතිවරයා දන්සැල් දෙමින්, අල්ලස් ලෙස බඩු බෙදමින්, රට පුරා කටවුට් සවිකරමින් කටයුතු කරන්නේ ඡුන්ද නීති පමණක් නොව පරිසර නීති හා මාර්ග නීති ඇතුළු සියලූ නීතිද උල්ලංඝනය කරමිනි.

ජ.වි.පෙ ස්ථාවරය

ජවිපෙ නායක අනුර කුමාර පත්‍රිකා බෙදමින්
ජවිපෙ නායක අනුර කුමාර පත්‍රිකා බෙදමින්

ජ.වි.පෙ. පසුගිය මාස කිහිපය පුරාම සමාජය තුළ විශාල මතයක් ගොඩ නගමින් කටයුතු කළේ මෙම ව්‍යවස්ථාවිරෝධී, නීතිවිරෝධී ඡුන්දය වැළැක්වීම සඳහා මිස, ඊට ඉදිරිපත්වීම සඳහා නොවේ. එමනිසා මෙම ව්‍යවස්ථාවිරෝධී හා නීතිවිරෝධී ජනාධිපතිවරණයට ජ.වි.පෙ. තරග කරන්නේ නැත. එහෙත් දැන් ජනාධිපතිවරණය කෙසේ හෝ පවත්වන තත්වය තුළ මෙම ජනාධිපතිවරණයේදී වත්මන් ඒකාධිපති පාලනය පෙරළා දැමීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ යුතු වන්නේය. එබැවින් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා කටයුතු කරන මෙන් අපි සියලූම ඡුන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිමු. එහෙත් ඒ සමගම අපි කිසිදු පුද්ගලයෙක්, පක්ෂයක් හෝ සන්ධානයකට බැඳී නොසිටින අතර, කිසිවෙකු වෙනුවෙන් වගකීම් භාර ගැනීමද නොකරමු. ඒ, අපට වගකිව හැකි වන්නේ ජ.වි.පෙ. ගැන පමණක්ම වන නිසාය.

මහින්ද පැරදවිය යුත්තේ ඇයි?

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ගමන් කරමින් සිටින්නේ, ඒකාධිපති පවුල් පාලනයක් වෙතය. ඔහු පසුගිය කාලය පුරාම කටයුතු කර ඇත්තේ, තම පවුල් පාලනය බලවත් කර ගැනීමටත් මහජන මුදල් පොදි ගැසීමටත්ය; එසේ නොමැතිව රට සංවර්ධනය කිරීමට හෝ, ජනතාවගේ අත්‍යවශ්‍ය ගැටලූවලට විසඳුම් ලබාදීමට නොවේ.

රාජපක්‍ෂ පාලනය රටේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය මුළුමනින්ම නොසලකා ඇති අතර, එහි අනිටු ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇත්තේත් ඉන් පීඩාවට පත්ව සිටින්නේ්ත් වැඩකරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව ඇතුළු නිෂ්පාදනයට දායකවන ජනතාවන්ටය. තරුණ තරුණියන්ට රැුකියා නැතිවූයේද බඩුමිල ඉහළ ගියේද මේ නිසාය. එලෙස නිෂ්පාදන ක්ෂේත‍්‍රය නොසලකා හළ ජනාධිපතිවරයා රට මහා දැවැන්ත ණය කන්දකට යටකර තිබේ. මේ වන විට ලංකාවේ සෑම පුරවැසියෙක්ම දළ වශයෙන් රුපියල් ලක්ෂ 04ක පමණ ණයකාරයෙකු බවට පත්වන සේ රට ණය කර තිබේ. එම ණයවලින් වැඩිම ප‍්‍රමාණය කොමිස් හා අල්ලස් මගින් ගසාකා ඇති රාජපක්ෂ පාලනය ජනතාවට ඉතිරිකර ඇත්තේ ණය කන්දරාවක් හා ‘සුදු අලි’ වැනි, පාඩු ලබන ආයතන කිහිපයකි. අනෙක් අතට යුද්ධය නිමවීමෙන් ලැබුණු වාසිදායක තත්වයන් යොදාගෙන ජාතික සමගිය ගොඩ නැගීමට ජනාධිපතිවරයා මුළුමනින්ම අසමත් විය. ඔහු තවමත් කරමින් සිටින්නේ, ජනතාව පීඩාවට පත්කිරීම හා ජාතිවාදය අවුළුවාලීමට අනුබල දීමය.

ආර්ථිකය විනාශ කිරීමෙන් නොනැවතුණු රාජපක්‍ෂ පාලනය සුරාව, සූදුව රජකරමින්, මත්ද්‍රව්‍ය ගෙන්වන කළු සල්ලි උපයන ජාවාරම්කරුවන් රකිමින්, වංචා දූෂණ සිදුකරමින් රටේ යහපාලනය අහෝසිකොට රට අපරාධකරුවන්ගේ තිප්පොළක් බවට පත්කළේය.

එසේම සිය අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කළ කම්කරුවන්ට, ධීවරයින්ට, පොදු ජනයාට වෙඩිතබා මිනිසුන් මරාදැමීම, මාධ්‍ය මර්දනය, අධිකරණ හීලෑකර ගැනීම, 18වැනි සංශෝධනය මගින් විධායක බලය තවත් ශක්තිමත් කොට පවුල් පාලනයක් ගොඩනැගීම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කළේය.

