ප්‍රසන්න පොන්සේකා විසිනි-
ඔහු ද නික්ම ගියේ ය. මාගේ කතුවරයන්ව සිටි සය දෙනාගෙන් පස් දෙනෙකු මේ වන විට නික්ම ගොසිනි.එහෙත් ඒ සියල්ලටම වඩා සුජීව ගේ සමු ගැන්ම මා සසල කරයි .ඒ ඔහු සිළුමිණට සැබෑ කතුවරයකුව සිටි නිසා ය.සුජීව සිළුමිණ කතුවරයා ලෙස වැඩ අල්ලන්නේ ද ලේක්හවුස් පෙරලියකිනි.ඒ කැපිල්ලක් නිසා ලේක්හවුසි යේ සයිබීරියාව ට මාරු කර සිටි මා නැවත සිළුමිණට කැඳවමිනි .ඒ නිකම් ම නොවේ .මා සයිබීරියාවට යැවීමට ක්‍රියා කල සිළුමිණ සම කතු සයිබීරියාවේ මා සිටි පුටුවට යවමිනි .ඒ තැනැත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු ද වුයේ ය.
බිය නොහදුනන වාර්තකරුවකු ව සිටි මා ගෙන ආ ආන්දෝලනාත්මක පුවත් ඔහු සිළුමිණ හි පල කළේ ය .
ගිමන් පොළ ලියමින් තිලින රුවන් ඒ ගැන සදහන් කරමින් තිබිණි .තිලින සමහර විටක පුවත් සොයා පාතාල ව්‍යාපාරිකයන් වෙත මා ගිය ගමනක මට තනි රැක්කේ ය. ( තිලින රුවන්ගේ ලිපිය පහතින් පළවේ)
වරක් සුජීව මා නිසා ආරවුලක් ඇති කරගත්තේ ශ්‍රීපති සූරියාරච්චි සමග ය.ශ්‍රීපති එවක මාධ්‍ය ඇමති මංගලගේ හිතවතෙකි.ශ්‍රීපති සුජීව ද මිතුරන් ය.අන්තිමේදී සිළුමිණ ශ්‍රීපති ගේ රෙදි ගලවුයේ ය.සුජීව පෙනී සිටියේ සත්‍ය වෙනුවෙන් ය.පොලිස්පති|ඇමතිවරු |හමුදාපතිවරු සමග ඔහු හප්පුනේ ය.එහෙත් කිසිවිටෙක ඔහු ඔවුන ට අවනත වුයේ නැත.
ඔහු දේශපාලනික ලෙස ශ්‍රීලනිප වාදියකු විය.වරක් මැතිවරණයක දී ඔහු තොරා ගත් අපේක්ෂකයන් වෙනුවෙන් චන්ද රැස්වීම් අමතා රට වටා ගියේ ය.ප්‍රචණ්ඩකාරී ක්‍රියා බහුල පැති වල ට ඔහු යන විට ඔහු ආරක්ෂාව බාර දුන්නේ මට ය.හිටපු කමාන්ඩෝ සෙබළකු වන ඉන්ද්‍රජිත් කිවිවර ,නන්දන වීරසිංහ සහ මම ඔහු ගේ අපූරු පුද්ගලික ආරක්ෂකයෝ වුහ.
තරුණ අසපුව ඔහු ගේ අපූරු සංකල්පයකි.ඒ ගැන බොහෝ දේ තිලින ලිය ඇත.සුජීව හොද ගායකයකි.අපේ මධු සාද රසවත් වුයේ සුජීවගේ ගායනා වලිනි.ඔහු .මා හා පොද්දල ජයන්ත නිසා කතුකම අහිමි කරගත් තේ ය.එහෙත් කිසිම විටක ඔහු ගැන පසු තැවුනේ නැත.ජනදාස පීරිස් මහතා පසු කලෙක `ජනතා `පුවත්පත සුජීවට බාර දුන්නේ ය `.ජනතා.` නැවත අරබුමේදී ඔහු මට එක්වන ලෙස ඇරයුම් කළේ ය .මා සිළුමිණ හැර ඔහුට එකවුණි .
