Saturday, July 27, 2024

ආඥාදායක විධායක ජනාධිපතිවරයා නෙරපා ජයග‍්‍රහණයෙන් ජයග‍්‍රහණයට ගමන්කරමු !

එච්. ඒ. සෙනෙවිරත්න විසිනි
විධායක ජනාධිපතිත්වය පැරදවීම සඳහා වූ ශ‍්‍රී ලංකා ජනතාවගේ ඉදිරිගමන සංඛ්‍යාවෙන්හා උද්යෝගීතාවයෙන් දිනෙන් දින වැඩිවෙයි. මෙයවනාහි: දූෂණය, පවුල් චෞරත්වය හා පවුල් බලය සමඟ බැඳණු නව යටත් විජිතවාදී, පුද්ගලික ඒකාධිපතිත්වයක් යටතේ හටගත් හාමත, වදහිංසාව, තර්ජන හා මිනීමැරුම් නිසාවෙන් නොනවතින දුක් වේදනාවට ජනතාව මූණපෑමේ නියත ප‍්‍රතිඵලයකි.

විධායක ජනාධිපති ඒකාධිපතිත්වයට සහයෝගය දුන් පක්‍ෂ අතරවූ දේශපාලන අවස්ථාවාදයද ජනතා නැගිටීමක එළිපත්තට රට පිවිස සිටීමේ සන්දර්භය තුළෙ දකඩවීමට පටන්ගෙන ඇත. පාලක සන්ධානයේ ප‍්‍රධාන සමුච්චය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ (ශ‍්‍රීලංනිපයේ) මහලේකම් මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණ නම්වූ පාලක සමුච්චයේද ලේකම්වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනයන් පවා එක්සත් ජාතික පක්‍ෂය (එජාපය0 විසින් මෙහෙයවනු ලබන පාර්ලිමේන්තු විපක්‍ෂයට එක්වී ඉදිරි ජනාධිපතිත්ව මැතිවරණයේ පොදු විපක්‍ෂ අපේක්‍ෂකයා බවට පත්ව සිටී.

රටේ ප‍්‍රථම අගමැතිවරයාවූ ඞී. ඇස්. සේනානායකගේ එජාප ආණ්ඩුවෙන් 1951දී ඉවත්වී ශ‍්‍රීලංනිපය පිහිටුවාගත් ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ උපන් දිනය වන ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට තමන් විසින්ම ප‍්‍රකාශයට පත්කරනු ලැබ ඇති බැවින්, ශ‍්‍රීලංනිපයේ ජනාධිපති අපේක්‍ෂක වශයෙන් දැනුම් දීගත් වර්තමාන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මෙය එහෙම පිටින්ම හා පැහැදිලිවම විනාශකාරීවූ තත්වයක් උදාකර ඇත.

මහින්ද රාජපක්‍ෂට එම තත්වය තවදුරටත් විනාශකාරීවී ඇත්තේ, 1956දී ශී‍්‍රලංනිපය පිහිටුවාගත් එහි ප‍්‍රථම ආණ්ඩුවේ අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ සහ 1970 දී පිහිටුවාගත් ශී‍්‍රලංනිප ආණ්ඩුවේ අගමැතිනියවූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ දියණිය – එනම්: චන්ද්‍රිකා බණ්ඩාරනායකත් පාර්ලිමේන්තු විපක්‍ෂ එකතුවට මෛත‍්‍රීපාල සිරිසේන සමග එකතුවිමයි.

යුද්ධ අපරාධ සම්න්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් විධායක ජනාධිපතිත්ව මැතිවරණයට පෙර නිකුත් කරනු ලැබීමට ඉඩ තිබෙන අපේක්‍ෂිත තීරණයක් තමන් විධායක ජනාධිපති වශයෙන් නැවත පත්කර ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂට ඉදිරිපත් කළ හැකි එකම සානුකම්පිත හේතුව වනු ඇත. එහෙත් එය, එල්ටීටීඊය පරාජය කර වසර පහක් ගතවීමෙන් පසුවත් තමන් විඳින හිරිහැර ජනතාව විසින් අමතක කරනු ලැබීමට හේතුවක් නොවන්නේය.

