Tuesday, December 3, 2024

මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ

මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය වන්දිභට්ට දේශපාලකයින් සහ චණ්ඩින් හරහා අපට නිරන්තරයෙන් ඒත්තු ගන්වමින් සිටියි. නවතම සිදුවීම වන්නේ සංගීතවේදියෙකු සහ සහ සමාජ ක්‍රියාධරයෙකු වන ජයතිලක බණ්ඩාර කලාකරුවා සහ සමාජ ක්‍රියාධරයෙකු වන සමන්ත ඈපා ඇතුළු ‘වීදියේ විරෝධය’ වීදි නාට්‍ය කණ්ඩායමට සහ මාධ්‍යවේදී තිසර සමන් සෝමරත්නට එප්පාවල දී දේශපාලන මැරයින් විසින් මහ දවාලේ පොලිසිය බලා සිටිය දී පහර දීම යි.

ජයතිලක බණ්ඩාර ගැන අටුවා ටීකා ලිවිය යුතු නැති වුවද ඔහු දශක හතරක් තිස්සේ මේ ශාපලත් දූපත තුළ අනේක විධ තර්ජන ගර්ජනවලට මුහුණ පාමින් තාඩන පීඩනවලට නොසැලී මුහුණ දෙමින් සිරබත් කමින් හුදු වචනාර්ථයෙන් නොව භාවිතයෙන්ම ජනතාවාදී කලාකරුවෙකු බව අප ලියා තැබිය යුතුය. 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයෙකු ලෙස සිව් වසක් සිරබත් කෑ ඔහු එතැන් පටන් ද අරගලය අත් නො හළේය. සිය භාවිතය සහ නො වෙනස් ප්‍රතිපත්ති හේතුවෙන් රජරට සේවයෙන් දොට්ට දමනු ලැබුවේය. ‘විමුක්ති ගී’ සිට ‘කම්පන’ දක්වා ප්‍රසංගවල සිය සහෘද කලාකරුවන් සමඟ අත්වැල් බැඳ ගත්තේය. ‘සාධු ජනරාව’ නම් වූ ඔහුගේ ගී ප්‍රසංගය 1200 වාරයක් ඉක්මවා ගම් දනව් වෙත රැගෙන ගිය ඔහු උතුරෙහිද දකුණෙහිද මිනිසුන් අතර සහෝදරත්වයේ පාළම් ගොඩ නඟනු වස් නිර්භයව ගැයුවේය. ඔළු වෙනස් වුවද ක්‍රමය වෙනස් නො වන ධනපති අර්ථ ක්‍රමයේ විවිධ ස්වරූපයන්ට එරෙහිව ‘බියෙන් අත්මිදෙමු’ යන තේමාවෙන් ඔහු නැවත ගයයි. ඔහු, පිරිහුණු සිය සෞඛ්‍යය ගැන නොතකා, බස් ගාස්තුවක් පවා නො ඉල්ලා කොන්දේසි විරහිතව ජනතාවාදී වැඩවලට සිය දායකත්වය දෙන බවට අප සතු අත්දැකීම් එමට ය. තමන් සමඟ එක්ව ගැයූ සගයන් පිල් මාරු කරද්දී දේශපාලනික සගයින් සමූහ අරගලය අත්හැර පෞද්ගලික විමුක්තිය සොයන මාවත්වලට පිළිපන් විට පවා සුපුරුදු තරුණ ජවයෙන් ම ඔහු මිනිසුන් අතරට පිවිසෙයි. ගයයි. එයිනුදු නො නැවතී වීදියේ අරගල කරයි.