මෙම ඉක්මන් ජනාධිපතිවරණය යනු රාජපක්‍ෂ ගමන් කරමින් තිබෙන ඒකාධිපති පාලනයේ විශාලතම පියවර වන අතර එය පැරදවීමට නොහැකි වුවහොත් ඉන් වන්දි ගෙවීමට සිදුවන්නේ, මුළුමහත් ජනතාවටමය. එබැවින් යළිත් වරක් නීතිවිරෝධී ලෙස බලය ලබාගැනීමට ජනාධිපතිවරයා දරන ප‍්‍රයත්නය වහාම පරාජය කළ යුතුය. ජනවාරි 08දා මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඡුන්දය දියයුත්තේ ඒ නිසාය.

ජනාධිපතිවරයා තම සන්ධාන ආණ්ඩුව තුළ ගෙනගිය පවුල්වාදී, ඒකාධිපති පාලනය නිසා ඇතිව තිබූ පීඩනය පසුගිය දිනවල පුපුරා ගියේ, සන්ධානය දෙදරා බිඳ වට්ටවමිනි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයද, සන්ධානයේ හවුල්කරුවන් වූ සමසමාජය වැනි පක්ෂද මේ නිසා බිඳී ගියේය. ජනාධිපතිවරයාගේ පක්ෂය වූ ශී‍්‍රලනිපයේ මහ ලේකම්වරයා ආණ්ඩුවෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂට එරෙහිව ජනාධිපතිවරණයේ අපේක්ෂකයාද විය. ඇමතිවරු හා මන්තී‍්‍රවරු රැුසක්ම ආණ්ඩුවෙන් ඉවත්වූහ. හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්වූ අතර, ලිබරල් පක්ෂයද ආණ්ඩුවෙන් ඉවත්විය. මෙතෙක් කල් මහින්ද රාජපක්ෂ පාලනය රකිමින් සිටි මේ සියලූ පක්ෂ හා සියලූ දෙනා දැන් මහින්ද රාජපක්ෂ පැරදවීමේ සටනේ පෙරමුණ ගෙන සිටිති. මේ තත්වය විසින් මහින්ද රාජපක්ෂ පාලනයේ අවසානය සිදුවන බව පෙන්වා තිබේ.

ජනතාවගේ වගකීම

ඉහත සියලූ කරුණු සැලකිල්ලට ගත්විට මහින්ද රාජපක්ෂ පාලනය පැරදවිය යුතුය. ඒ සඳහා පළමු පියවර මෙම ජනාධිපතිවරණයෙන් තැබිය යුතුය. එහෙත් ජනතාවගේ අයිතීන් දිනන වඩා යහපත් සමාජයක් හදන සටන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලයෙන් අවසන් වන්නේ නැත. ඒ සඳහා ඉන් ඉදිරියටද කි‍්‍රයාත්මක වෙන දැවැන්ත ජනතා බලයක් අවශ්‍ය වේ. මේ මොහොතේ ජ.වි.පෙ. කාර්යය වන්නේ, එම ජනතා බලය ගොඩ නැගීමය. අප වහාම මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුය. එහෙත් මහින්ද රාජපක්ෂ පැරදවීම පමණක් ප‍්‍රමාණවත් නැත. ඔහු විසින් ගොඩ නැඟූ ඒකාධිපති පාලනය හා පවුල්වාදය පරදා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත යුතුය. ඔහු විසින් හා පසුගිය කාලය පුරා ගොඩ නගා තිබූ වංචා, දූෂණ, හොරකම පරදා යහපාලනය දිනාගත යුතුය. ජාතිවාදය පරදා ජාතික සමගිය ගොඩනැගිය යුතුය. මේ සියල්ල සඳහා සටන් කරන අතරම වත්මන් අයුක්තිසහගත, අසාධාරණ සමාජ ක‍්‍රමය වෙනස්කර වඩා යහපත් සමාජයක් ගොඩ නැගිය යුතුය. ඒ සඳහා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩ නැගිය යුතුය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයෙන් ජනතා බලයක් නිර්මාණය කළ යුතුය. ජනතාවට සැබෑ ජයග‍්‍රහණ ලබාගත හැකිවන්නේ එවිටය.

එබැවින් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කරන ලෙසත් ඒ අතරම ධනපති සන්ධාන පිළිබඳ අවසන් විශ්වාසය තබනවා වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාස තබා ඒ වටා පෙළ ගැසෙන ලෙසත් තට්ටු මාරු දේශපාලනය වෙනුවට සමාජයේ පුළුල් හා සැබෑ වෙනසක් වෙනුවෙන් දැනුවත්ව පෙරට එන ලෙසත් ඉල්ලා සිටිමු. එසේම ජනාධිපතිවරණයෙන් පසු නිර්මාණය වන දේශපාලන තත්වය තුළ පොරොන්දු ඉබේ ඉටුවේ යැයි විශ්වාසය නොතබා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා කළ යුතු දේශපාලන අරගලය සඳහාත් සමාජයේ පුළුල් වෙනසක් සඳහාත් ඉදිරි මහ මැතිවරණයේදී ජ.වි.පෙ.ට ශක්තිමත් බලයක් ලබාදීම සඳහාත් ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගන්නා ලෙසත් අපි, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ජනතා විමුක්ති පෙරමුණ

( ජනතා විමුක්ති පෙරමුණ විසින්  බෙදා හරිනු ලබන ලියැව්ල්ලකි)

Archive

Latest news

Related news