Saturday, April 27, 2024

ජනාධිපතිවරණයේ පුංචි වමේ සිහින ලෝක

(ලංකාව වැනි ජනසමාජයක ‘උන් සහ අප’ අතර තව බොහෝ සමාජ ස්ථරයන් සහ මතවාදයන් ඇති බව නව වම.)

ලංකාව වැනි ජනසමාජයක ‘උන් සහ අප’ අතර තව බොහෝ සමාජ ස්ථරයන් සහ මතවාදයන් ඇති බව නව වම.

රංජිත් හේනායකආරච-

අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකුද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා දේශපාලනය කරන අයෙකු රටතුල ඇත්නම් ඔහු දේශපාලන අඳබාලයෙකු විය යුතුය.

ඒ තරමටම රාජපක්ෂ කල්ලිය රාජ්‍ය බලය තම කල්ලියේ මැර බලය බවට පත්කරගෙන ඇත්තේ රහසින් සැඟවී නොවේ. ඔවුන් මෙම ක්‍රියාවන්හි යෙදෙන්නේ ප්‍රසිද්ධියේමයි. සමහර අවස්ථාවන්වලදී මෙම කෘර ක්‍රියාවන් චිත්‍රපටිවල එන රඟපෑම් මට්ටමකට විශ්වාස නොකළ හැකි තරම්ය. නමුත් ඒවා මේ මහ පොලොවේ සත්‍යය වන අතර රාජපක්ෂ කල්ලිය තමන්ගේ මේ අධම ‘වීර ක්‍රියාවන් ‘ සියළුම මාධ්‍යන් මගින් ප්‍රසිද්ධියට පත්කරනු ලබයි. එතුලින් ඔවුන් බිය සමාජ ගත කරන අතර අපට එරෙහිව එන්නේ නම් ඕනෑම ජගතෙකුට හිමිවන්නේ මේ ඉරණම බව නොකියා පවසයි.

රටේ වැඩිදෙනෙකු මේ දෙස තුෂ්නිම්භූතව බලා සිටිද්දී තවත් කොටසක් ඒහා සම්බන්ධ වී එහි කොටස් කරුවන් වන්නේ ස්ව කැමැත්තෙන්මය. නමුත් ඉතා සුළු කණ්ඩායමක් පමනක් මේ කල්ලියේ මෙම දුර්ධාන්ත වැඩවලට එරෙහිවන අතර මේ රටට ඔවුන් විසින් කරන හානිය පිළිබඳව, එහි ප්‍රජාතන්ත්‍ර අයිතීන් විනාශ කරන ආකාරයට සහ ඒකාධිපති වියරුවට එහෙරිව තම හඬ අවධි කරවනු ලබති. මේ ටික දෙනාට රට තුල සිටින වමේ කොටස් ද අයිතිය. මෙම කල්ලියට එරෙහිව හඬ අවධි කළ බොහෝ දෙනෙකුට තම ඔලුගෙඩි පලා ගන්නට සිදුවූ අතර සමහරුනට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුකරවනු ලැබීය. මේ තත්වයන් තුල තවත් කොටසක් අපහසුවෙන් දත්මිටි කාගෙන තම හැඟීම් යටපත් කර ඉවසා ගැනීමට පුරුදු කරවනු ලැබේ.

කෙසේ වුවත් රාජපක්ෂ කල්ලිය විවේචනය කළ අය පොදුවේ ඉදිරිපත් කළ විවේචන වූයේ මෙම බලයේ සිටින කල්ලියේ ගෝත්‍රවාදී බව, ඒකාධිපති ෆැසිස්ට්වාදී බව සහ සීමාවක් නැති දූෂනයන් තුලින් රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය කිරීම වැනි දුර්ධාන්ත ක්‍රියාදාමයන් ගැනයි. මේ අද පවතින රාජපක්ෂ කල්ලියේ බලය අනිසිලෙස යොදා ගැනීම පිළිබඳව මේ රටේ නිදහස් දේශපාලන මතයක් දරණ සෑම පුද්ගලයෙකුගේම පාහේ දරන මතයයි.

නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට ඇති පොලීසිය කුලියට මිනී මරන කුලී මිනීමරුවන් බවට රාජපක්ෂලා විසින් පත්කරනු ලැබ ඇත. ජ: ම: කියනවිට තාලයට දැක්කිය හැකි මීහරකුන් බවට අධිකරණය පත්කර ඇති රාජපක්ෂ කෙවිට අතේ තබාගෙන ඔවුන් දක්කනු ලබයි. සෑම රජයේ ආයතනයක්ම තම හෙංචයියලා අතට පත්කර ඔවුන්ගේ සිතැඟි පරිදි ඒවා ගසා කෑමට ඉඩ හරමින් දූෂනයෙන් පිරි ආයතන පද්ධතියක් රටතුල ඇතිකර හමාරය. රාජපක්ෂ කල්ලියේ හෙංචයියලා හමුදාවන්හි ඉහළ නිලතලවලට පත්කර හමුදාවන් ඔවුන්ගේ පවුල් බලය රැකීමට පවතින මෙවලම් බවට පත්කර හමාරය. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය මෙන්ම මිනිස් අයිතීන් යන වචන පවා ඔවුන්ට ‘ගැරඩියාට බූමිතෙල් මෙන්’ වී ඇත.

