Friday, March 29, 2024

ගම්පොළට සහ පුත්තලමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පැතිරේ; ත්‍රී වීල් කුඩු

කැෆේ මැතිවරණ වාර්තා 24

 
මහනුවර ගම්පොළ සන්ධාන මන්ත්‍රී ත්‍රී රෝද රථ කුඩු කරයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වු පිරිසකට  තර්ජනය කොට පහර දී ඇත.  දෙසැ. 7 දින රාත්‍රී 11  පමණ  මහනුවර, පුස්සැල්ලෑව පාරදෙක ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුවී ඇත.  කැබ් රියක් ඇතුළු වාහන 5 කින් පැමිණි උඩපළාත එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී  මංජුල දිසානායක ඇතුඵ පිරිසක් තමන්ට තර්ජනය කොට නිවසේ නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකකට හානි කර නිවසට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව තර්ජනයට ලක් වූ පිරිස පවසති.
කුඩු කල ත්‍රී වීලයක්
කුඩු කල ත්‍රී වීලයක්

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක් දෙසැ. 9  දින මහනුවරදී පැවැත්වීමට නියමිතය.   ප්‍රබල එජාප ආධාරකරුවෙකු වන අමිල  පෙරේරා පවසන්නේ ප්‍රහාරය එල්ල වන විට තමන් මෙම රුස්වීම වෙනුවෙන් සැරසිලි කරමින් සිටි බවයි.   “යූ.ඇන්.පී.කාරයන්ට ඡන්ද කරන්න බෑ. හොඳින් හරි නරකින් හරි දිනන්නේ අපි ඒ නිසා මැරුම් නොකා මේ වැඩ නතර කරපියව්” කියමින් තර්ජනය කර නිවසේ නවතා තිබු ත්‍රිරෝද රථ වලට පහර දුන් බව අමිල පෙරේරා කැෆේ සංවිධානයට පැමිණිලි කළේය.

පොදු අපේක්ෂකයාගේ මහනුවර රුළියට පෝස්ටර් අලවමින් සිටි පිරිසකට යටිනුවර කඩුගන්නාවේ දී ද දෙසැ. 7 දින රාත්‍රී ප්‍රහාරයක් එල්ල කොට තිබුණි.

පුත්තලම – රැස්වීමක් ගැන කථාකළ නිසා පහරදීලා
පුත්තලම, මුන්දලම – සින්නපාඩුව, කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල  සිරිසේන මහතාට සහාය පල කිරීම සදහා රැස්වීම් පැවැත්වීමට සාකච්ඡා කරමින් එජාප ආධාරකරුවන් පිරිසකට දෙසැ. 7 සවස ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.  තරමක් බරපතල තුවාල සහිත මුන්දලම – මංගළඑළිය පදිංචි ප්‍රියංකර පුෂ්පකුමාර මහතා මුන්දලම දිසා රෝහලේ ප්‍රතිකාර ලබයි.  මෙහිදී පහර කෑමට ලක්වූ බව කියන නුවන් චාමර, සුමිත් ප්‍රියංකර සහ චාමර යන අය ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඔවුන් සියලු දෙනා මුන්දලම මංගළඑළිය පදිංචිකරුවෝය.

ජනාධිපතිවරණය වෙනුවෙන් වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එ.ජා.ප) මහතා සහභාගිවීමට නියමිත රුස්වීමක සංවිධාන කටයුතු අතර මෙම පහරදීම සිදුව ඇත.  දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යූ.එන්.පී.රැස්වීම් පැවැත්වීමට ඉඩ නොතබන බව පවසා තමන්ට පහරදුන් බව මේ පිරිස පවසති.   පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පුත්තලම ප්‍රාදේශිය සභාවේ එජනිස හිටපු මන්ත්‍රීවරයෙකු වන විරාජ් ගේ ආධාරකරුවන් පිරිසක් වෙතය.

මෙම ප්‍රහාරය සමඟ කැෆේ සංවිධානය වෙත ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 61  ක් ලැබී ඇත.  එයින් පැමිණිලි 20 ක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 20 සම්බන්ධයෙනි.  ගිණි අවි භාවිත කරමින් සිදු කළ ප්‍රචණ්ඩක්‍රියා ගණන අට (8) කි.

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය                                              2014 දෙසැම්බර් 8 සවස 5
Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE

Archive

Latest news

Related news