Thursday, March 28, 2024

මහින්ද රාජපක්ෂ බලය සීසීකඩ යන හැටි

සේනක වත්තේගෙදර විසිනි-

ජීවිතයේ බොහෝ අවස්ථාවල අප අතින් වීදුරු බඳුන් බිදී ගොස් ඇත. ඇතැම් අවස්ථාවල ඒවා විශාල කෑලි වශයෙන්ද තවත් අවස්ථාවල ඉතා කුඩා කැබලි වශයෙන්ද බිදී යනු අප අනන්තවත් දැක ඇත. වීදුරු බදුනක් ඉතා කුඩා කැබලි වලට බිදීයන්නේ එම භාජනයේ ශක්තිය එක්තැන් වී තිබෙන ස්ථානයට පහරක් වැදුණු විටය. එයට අප කියන්නේ එකී භාජනය සතු ගුරුත්ව කේන්ද්‍රීය බලය කියාය. ගුරුත්ව කේන්ද්‍රයට පහරක් එල්ල වූ විට එය ඉතා දරුණු ලෙස විනාශ වේ. යුද්ධයකදී පවා මෙම නියමය භාවිතා කිරීමට සෑම පාර්ශවයක්ම උත්සහ දරයි. එනම් තම ප‍්‍රතිවාදියාගේ ශක්තිය එකතුවී තිබෙන ස්ථානය (ගුරුත්වය) සොයා පහර දීම යුද සංග‍්‍රාමිකයන්ගේ එකම අරමුණයි. තිස් දෙඅවුරුදු යුද්ධයේදී කරුණා අම්මාන් එල්ටීටීඊ නායකත්වයේ වෙන් කිරීම ඉන් එක් උදාහරණයකි. එය එල්ටීටීඊ යේ ගුරුත්ව කේන්ද්‍රය විනාශ කිරීමකි. එතැන් සිට එල්ටීටීඊයේ විනාශය ආරම්භ විය.

ගුරුත්ව කේනද්‍රයට පහර වැදීම

අද වීදුරුව පොලේ ගැහුවා සේ මෙම නියමයට මුහුණ දී සිටින්නේ වෙන කවුරුත් නොව මහින්ද රාජපක්ෂයි. මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂගේ ගුරුත්ව කේන්ද්‍රයට පහර එල්ල වී ඇත. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම් මහින්ද රාජපක්ෂගෙන් වෙන් වීම කරුණා ප‍්‍රභාකරන්ගෙන් ඈත් කර එල්ටීටීඊ යේ ගුරුත්ව බලය විනාශ කලා හා සමානය. එල්ටීටීඊය විනාශ වූවාට සමානව අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගුරුත්ව බලයට පහර එල්ල වෙමින් තිබේ. ඉතා විශාල ජනතා ආකර්ශනයක් තිබූ මහින්ද රාජපක්ෂට මෙසේ වූයේ ඇයි? අප විමසා බැලිය යුත්තේ එයයි. එය වෙන කිසිවක් නිසා නොව උඩගුකම නිසා හා බල ලෝභය නිසා ඇති කර ගත්තකි.

මහින්ද තමන්ගේ ශක්තිය ගොඩනගා ගන්නේ යුද්ධයට සමගාමීවය. යුද්ධය අවසන් කිරීම සඳහා ඔහුට බොහෝ දෙනාගේ සහය ලැබිණි. යුද්ධය කිරීමෙන් ලැබුණු ආකර්ශනය හුදු තමාගේම හැකියාව නිසා ගොඩනැගුණක් සේ සලකා ඒ හරහා ඔහු වෙත ගොඩනැගුණු බලය තම ශක්තියේ කේන්ද්‍රය බවට පත්කර ගන්නවා පමණක් නොව එයින් උද්දාමයට පත්වන ඔහු පියවරෙන් පියවර තම බලය උපරිමයට කරා ගෙන ඒමට උත්සහ ගනී.

ඒ වෙනුවෙන් ඔහු තමන්ට අවනත එමෙන්ම තමන්ගේ අරමුණට සහය දක්වන කණ්ඩායම් ගොඩනගා ගන්නා මහින්ද රාජපක්ෂ තම පවුල එහි කේන්ද්‍රය බවට පත්කර ගනී. ඊට අමතරව එහි සාමාජිකයන් වන්නේ තමන් වෙනුවෙන් ඔනෑම දෙයකට සූදානම් එහෙයියන් පිරිසකි. ඔවුන් හරහා තම බලය මුදා හරිනු ලබන මහින්ද හා ඔහුගේ පවුල සැලසුම් කරන්නේ මහින්ද රාජපක්ෂට එරෙහි කණ්ඩායම් දුර්වල හෝ විනාශ කිරීමය. ඔවුන් එය ආරම්භ කරන්නේ චන්ද්‍රකා බණ්ඩාරනායක ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් පලවා හැරීම හැරීමත් සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීමත් හරහාය. ඉන් ඔහු උත්සහ ගන්නේ තම ප‍්‍රතිමල්ලවයන් භිය වැද්දීමටය. පසුව තමන්ව මේ තැනට ඔසවා තැබීමට උදව් කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානය තම බලයට යටත් කර ගන්නා අතර තීන්දු තීරණ ගැනෙන්නේ සංධානයක් ලෙස නොව තමන්ට අවශ්‍ය ආකාරයට. මේ ආදී වශයෙන් අනෙකා දුර්වල කිරීමෙන් තමන්ගේ ශක්තිය වැඩිකර ගන්නා මහින්ද ඔහුගේ ගුරුත්ව බලය ගොඩනගා ගනී.