මේ ඉහත කාරණා මා පෙන්වූයේ රාජපක්ෂ කල්ලිය ලංකා රාජ්‍යයට හා රටට කර ඇති විපත මෙන්ම එහි ප්‍රමාණය හුවා දැක්වීමටයි. ඔවුන්දේ ඒකාධිපති වියරුව නිසාම ඇතිකර ඇති අර්ධ ෆැසිස්ට් ක්‍රියාදාමයන් දෙස බලන විට මහින්ද නැවත වතාවක් බලයට ඒම තුල ඔවුන් තම උද්දාමයේ සීමාව ඉක්මවා යන උමතු තත්වයකට පත්වනවා නොඅනුමානයි. එනිසාම ඔවුන් ලංකා රාජ්‍ය පූර්ණ ෆැසිස්ට් රාජ්‍යක් බවට තම බලය වර්ධනය කිරීම කරන බවද නොඅනුමානයි. එසේ නම් මේ ෆැසිස්ට් බලවේගය වහාම නවතා දැමිය යුතු විනාශකාරී ප්‍රධාන බලවේගය බව අප කිසිවෙකුට තර්ක විතර්ක නොමැති යැයි මම සිතමි.

අපට ඉතා ඉක්මනින් කිරීමට ඇත්තේ ෆැසිස්ට්වාදයට එරෙහිව එක්කර ගත හැකි සියලුම බලවේගයන් එක පෙරමුණකට ගොනුකරගෙන මෙම විනාශකාරී ෆැසිස්ට්වාදී වර්ධනය පරාද කිරීමයි. ඒ සඳහා අපට, අප කැමති වූවා හෝ නොවූවා, දක්ෂිනාංශික කොනේ සිට වාම කොන දක්වාම සෑම පාහේම දේශපාලන බලවේගයන් සමග එක පෙරමුණකට පැමිණීමට තත්වයන්විසින් බලකර ඇත. එසේ කළ යුත්තේ මේ සකසා ඇති අර්ධ වැඩවසම් අර්ධ ෆැසිස්ට් රාජ්‍ය ව්‍යුහය පැරදවීමට අවශේෂ ක්‍රමයක් නොමැති බැවිනි. යුගයේ ක්ෂණික උවමනාව මොනයම්ම බලවේගයන් හෝ සමග එක්වී මෙම ෆැසිස්ට්වාදී බලය පැදරදීමය. එතනින් එහා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුකර ගැනීමට සහ අයිතීන් දිනා ගැනීමට එම බලවේගය තුලම ප්‍රගතිශීලී බලවේගයන් දිගින් දිගටම කරන අරගල උද්ඝෝෂණ සහ බලපෑම් තුලින් දීර්ඝකාලීනව ලඟාකර ගත යුතුව ඇත.

අද වන විට පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රී නම්කර ඇත්තේ පැතිරුණු විරුද්ධ පක්ෂ සහ කණ්ඩායම් විශාල ප්‍රමාණයක එකතුවක් තුලින් පුළුල් පෙරමුණක් අයුරිනි. ඇත්තෙන්ම මෙය වියයුතු දෙයයි. එයට සහාය දී ඒ වාගේම එහි ක්‍රියාත්මක කොටස්කාරයින් වීම වම, වම නම් මේ අවස්ථාවේ ඔවුන් සතු යුතුකමයි. නමුත් ඊයේ වන විට ‘වම’ නියෝජනය කරන කණ්ඩායම් සහ පක්ෂ ගණනාවක් එක්වී වමෙන් වෙනම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනු දැකිය හැකි විය. ඇත්තෙන්ම අපේ කාර්ය විය යුත්තේ මේ ෆැසිස්ට් බලය පලවා හැරීම නම් ඒ සඳහා පොදු එකතුවක් පවතිද්දී එයට සාපේක්ෂව තවත් වමේ පොදු අපේක්ෂකයෙකු දැමීම තුලින් සිදුවන්නේ මේ ෆැසිස්ට්වාදයට එරෙහි බලවේගයන් බිඳ දැමීමක් නොවන්නේද? එතුලින් ප්‍රධාන වාසිය හිමිකර ගන්නේ කවුද? තර්කයකින් තොරව ඉතා සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට වුවද මෙතුලින් මෙම වමේ අපේක්ෂකයා කරනු ලබන්නේ වක්‍රව මහින්ද ඇතුළු මේ ෆැසිස්ට් කල්ලියට සහාය වීමක් බව දැකිය හැක. වමේ සොයුරන්ගෙන් මා ඉල්ලා සිටින්නේ තම ඡන්දය පාවිච්චි කිරීමේදී මේ ගැන සිතා බලා තම ඡන්දය පාවිච්චි කරන ලෙසයි. එසේ නැත්නම් 1929 -1933 අවිධියේ ජර්මනිය තුල සිදුවූවාවක් මෙන් ජර්මන් කොමියුනිස්ට්වරු, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන් සහ තවත් ප්‍රගතිශීලී කණ්ඩායම් එකිනෙකාට එරෙහිව ඇන කොටා ගනිද්දී එතුලින් නාසි බලවේගයක් වූ හිට්ලර්ලා බලයට පත්විය. ඒ ගැන පොත් වලින් කියවා තිබුනාට ප්‍රමාණවත් නොවේ. එම භාවිතාවෙන් ඉගෙන ගෙන එය අප දේශපාලනයට ආදේශ කරගැනීමට අප දක්ෂ විය යුතුය.