“කලාකාරයෝ කියන්නේ පැහැදිලිවම තමන්ගේ කලා නිර්මාණ කරන්න බැරි තත්ත්වයක් ගොඩනැඟෙනකොට, තමන්ගේ නිර්මාණවලින් අමතන සහෘද

ජනතාව පීඩාවට පත්වෙනකොට, ඒ පෑන් පැත්තකින් තියලා, කැමරා පැත්තකින් තියලා, මයික්‍රෆෝන් පැත්තකින් තියලා, වාදනය කරන සංගීත භාණ්ඩය

පැත්තකින් තියලා ජනතා අරගලත් එක්ක එකතු වියයුතු පිරිසක්. ඒක තමයි සැබෑ කලාකාරයන්ගේ වගකීම.”
– ජයතිලක බණ්ඩාර
පහන්තරුව – 2010 ජනවාරි
(උපුටනය සමබිම වෙබ් අඩවියෙන්)

ජයතිලක බණ්ඩාරගේ ප්‍රමුඛ සහයෝගීත්වයෙන් යුතුව ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය’ යන තේමාවෙන් යුතුව සංවිධානය කර ඇති මේ වීදි නාට්‍යය සිවිල් සංවිධාන , වෘත්තීය සමිති සහ පුරවැසියන් රැසක් එක්ව සංවිධානය කරන්නකි. පසුගිය නොවැ. 25 වනදා කොළඹ කොටුවෙන් ඇරඹි මෙම සාමකාමී විරෝධය ඊයේ (05 වැනිදා) සංවිධානය කොට තිබුණේ එප්පාවල නගරයේ දීය . වීදි නාට්‍යය රඟ දැක්වීමෙන් අනතුරුව කණ්ඩායමේ පිරිස දිවා ආහාරය ගැනීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී එතැනට පැමිණි තලාව ප්‍රදේශීය සභා මන්ත්‍රී වසන්ත බණ්ඩාර සහ උතුරු මැද ප්‍රධාන අමාත්‍ය එස්. එම් රංජිත් ගේ සම්බන්ධීකාරක වරයෙක් යැයි කියා ගන්නා උදිත ප්‍රනාන්දු, ‘ඇලේ සංජීව’ ඇතුළු මැර පිරිසක් කඩා පැන ජයතිලක බණ්ඩාර කලාකරුවා ඇතුළු පිරිසට අතින් පයින් පහර දී තර්ජනය කොට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ. ඔවුන්ගේ මේ සා කලබලයට ප්‍රධාන හේතුකාරකය වී ඇත්තේ ‘වීදියේ විරෝධය’ කණ්ඩායම ‘අපේ ජනාධිපතිතුමාට කෙළින්න’ ආ අය ලෙස පෙනී යාමයි. මේ සිද්ධිය නො බියව රූගත කළ මාධ්‍යවේදී තිසර සමන් සෝමරත්නට ද පහර දී ඇති අතර ඔහු දැනට රෝහල්ගත වී ප්‍රතිකාර ලබයි.

සාමකාමී විරෝධයක නිරත වූ නිරායුධ කලාකරුවන්ට බිම දමාගෙන පහර දුන් මැර කණ්ඩායම ඊළඟ මොහොතේ දී නොන්ඩි ගසමින් පොලිසියට ගොස් පැමිණිලි කරනු දක්නට ලැබුණි. ඉන්පසුව මේ මැරයින් රෝහල්ගත වී ඇති අතර දැනගන්නට ලැබුණු පරිදි මහ ඇමති එස්. එම්. රංජිත් ඊයේ රාත්‍රියේ රෝහලට පැමිණ සිය ගෝල බාලයින්ගේ සුවදුක් විමසා තිබේ. රූගත කරන ලද දර්ශනවල පැහැදලිව සටහන් වන පරිදි මේ නිරායුධ සිවිල් වැසියන්ට ඇමති බත්බැලයන් පහර දෙද්දී එය වැළැක්වීමට කිසිදු උත්සාහයක් නො ගත් පොලිසිය පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන තිබුණේ දෙපිරිසම තමන්ට පහර දුන් පවසමින් පැමිණිලි ඉදිරිපත් කොට ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති බවත් ය. පොලිසියේත් මහජනතාවගේත් ඇස් පනාපිට සිවිල් වැසින්ට පහරදුන් චණ්ඩින් කිසිවෙකුත් මේ වන විටත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැත. නඩුත් රජ්ජුරුවන් ගේ ය. බඩුත් රජ්ජුරුවන් ගේ ය.