ඉන් පසු ඔහු අත ගසන්නේ සමාජයේ ගුරුත්ව කෙන්ද්‍රයන් පාලනය කිරීමටයි. ඔනෑම සමාජයක ගුරුත්ව කේන්ද්‍රයන් වන්නේ එකී සමාජයක යහ පැවැත්මකට අවශ්‍ය ආයතන හා ප‍්‍රතිපත්ති රාමුන්ය. තම බලය උපරිම කර ගැනීම සඳහා එකී ආයතන හා ප‍්‍රතිපත්ති රාමුන් අමු අමුවේ කෙලෙසන්නට පසු බට නොවන මහින්ද එය ආරම්භ කරන්නේ 18 සංශෝධනය ගෙන එමින් හා සියළු පාර්ශවයන්ගේ එකඟත්වයෙන් සම්මත වූ 17 වන සංශෝධනය අහෝසි කරමින්ය. තවද නීතියේ ආධිපත්‍ය තම ග‍්‍රහණයට ගැනීම සඳහා ශිරාණි බණ්ඩාරණායක අග‍්‍රවිනිශ්චකාර වරිය නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් එලවා දමා ඊට තම හෙන්චයියෙකු පත්කර ගනී. මැතිවරණ පැවැත්වීමේ ක‍්‍රමවේදය අමු අමුවේ කෙලසන ඔහු ජනතා කැමැත්ත වේශ්‍යා වෘත්තියේ යොදවයි. ඊට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන්ගේ ආයතන ප‍්‍රතිපත්තීන් වෙනස් කරමින් ඒ සියළු ආයතන දුර්වල කරනු ලබයි. එය කොතරම්ද යත් අද ගම් මට්ටමේ සිටින ප‍්‍රාදේශීය දේශපාලකයන් පවා නීතියට, ආයතන ප‍්‍රතිපත්තීන් වලට බය නොවන තත්වයක් දක්වා ගෙනවිත් තිබේ. මේ සියල්ල ඔහුගේ බලය තහවුරු කර ගිනීම සඳහා කරන ලද දේවල්ය.

දැන් තත්වය වෙනස් වී ඇත. ඉහත කී තත්වයන් වසර ගනනාවක් තිස්සේ සියැසින් දුටු සහ අත්විදි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම මහින්දගේ ගුරුත්ව කේන්ද්‍රයට පහර දී තිබේ. එය මහින්ද රාජපක්ෂට දරුණු ලෙස බලපා ඇති බවක් හොඳින් දැක ගත හැකිය. වැල නොකැඞී ප‍්‍රාදේශීය දේශපාලඥයින් මෛතී‍්‍රට සහාය දැක්වීම සඳහා එකතු වන දෙස බලන විට, රූපවාහිනී සංවාද වල පිණුම් ගසමින් සිටි මහින්ද රාජපක්ෂ රෙජීමයේ ඇමතිවරුන් පත්ව ඇති තත්වය දෙස බලන විට, ප‍්‍රතිරූපය උස්සා ගැනීම සඳහා සෑම කණුවකම ගසන කටවුට් දෙස බලන විට, මාතර සුනිල්ලා වැන්නවුන් ඇමතිවරුන්ට ප‍්‍රසිද්ධියේ හොරා යැයි කියමින් අභියෝග කරන දෙස බලන විට, ඒබ ව හොඳින් තේරුම් ගත හැක. ඒ අනුව මහින්දගේ බලය නැමති වීදුරුව ඉතා කුඩා කැබලි වලට ඉරිතලා දෙදරා ගොස් තිබේ. දැන් අවශ්‍ය වන්නේ තව එක් පහරකි. ඒ ජනතාවගේ පහරයි ජනවාරි 8 වෙනිදාට ජනතාව එකී පහර බුද්ධිමත් ලෙස එල්ල කරණු ලැබුව හොත් මහින්ද රාජපක්ෂ ඒකාධිපතිත්වය කුඩා කැබලි වලට කැඞී දෙදරා යනු ඇත.

වීදුරුව අලවා ගන්න බැහැ!

දැන් ජනාතාව තේරුම් ගත යුත්තේ මහින්ද රාජපක්ෂට මොනම ක‍්‍රමයක් යොදාවත් තම වීදුරුව අලවා ප‍්‍රතිසංස්කරණය කර ගත නොහැකි බවයි. ඒ සඳහා ඔහු නොයෙක් උත්සහ ගනු ඇත. වැඩි වැඩියෙන් කටවුට් ගසනු ඇත. විරුද්ධ වාදීන්ට තඩිබානු ඇත. මාධ්‍ය වේදීන්ට පහර දෙනු ඇත. මාධ්‍ය ආයතන අවහිර කරණු ඇත. ගොඩගසා ගත් මුදල් කන්ද සොලවනු ඇත. යුද්ධය නැවත නැවත විකුණනු ඇත. අධිරාජ්‍ය වාදය පතුරු පිට පතුරු ගසනු ඇත. නමුත් මහින්ද රාජපක්ෂ තේරුම් ගත යුත්තේ ඔබගේ වීදුරුව බිදී ගොස් අවසන් බවය. එනිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බිය නොවී මහින්ද රාජපක්ෂගේ වීදුරුවට පහර දෙන ලෙයසි.

 

Archive

Latest news

Related news