මෙම වමේ කණ්ඩායම් ඔවුන් වෙනම තරඟ කිරීමට කරුණු ලෙස ඉදිරිපත් කරනුයේ වමේ පිරිසිදු ක්‍රියාදාමයකින් තොරව නිවැරදි බලවේගයන් බලයට ගෙන ඒමෙන් තොරව පීඩිත පන්තියට ඉන් ප්‍රයෝජනයක් නොමැති බවයි. මේ ෆැසිස්ට් කල්ලිය පැරදවීම පමණක් ප්‍රමාණවත් නැති බව අපිද දනිමු. නමුත් අද ලංකාවේ පවතින්නේ අර්ධ ෆැසිස්ට්, අර්ධ වැඩවසම් ඒකාධිපති බලයක් බව අප අමතක නොකළ යුත්තෙමු. ඔවුනට එරෙහිව හඬ අවධි කරන, ඔවුනට එරෙහිව ජාතීන් අතර සංහිදියාව ගැන කතා කරන, කොටින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කතා කරන අයට ඔවුන් සිදු කරන්නේ ලලිත් -කුගන්ලාට කළ දෙයයි. පෙරටුගාමීන්ට ලලිත්ලා – කුගන්ලා නම් පමණක්ද? බොහෝ විට මේ හැම දෙනෙක්ම කරන ‘අප්‍රේල් විරුවන්’, ’ඉල් විරුවන්’ සැමරීම වැනි ආටෝපයට කරන හුවා දැක්වීම් තුල ඔවුන්ගේ දර්ශනයද හිරවී ඇතිවා මෙනි. ෆැසිස්ට් රාජ්‍යක් පෙරලීම පහසු කාර්යක් නොවන බව මේ සැම කෙනෙකුටම පැහැදිලිව ඇතැයි මම සිතමි. ඒ සඳහා එයට එරෙහි සෑම බලවේගයක්ම, සෑම තනි පුද්ගලයෙකුම එක්කර ගැනීම ඉතා වැදගත්ය. මේ ස්ථාපිත කර ඇති මේ දුර්ධාන්ත බලය පෙරලාදැමිය හැකි වන්නේ එතුලින් පමනි. පූර්ණ ෆැසිස්ට් රාජ්‍යක් තුල කතා කිරීමට, සංවිධානය වීමට තබා වෙනත් මතයක් රහසිගතව දැරීමට ද ඇති අයිතිය අහිමිකරනු ලබයි. සමාජවාදී රාජ්‍යක් ගොඩ නැගීමට සිහින දකින වමේ සොයුරන්ට සමාජවාදය ගැන කතාකිරීමේ වරදට අතුරුදහන්වීමට සිදුවනු ඇත. එනිසා නිදන්නට අවස්ථාවක් දී නැති තැන සිහින දැකීමට සිහින දැකීම විහිළුවක් බව ඔබට නොවැටහෙන්නේද?

වමේ කියා ගන්නා බොහෝ අප පුරුදු වී ඇත්තේ ’එක්කෝ වුන් නැත්නම් අපි ’ යන ආස්ථානයේ සිටිමටයි. නමුත් අප අමතක නොකළයුතු වන්නේ ජන සමාජයක්, විශේෂයෙන්ම ලංකාව වැනි ජනසමාජයක ‘උන් සහ අප’ අතර තව බොහෝ සමාජ ස්ථරයන් සහ මතවාදයන් ඇති බවයි. එය වටහා ගන්නට තරම් බුද්ධියක් නැතිනම් එතැන ඇති වමක් නැත.

