Saturday, April 20, 2024

දයාන් ජයතිලකගේ විකාර විග්‍රහ

(සිහින දැකීමට සහ ඒවායේ ජිවත්වීමට ජයතිලකට ඇති අයිතිය)
ජයපාල වික්‍රම විසිනි-

දවසින් දවස සිය දේශපාලන විග්‍රහ වෙනස් කරමින් ඉංග්‍රිසි මාධවවලට ලියන යාන් ජයතිලක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමෙන් පැය ගණනාවක් ඇතුළත ලිපියක් පල කරමින් කියන්නේ ජනාධිපති රාජපක්ෂ තවමත් ඉදිරියෙන් සිටින බවයි.
මෙවැනි නිගමනයකට පැය ගණනාවක් ඇතුළත පැමිණිමට නම් ජයතිලකට දිවැස් ඥානයක් තිබබිය යුතු ය‍. මන්ද යත් ඔහුගේ නිගමය කිසිදු විශ්ලේෂණයක් මත නොව ඔහුගේ හිතලු මත ප්‍රකාශ කැරෙන එකක් පමණක් බැවිනි.

විපක්ෂ පොදු අපේක්ෂකයා පිළිබඳව කෙරී ගෙන ගිය දේශපාලන සාකච්ජා ගැන හංකාවිසියක්වත් නොදැන සිටි මේ දේශපාලන විශ්ලේෂකයාට මෛත්‍රී ආගමනය හිසට වැදුණු පොලු පහරක් මෙන් විය. දැන් මෛත්‍රී විරෝධී සටනේ රාජපක්ෂ සොල්දාදුවකු බවට ජයතිලක පත්ව තිබේ.
ඊට දින දෙක තුනකට පෙර ලිපියක් පලකරමින් ජයතිලක කියා සිටියේ කරු ජයසූරිය වඩාම හොඳ විපක්ෂ අපේක්ෂකයා බවයි.

ඊටත් කලකට පෙර ජයතිලක කියමින් සිටියේ සජිත් ප්‍රේමදාස – කරු ජයසූරිය හවුල එජාපය ජයග්‍රහණය කරා ගෙන යා හැකි සුසංයෝගය බවයි.

ඊටත් පෙර දයාන් ජයතිලක රාපපක්ෂ ආන්ඩුවේ තානිපති ලෙස පැරිසියේ රාජ්‍ය වරප්‍රසාද ලබමින් සිටියේ ය.

ඊටත් පෙර ජයතිලක සිංගප්පූරුවේ සරසවියක රස්සාවක් කරමින් රාජපක්ෂ ආන්ඩුවට දොස් පරොස් තබමින් සිටියේ ය.

ඊටත් පෙර ජයතිලක රාජපක්ෂ ආන්ඩුවේ ජිනීවා තානාපති ලෙස රාජ්‍ය වරප්‍රසාද භුක්ති විදිමින් සිටියේ ය.

දයාන් ජයතිලකගේ දේශපාලන න්‍යායන් හැඩ ගැසෙන්නේ ඒ ඒ අවස්ථාවේ ඔහුට ලැබෙන වාසි අවාසි අනුවය.

1980 ගණන් වලදී එල්ටීටිඊ සංවිධානය හිස් මුදිනින් පිළිගෙන සිය පියාගේ සඟරාව මගින් වසරේ මිනිසා ලෙස කොළඹ පුරා පෝස්ටර් ඇලෙව්වේත් මේ ජයතිලකම ය.

ඉන් පසු ඉන්දියාව නැතිව ශ්‍රී ලංකාවේ විප්ලවය කළ නොහැකියැයි න්‍ය්‍යයක් ගෙනැවිත් සිය සංවිධානයේ අන් සියල්ලන් අත් අඩංඟුවට හසු වෙත් දී ඉන්දියානු ආන්ඩුවේ රැකවරණ මැද එරටට ගොස් වරප්‍රසාද ලබා ගත්තේ ය.

අද ජයතිලකට ඇති එකම රැකවරණය ද රාජපක්ෂම ය. කෙසේ හෝ ඉතිහසයෙන් භුගෝලයෙන් කරුණු ගෙනැවිත් රාජපක්ෂ දිනන බවට ලිපි පිට ලිපි ලියන්නේ එනිසා ය.

ජයතිලකගේ වෛරයට හසු වූ දේශපාලනඥයින් දෙදෙනෛකු සිටිති. ඒ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහය. මේ දෙදනෙගෙන්ම ඔවුන් පසු පසුගිය ද ජයතිලකට කිසිදු තනතුරක් ලැබුනේ නැත. ජයතිලක එම දෙදෙනාට තර්ක කරන්නේ ඒ නිසා ය. ජයතිලකට තනතුරු ලබා දුන්නේ තමන්ට නැති මොළය අනුන්ගෙන් පුරවා ගැනීම එකම පිළිසරණ වි ඇති රාජපක්ෂ පමණකි.

ජයතිලකගේ දේශපාලන විග්‍රහ පැන නගින්නේ ඔහුගේ රනිල් චන්ද්‍රිකා විරෝධය ද පදනමක් ලෙස ඇතිවය.

රනිල්ට අගමැතිකම දෙන්නේ නම් ජනයා මෛත්‍රීට ජන්දය දිය යුත්තේ ඇයි දැයි දයාන් ජයතිලක අලුත්ම ලිපියෙන් අසයි. මේ විශ්ලේෂකයාට නොපෙනෙන කරුණ නම් එජාපය විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය බවත් අගමැති තනතුර සංක්‍රාන්ති ආන්ඩුවේ නිලයක් පමණක් බවත් ය. මෛතීට ජන්දය දිය යුත්තේ අද ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රධාන වෙනස වන ප්‍රජාතන්‍ත්‍රවාදී වෙනස ඇති කිරීමට අවශ්‍ය පුළුල්තම පෙරමුණ ගොඩනැගිය හැකි අද පෙරමුන ගෙන සිටින දේශපාලනඥයා ඔහු නිසා ය.

ඊ‍ළග ආන්ඩුවක සංයුතිය තීරණය වනු ඇත්තේ අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් වලින් පසු පැවැත්වෙන මහා මැතිවරණයකින් පසුව ය. මෛත්‍රී සහ රනිල්ගේ භූමිකාව එතෙක් පවතින එකක් පමණය.

ශ්‍රී ලංකාව වෙනසක් අවශ්‍ය වි ඇති මොහොතක එම වෙනසට විවේචනාත්මකව හෝ සහාය දක්වනු වෙනුවට රාජපක්ෂ ජය ගායනය සේවය කරන්නේ රාජපක්ෂ ඒකාධිපතිත්වයටම බව දයාන් ජයතිලක නම් පන්ඩිතයා දන්නේම නැත්ද?

සාධාරණය සහ අසාධාරණය අතර සටනෙහි පැත්තක් නොගැනීම යනු අසාධාරණයට සේවය කිරිම ය. දයාන් ජයතිලකගේ ලිපි අවසානයේ දී සේවය කරන්නේ රාජපක්ෂ ඒකාධිපතිත්වයටම බවට මෙම විතර්කය තරම් හොඳ සාධකයක් නැත.

Archive

Latest news

Related news