අප දෙදෙනාම ලේක්හවුසියෙන් සමු ගත්තේ එකට ය.ඉන්පසු කිහිපවරක් අප හමු වුනෙමු.`සියත `හැරදා මා ජනරාල්වරයා සමග එක්වීමට ඔහු එකගවුයේ නැත.පසු කලෙක ඔහු මිහිරි ෆොන්සේකා සමග පවසා තිබුනේ මට රට හැර යාමට ඉඩ දීම ඔහුගෙන් වූ වරදක් බව ය.එහෙත් එයට ඔහු වගකිව යුතු නැත.අවාසනාවකට ඒ බව ඔහුට කීමට මට කිසිදිනක නොහැකි විය.කවදා හෝ දිනක සැබෑ කරගැනීමට මට සිහිනයක් විය.ඒ සුජීව ,තිලින ,නන්දන ,රත්න ශ්‍රී ,කම්මල්වීර ,දෙනගම ,වැලිසරගේ සහුර්දයන් හෙවත් අසපු නඩය සමග මධු විතකට යලිත් එක්වීම ය.එහෙත් එය සිහිනයක් පමණක් කරමින් සුජීව නික්ම ගියේ නොමියන මතකය ඉතිරි කරවමිනි .
– මුහුණු පොතිනි
සුජීවද නික්ම ගියේය!
තිලින රුවන් විසිනි
ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව දිසානායක මහතා අප අතරින් වියෝ වූ වග මේ දැන් අසන්නට ලැබුණි. වාමාංශික පුවත්පත් කලාවේදියෙකු වූ සුජීවට 1994 දී චන්ද්‍රිකා බලයට පත්වීමටත් සමගම ලේක්හවුසියේ දොර හැරුණි. ඒ සිළුමිණ පුවත්පතේ සම කර්තෘවරයෙක් වශයෙනි. මඳ කලකින්ම හේ සිළුමිණ කර්තෘ පුටුව දක්වා ගියද ඔහු තුළ පැවති සරල නිහතමානී ගුණය ඒ හේතුවෙන් මඳකිනිදු අඩු නොවුණි.
සුජීව දිසානායකයන්ට මා කෘතවේදීත්වය පළ කළ යුතු හේතු කාරණා කිහිපයක් වෙයි.
1994 දී ලේක්හවුසියට මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් පළමුවැනියා වී පූර්ණකාලීන පුවත්පත් කලාවේදියෙක් ලෙස නවයුගය කර්තෘ මණ්ඩලයට බැඳුණු මම ඉන් වසර එකහමාරකට පමණ පසු පූර්ණකාලීන විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් රැකියාවෙන් ඉල්ලා අස් වුණෙමි. ඒ උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යළිත් සේවයේ පිහිටුවන බවට ලේක්හවුස් පාලනාධිකාරියෙන් ලද ලිඛිත සහතිකයක්ද සමගිනි. ස්වර්ණ මුද්‍රිකාවද සමගින් සිංහල හා ජනසන්නිවේදන අංශයේ විශිෂ්ටතම ප්‍රතිඵලය ලෙස උපාධිය සම්පුර්ණ කර ආපසු පැමිණියද එවකට පැවති පාලනාධිකාරිය මා යළිත් සේවයේ පිහිටුවීමට කටයුතු නොකළේ මා හට දේශපාලන පසුබිමක් නොතිබුණු බැවිනි. ඒ මොහොතේ මා පිහිටට පැමිණි සුජීව, ලේක්හවුසියේ සභාපති ලූෂන් රාජකරුණානායකට කතා කොට මා යළිත් සේවයේ පිහිටුවූවා පමණක් නොව, ඔහු කර්තෘ ධූරය දැරූ සිළුමිණට මා බඳවා ගෙන මා හට සංස්කරණය කිරීමට පිටුවක්ද වෙන් කර දුන්නේය.