වමේ සොයුරනි, අපිත් අපේ වැඩ පෙන්වීමට කියා ඔබ තුලම ඇති කර ගන්නා උද්දාමයකින් සහ වගාඩම්බරයකින් පොදු බලවේගයන් බිඳලෑමට ඉදිරිපත්වීම තුලින් ඔබ කරනුයේ ඔබේ අතින් ඔබේ ගෙල සිඳගැනීම පමණක් නොව තවත් විශාල ජනකායකටද එවැනි ඉරණමක් හිමිකර දීමට මග පෑදීමයි. වමේ අපේක්ෂකයෙකුට ලංකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි යැයි ඔබ සිතන්නේ නම් ඔබ ජීවත් වන්නේ සිහින ලෝකයක විය යුතුය. ‘වමේ අපේක්ෂකයා’, ‘අපිත් මාර වැඩ කාරයො’ ලෙස පොඩි ත්‍රිලක් ගැනීමට ඔබට හැකිය. එය ’අපේ චූන් අපට චූන්’ වැනි ක්‍රියාදාමයකි. මා ජීවත්වන ජර්මනියේ මෙවැනි ක්‍රියාදාමයන් හඳුන්වන්නේ ‘මොල මෛතුන්‍ය’ ලෙසිනි. එයින් හදුන්වන්නේ ඔබ කරන ක්‍රියාවෙන් ඔබේම සතුටක් ලැබුවා වුවත් තවත් කිසිවෙකුට එයින් ප්‍රයෝජනයක් නොමැති බවයි. පුද්ගලික ජීවිතයේදී මෙවැනි ක්‍රියාවන් කිසිවෙකුට හානියක් ඇති නොකලා වුවත් දේශපාලන ක්‍රියාදාමයන් හිදී මෙවැනි ක්‍රියාවන් තුලින් මුළු සමාජ අවස්ථාවක්ම විනාශ කර දමනු ලැබිය හැක. ලංකාවේ පවතින සාමාන්‍ය භාෂාවෙන් ‘කඩේ යාම’ ලෙස හඳුන්වනු ලබන්නේ මෙවැනි ක්‍රියාදාමයන්ය.
මම ඊයේ ලංකාවේ සිටින පැරණි සොයුරෙකුට කතා කලෙමි. 71 කැරැල්ලේදී හැමන්හිල් සිර කඳවුරේ මා සමග එකට සිටි සිරකරුවෙකු වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගූ අවධියේ මීගමුව කොට්ඨාශය බාරව වැඩකළ සොයුරාය. ‘රංජි ජනතා විමුක්ති පෙරමුණ මුළු ඉතිහාසය පුරාවටම කලේ වැරදි තීරණ ගැනීමයි. ඒත් මේ වතාවෙ නම් ඔවුන් ටිකක් නැවැරදි තීරණයක් අරන් තියෙනවා’ කියා ඔහු පැවසූ කියමන තුල විශාල අර්ථයක් අඩංගු බව වටහා ගත හැක. නමුත් ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් වූ කණ්ඩායම එදා ජනතා විමුක්ති පෙරමුණ කිරීමට පුරුදුව සිටි වැරදි තීරණ ගැනීම අද ඔවුන් වෙත පවරා ගෙන ඇති බවක් නොපෙනේද? එසේ වුවත් මට නැවත කීමට සිදුවන්නේ පමා වී හෝ සිතා බලන ලෙසයි. ෆැසිස්ට්වාදය පැරදවීම යුගයේ ප්‍රධාන කාර්ය වන අතර එය තනි බලවේගයකට කළ නොහැකි බවද වටහා ගත යුතුය. ෆැසිස්ට්වාදය පෙරලූ පසු බලයට එන බලවේගය පසුගාමී එකක් විය හැකි නමුත් එතුල කරන අරගල තුල ඔබේ ජයග්‍රහණයන් වෙත ලංවීමට ඉඩක් ඇතිවනු ඇත. නමුත් පූර්ණ ෆැසිස්ට්වාදී රාජ්‍යක් තුල ඔබට හඬ නැගීමට ඇති සියලුම අයිතීන් නිෂේධ වන බව අමතක නොකරන්න. අද අපේ හදිසි කාර්ය වී තිබෙන්නේ මේ පවතින දුර්ධාන්ත, අර්ධ ෆැසිස්ට්, අර්ධ වැඩවසම් බලවේගයන් තවත් වර්ධනය වන්නට පෙර ඒවා පෙරළා දැමීමයි. අද එය එසේ කළ හැකි වන්නේ මෙම බලවේගයන්ට එරෙහි සියළු බලවේගයන් එක තැනකට බලමුළු ගැන්වී එක පොදු අපේක්ෂකයෙකු සමග එකට එක්වීමෙන් පමනි.

Archive

Latest news

Related news