දේශපාලන බලධාරීන්ගේ සගයන් විසින් ඇත්තෙන්ම උත්පාදනය කරනු ලබන, ජනාධිපති අපේක්‍ෂකයන්ගේ ආධාරකරුවන් අතර උත්සන්න වන මාරාන්තික ගැටුම් පදනම් කරගෙන, පවතින තත්වය යටතේ, විධායක ජනාධිපතිත්ව මැතිවරණය අවලංගු කිරීමටද පිළිවන. දැනට විධායක ජනාධිපතිත්වය දරන පුද්ගලයාට, එලෙස ජනාධිපතිවරණය අවලංගු කරනු ලැබීම මගින්, තවත් අවුරුදු 2ක්, එනම් 2010දී තමන් දිවුරුම් දීමෙන් පසු 6වන අවුරුද්ද අවසන් වන තුරු, ‘‘ව්‍යවස්ථානුකූලව’’ විධායක ජනාධීපති වශයෙන් සිටිය හැක.

අනෙක් අතට බලනවිට, වර්තමාන විධායක ජනාධිපතිවරයාට සහයෝගය දක්වන අපේක්‍ෂකයන් ගණනාවක් ජනාධිපති අපේක්‍ෂකයන් වීමෙන් අපේක්‍ෂා කරන පරිදි, පාවිච්චි කළ ඡුන්දප‍්‍රමාණයෙන් 51%ක් කිසිම අපේක්‍ෂයෙකුට නොලැබීමේ තත්වයක්ද උදාවිය හැක. එකී තත්වය යටතේද වර්තමාන විධායක ජනාධිපතිවරයාට 2016 දක්වා දිගටම එම තනතුරෙහි රැඳී සිටීමට පිළිවන.

එහෙත් ශ‍්‍රී ලංකාව දැන් එහි දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක වෙනසක් වෙත පැමිණ ඇත. එය වනාහි රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයේ අවසානය පමණක් නොව,

එක් පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් සමග ගෙන යන ඕනෑම ධනේශ්වර ඒකාධිපතිත්වයක අවසානයේ ආරම්භයයි. පාර්ලිමේන්තු

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනයන්ට ජන්දය දීම වර්තමාන ඒකාධිපති පාලන තන්ත‍්‍රය නෙරපීමට ජනතාව විසින් ගනු ලබන ප‍්‍රථම ඍජු පියවර පමණක්

විය යුතු ය. එහෙත්, නිදහස සඳහා වූ සටන දිගටම සිදුවිය යුතුව ඇත. වර්තමාන ඒකාධිපති පාලන තන්ත‍්‍රය සිදුකරන විවිධාකාර අසාධාරණයන්ට එරෙහිව දැනටමත්

නිදහස සඳහා වූ සටන ඇරඹී තිබේ. එම තත්වය තුළ, සියලූ ආගම්වල හොඳ හිත ඇති – බෞද්ධ පූජ්‍යයන් විසින් මෙහෙයවනු ලබන – ඇතැම් පූජ්‍යයන් පවා මෙම අරගලයට එක්වී ඇත.

පොදු පාර්ලිමේන්තු විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට එරෙහිවීම සඳහා අවස්ථාවාදයේ පොදු නායකයෙක් සොයාගැනීමට පවා වාම අවස්ථාවාදී පක්‍ෂ අපහොසත්වී තිබේ. තමන් විධායක ජනාධිපති වශයෙන් තේරී පත්වීමෙන් දින 100ක් ඇතුලත විධායක ජනාධිපතිත්වය අහෝසිකර, රනිල් වික‍්‍රමසිංහ අගමැති හැටියට එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවන බවටත්, ඉක්බිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තු මහමැතිවරණයක් පවත්වන බවටත්, විධායක ජනාධිතපතිත්වය කෙරෙහි ඇති ජනතා අප‍්‍රසාදය රැගත් වර්තමාන දේශපාලන තත්වය අනූව, විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනයන්ට – පාර්ලිමේන්තු විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමග – ඒකාබද්ධ ප‍්‍රකාශයක් කිරීමටද සිදුවිය. නිසැකයෙන්ම එය, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට දරන උත්සාහයකි.

එහෙත් එය, දැනටමත් උද්ගතවීමට පටන්ගෙන තිබෙන තුන්වෙනි ලෝක යුද්ධයක සන්ධර්භය තුළ සමස්ත ලෝක පීඩිත ජනතාවගේ කොටසක් බවට පත්වන ශ‍්‍රී ලංකා ජනතාවගේ පළමුවන ජයග‍්‍රහණය වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ජනතාව, බලයේ සිටින ආඥාදායක විධායක ජනාධිපතිවරයා නෙරපීමෙන් තම පළමුවන ජයග‍්‍රහණය ලබා, ජයග‍්‍රහණයෙන් ජයග‍්‍රහණය වෙත ඉදිරියට යා යුතු ය

කම්කරු සහයෝගිතා සංවිධානය
එච්. ඒ. සෙනෙවිරත්න

ප‍්‍රධාන ලේකම්

Archive

Latest news

Related news