‘මල්ලි මං ඇත්ත පත්තරේ කෑලි ගාණට වැඩ කරන කාලේ උඹලගෙ තාත්තා මට හුඟක් උදව් කළා ලියන්න දේවල් සපයල දීල. ඉතිං මාත් උඹලගෙ තාත්ත වෙනුවෙන් මොනව හරි කරන්න එපැයි’ යනුවෙන් පවසා ඔහු සිළුමිණ කර්තෘ මණ්ඩලයේ මට වෙන් කළ මේසය කරා මා කැඳවාගෙන ගිය අයුරු මට අද මෙන් මතකය.
මා සිළුමිණ පුවත්පතේ සේවය කරමින් සිටින අතරතුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට අයදුම් කරන ලදුව එහි සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් ලද්දෙන් දිනක් උදෑසන ලේක්හවුසියේ කිසිවකුටත් නොදන්වා සම්මුඛ පරීක්ෂණයට ගොස් පැමිණියෙමි. එවකට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ධූරය දැරූ මහාචාර්ය ජගත් වික්‍රමසිංහ සුජීව සමග එකට වීදි සටන් කළ වාමාංශිකයෙකු බව මම දැන නොසිටියෙමි. එක වරම සුජීව මට ඔහුගේ කර්තෘ කාමරයට එන්නැයි කැඳවීමක් කළෙන් මම එහි ගියෙමි.
‘කොල්ලො උඹ අපිව දාල යන්න නේද හදන්නේ?‘
සුජීව මතු කළ පැනයෙන් මම අන්දුන් කුන්දුන් වීමි.
‘මට දැන් ජගත් කතා කරල උඹ ගැන අැහුවා. මම උඹ ගැන හොඳ රෙකමදාරුවක් දුන්නා. අන්න උඹේ ලෙක්චරර් වැඩේ හරි.’
සාමාන්‍යයෙන් පුවත්පත් කන්තෝරුවක් තුළ පවතින අනන්ත අප්‍රමාණ කැපිලි කෙටිලි පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ මා හට සුජීව මා කථිකාචාර්ය ධූරයකට රෙකමදාරු කර තිබීම අදහා ගත නොහැක්කක් විය.
සිළුමිණ ප්‍රාදේශීය මුද්‍රණය නිකුත් කරන සිකුරාදා රාත්‍රියත්, නාගරික මුද්‍රණය නිකුත් කරන සෙනසුරාදා රාත්‍රියත් සුජීව වැඩිපුරම ගත කළේ ප්‍රෙස් ක්ලබ් එකේය. එවකට ඔබ්සර්වර් කර්තෘ වූ දිවංගත අජිත් සමරනායකත්, සිළුමිණ අාරක්ෂක වාර්තාකරු ප්‍රසන්න ෙෆාන්සේකාත්, දේශපාලන තීරු රචක මෙන්දක අබේසේකරත්, සිළුමිණ මාධ්‍යවේදී කිවිවර නන්දන වීරසිංහත්, කාටූන් ශිල්පී තිස්ස හේවාවිස්ස හා කාර්යාල කාර්ය සහායක ඉන්ද්‍රජිතුත්, මාත් ඔහුගේ කණ්ඩායමේ සෙසු නිත්‍ය සාමාජිකයෝ වීමු. මදිරා මතින් පමණ ඉක්මවූ දිනක ඔහු අප සැවොම (අජිත් සමරනායකයන් හැර) ඔහුගේ වොල්ක්ස්වැගන් රථයේ පටවාගෙන සිය නිවසට රැගෙන යයි. සාලයේ තැන තැන වැතිර නිදන අපි, උදෑසන සුජීවගේ ප්‍රිය බිරිඳ උයා තබන කිරිබතින් සප්පායම් වී ඔහුගේම වොල්ක්ස්වැගන් රථයේ නැගී යළිත් වැඩට එන්නෙමු.