මේ දේශපාලන මැරයන් සතු ප්‍රධාන බලය නම් කුමන අපරාධකරුවෙකු හෝ සාටකය අස්සේ දමාගෙන රජු විසින් රැකගනීවිය යන දැනුම යි. නො දරුවන් දූෂණය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාගේ පටන් ඇමතිවරු, ඇමති පුතුන්, ආරක්ෂක අමාත්‍යාංශ ‍ලේකම්ලා මෙන්ම ජනාධිපති දක්වා කතාකරන්නේ ද වැඩ කරන්නේ ද චණ්ඩි කමෙනි. ඇමතිවරු මන්ත්‍රීවරු සහ ඇමති පුතුන් සිවිල් වැසියන්ගේ ජීවිතවලට බලපෑම් කරමින් සිය බලය පෙන්වද්දී ඉන් ඉහළ මට්ටමේ ජනාධිපති සහෝදරයින් සුදුවෑන් සංකල්පය මුදා හැර කටඅරින්නන් නිහඬ කරවයි. ජනතාවගේ නානකාමර තුළ සිදුවන දේ ගැන පවා සෙවිය හැකි ආරක්ෂක ජාලයන් නිර්මාණය කරයි. මේ සියල්ලන්ගේ මෙන්ම බහුතරයක් කලාකරුවන්, උගතුන් , රාජ්‍ය තාන්ත්‍රිකයින් , වාමාංශිකයින් සහ එම පක්ෂවල ආශිර්වාදයෙන් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනින් මරා කිරිබත් කා යුධ ජයග්‍රහණය සැමරූ ජනාධිපති, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන උත්තරීතර සංස්ථා සියල්ල කෙළෙසයි. වර්ගවාදය දඩමීමා කරගනිමින් රට පුරා භීෂණය පතුරයි. නව නීති (අව) නීතිගත කරයි. ගෝරිල්ලෙකු මෙන් පපුවට ගහගනියි. අන්තිමේ දී ජනතාවට ඇඬෙයි.

ලසන්ත වික්‍රමතුංග ගේ මිනිමරුවා පිළිබඳව විමසූ විට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වියරු සිනාවක් පා ඇසුවේ “ලසන්ත වික්‍රමතුංග කියන්නේ කවුද? ඇයි මේ ටැබ්ලොයිඩ් පත්තරකාරයෙක් ගැන මේ තරම් වද වෙන්නේ?” කියාය . රූපවාහිනී වාද විවාදවට පැමිණෙන රජයේ ඇමතිවරුන් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ජනාධිපතිගේ නාමයෙන් පතුරන භීෂණයට හොඳම උදාහරණ වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට බුරා පැන්න ආකරයත්, මහින්දානන්ද අලුත්ගමගේ වාදපිටියේ දී හැසිරුණ ආකාරයත්ය. මාධ්‍යවේදීන්ට සහ පුරවැසියන්ට සැලකීම පිළිබඳව වාර්තා තබා ඇති මර්වින් සිල්වා නුදුරු දිනෙක සිය දූෂක පුත්‍රයා බන්ධනාගාරයෙන් මුදාගෙන එද්දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට රූපවාහිනී කැමරා දෙස හැරී පිළිතුරු දුන්නේ කුණුහරපයෙනි. පසුගිය දිනෙක විරුද්ධ පක්ෂය හා එක්වී වැඩකරන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පන්සලට හදිසියේ කඩාපැන්න ජනාධිපතිවරයා ඇසුවේ “හාමුදුරුවනේ මට කෙළවන්නද හදන්නේ?” කියාය. පසුගිය සතියේ අරලිය ගහ මන්දිරයට ජනාධිපතිවරයා හමුවීමට ගිය ‘ලොකු අතුල’ හෙවත් අතුල නිමලසිරි ජයසිංහ සාකච්ඡා කරමින් සිටි කාමරයෙන් එළියට ආවේ මළමිනියක් ලෙසිනි. ඒ මිනිස් ජීවිතය පිළිබඳව ප්‍රශ්න කිරීම පවා යටපත් කර දැමිණි. කලකට ඉහත ඒ කාමරයේම දමාගෙන ජනාධිපතිවරයා විසින් හිටපු පොලිස්පතිවරයාට අතින් පයින් පහර දීම ද ඒ චණ්ඩිකමේම ප්‍රතිඵලයකි. මාධ්‍ය වාරණයද ප්‍රවෘත්ති වාරණයද එළිපිට ම විළි ලැජ්ජා සහගතව සිදු කෙරෙමින් පවතී. ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම ඒ මැර සංස්කෘතියේම ඊළඟ දිගුව යි. ජනාධිපතිවරයාට ‘කෙළවන්නට’ එනවා යයි සිතෙන ඕනෑම අයෙකුට අතින් පයින් පහර දී මරා දැමීම දක්වා ගියද තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නො වන බව මේ මැරයින් සහසුද්දෙන් දනියි.

“පසුගිය කාලය පුරා අපි දැක්කෙ මාධ්‍යකරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සහ වාර්තා කිරීමේත් ජනතාවගේ තොරතුරු අදහස් දැනගැනීමේ අයිතියත් උල්ලංඝනය

කරපු හැටි. ඒ අය මරපු හැටි. ඒව ගැන ලියූ ගීත මේ ප්‍රසංගයට අපි ගත්තා. ඇත්තටම මිනිස්සුන්ට ශක්තිය දෙන ගීත අවශ්‍යයි. අපිට කතා කරන්න වෙන්නෙ දශක

ගණනාවක් පුරා මේ රටේ සිද්ධවෙච්ච ඛේදවාචක ගැන තමයි. හැබැයි ඒ ඔස්සේම අපිට මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති කරවන්නට පුළුවන්. ඒ සමග මේ සමාජ

වෙනස හෙට වෙයි කියල මම කියන්නෙ නෑ. හැබැයි මම විශ්වාස කරනවා කවදහරි දවසක ඒ වෙනස සිද්ධවෙනවා. මේ ප්‍රසංගයේ අන්තර්ගතය වෙන්නෙ ඒ

බලාපොරොත්තුවේ ශක්තිය.”
– ජයතිලක බණ්ඩාර
(උපුටනය බූන්දියෙන්)

“කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා”

ඔහු ගයයි. මිනිස් හදවත් ඒ හඬින් පිරෙයි.

අනුන්ගේ ජීවිත වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා වීදි බට ඒ මිනිසාගේ ද ඒ සගයින්ගේද ධෛර්යය අවනීතියට හෝ මැරකමට පරාජය කළ නො හැකි බව පසක් කරමින් ඔවුහු ඊයේ උදෑසන එප්පාවල පහර දීමෙන් අනතුරුව නො බියව අනුරාධපුරයේද නාට්‍යය රඟ දක්වා අද දඹුල්ල සහ කුරුණෑගල ද හෙට හලාවත ද ආදී වශයෙන් විදී බසිමින් සිටිති. ජනතාව ඒ වටා පෙළ ගැසෙයි. මුදලට ජීවිතය ද පරමාර්ථයන් ද පාවා නො දුන් අතලොස්සක් මිනිසුන් අතර අදීනව සටන් වදින මේ මිනිසුන්ට අත තබන්නට පෙර ජනතාව මහපාරේ රොක්විය යුතුය. මහපාරේ අරගලයට සූදානම් ජයතිලක බණ්ඩාර වැනි සැබෑ කලාකරුවන්ට ද ඒ වටා රොක්වන ජනතාවට ද පහර දී නැවැත්විය නොහැකි බව දූෂිත පාලනයේ බැලයන් වන මැරයිනි, තොප වටහා ගත යුතුය.

උපුටා ගැනීම – බූන්දි

Archive

Latest news

Related news