යුද්ධය පැවති වකවානුවේ මායිම් ගම්මාන ආශ්‍රිත පාසල් තෝරා ගෙන සිළුමිණ පුවත්පත අනුග්‍රහයෙන් සාහිත්‍ය වැඩමුළු පැවැත්වීමේ වැඩසටහනක් එකල සුජීව ආරම්භ කළේ දිවයිනේ ප්‍රකට සාහිත්‍යධරයන්ගේද සහභාගිත්වය සහිතවය. ඒ සෑම වැඩසටහනකටම ඔහු මා කැටිව ගියේය. එවන් ගමන්වලදී කළ කී දෑ මා මෙහිම වෙනත් තීරුවක ලියා ඇති හෙයින් යළි නොලියමි.
ලේක්හවුසියට අා පසු ඔහුගේ පුවත්පත් කලා භාවිතයට සීමා වැටුණත්, අාණ්ඩුවේ දූෂණ හෙළි කිරීමට ඔහු පෝද්දල ජයන්ත, ප්‍රසන්න ෙෆාන්සේකා වැන්නවුන් නිරන්තරෙයන් දිරිමත් කළේය. ඔහු ඔවුන් ලියූ ගවේශනාත්මක ලිපි හේතුවෙන් දෙවරක්ම රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වලටද ලක් විය. එහෙත් කිසිවිටෙකත් ඔහු ප්‍රවෘත්ති රචකයා හෝ ප්‍රවෘත්ති මූලාශ්‍රය පාවා දුන්නේ නැත. ඒ හේතුවෙන් ඔහුව අවසානයේ පාලනාධිකාරිය විසින් සිළුමිණ කර්තෘ ධූරයෙන් වෙනත් අංශයකට මාරු කර හරින ලද්දේය.
2001 අාණ්ඩු පෙරළියත් සමග සුජීව වැඩ තහනමට ලක් විය. ඔහු පොත් පරිවර්තන කාර්යයට අත ගැසුවේ ඉන් අනතුරුවය. වැඩ තහනමට ලක්ව සිටි කාලයේ දිනක් මම ඔහුව බලන්නට ගියෙමි. ඔහු එ් පිළිබඳව මහත් සතුටෙන් ප්‍රසන්න හා මෙන්දක සමග පවසා අැති බව පසුව මට දැනගන්නට ලැබුණි. පසුගිය කාලයේ ඔහු පරිවර්තන විශාල සංඛ්‍යාවක් සිදු කළේය. එ්වා මට කියවන්නට නොලැබුණෙන් එ්වායේ ගුණ දොස් විචාරන්නට මට අවකාශයක් නොලැබිණි.
අකාලයේ මෙළොව හැර ගිය සිය නව යොවුන් වියේ හුන් දියණිය පිළිබඳව ඔහු එකල බොහෝ සෙයින් කම්පිතව හුන්නේය. එහි වේදනාත්මක කැළැල් ඔහුගේ සිරුරෙහිද හදවතෙහිද නිරන්තරව රැඳී තිබුණේය.
සත් වසරකට පෙර ලංකාවෙන් නික්ම අා පසු මට එක් වරක් හෝ ඔහු මුණ ගැසෙන්නට හෝ අඩුම තරමින් දුරකතනයෙන් ඔහු හා කතා කරන්නට හෝ අවස්ථාව නොලැබුණි. මා බලාපොරොත්තු වූයේ ලබන වසරේ දීර්ඝ නිවාඩුවකට ලංකාවට ගිය කල්හි ඔහු හමුවී පරණ මතකයන් අලුත් කර ගන්නටය. එහෙත් ඊට පෙර ඔහු අප අතරින් නික්ම ගොස් ඇත්තේය.
සුජීව ඔබ මිය පරළොව ගිය බව මම නොඅදහමි. අපට පෙර ඔබට අජිත් සමරනායකන් සමග නැවතත් දිව ඔසු පැනින් සැනහෙන්නට අාරාධනයක් ලද බව පමණක් හඟිමි!
© තිළිණ රුවන් මලලසේකර
2014 නොවැම්බර් තිස් වැනිදා
සිඩ්නි නුවර දී ය෴