Friday, April 19, 2024

ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්

සුනන්ද දේශප්‍රිය විසිනි-

ගරු ශුද්ධොත්තම පියතුමනි,

ඔබ වහන්සේ  ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස මම මේ ලිපිය ඔබට ලියමි.

මේ විවෘත ලිපිය ඔබ වහන්සේට ලියන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්මි. මිලිටරි ආන්ඩුවක් සමඟ නොබා අත නැහැර සටන් කළ ආජන්ටීනාවේ මායෝ චතුරශ්‍රරයේ නිර්භීත මව්වරුන්ගේ දේශයෙන් පාප් වහන්සේ කෙනෙතු බිහිවීම සතුටට හේතුවක් ලෙස සැලකුවෙමි. එකී මායෝ වතුරශ්‍රරයේ මව්වරුන් මෙන්ම අතුරුදහන් වූ සිය දරුවනට යුක්තිය අපේක්ෂවෙන් නොබා සටන් කරන මව්වරු සහ බිරින්දන් මෙරට ද සිටින බව ඔබ නොදන්නවා විය නොහැකි ය.

නමුත් ඔබ වහන්සේ අපේ ජනාධිපතිවරයා විසින් දේශපාලන මෙවළමක් බවට පත් කර ගෙන සිටීම විසින් දැන් එම සතුට වේදනාවක් බවට පත්ව තිබේ.

දරුණු මිලිටරි පාලනයකට යටත්ව තිබී ප්‍රජාතන්ත්‍රවාදය කරා පැමිණි දේශයකින් සම්ප්‍රාප්ත වන ඔබ එකී ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම සහ එය දිනා ගැනීමට කැරෙන අරගලය සඳහා වන  ශුද්ධ අයිතිය ද අත්දැකීමෙන්ම දන්නා බව අපි විශ්වාශ කරමු.
අද අපේ දේශය මුහුණ පා සිටිනනේ එවැනි මොහොතකට ය.

An presidential election campaign poster in the Kochchikade area of Colombo features Pope Francis and President Mahinda Rajapaksa (Photo by ucanews.com)
An presidential election campaign poster in the Kochchikade area of Colombo features Pope Francis and President Mahinda Rajapaksa (Photo by ucanews.com)

අප වෙනසක එළිපත්තට පැමිණ සිටිමු. එනම් ජනාධිපතිවරණයකි. නමුත් රටපුරා සවිකර ඇති දැවැන්ත ප්‍රචාරක පුවරු අපට කියන්නේ ඔබ වහන්සේ සිටින්නේ අනෙක් පැත්තේ බව ය. එම ප්‍රචාරක පුවරුහි ඇත්තේ ඔබ සහ ශ්‍රී ලංකා ජනාධිපති සිනහමුසුව සිටින ජායාරෑපයකි. එහි කියැවෙන්නේ ශුද්ධොත්තම පියතුමාගේ ආශීර්වාදයෙන් රාජපක්ෂ යළි ජනාධිපති බවට පත් වන බවය.

අහෝ! කොතරම් පාපකාරි ප්‍රකාශයක් ද?

2015 ජනවාරි 08 වනදාට යෙදී ඇති එලඹෙන ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවෙ පැවැත්වෙන අඩුම ප්‍රචාරක කාලසීමාවක් ඇති ජනාධිපතිවරණය බවට පත් වී තිබේ. කණගාටුවට කාරණය නම් මෙම දේශපාලන උගුල ක්‍රියාවට දැමෙන්නේ ඔබ වහන්සේගේ නාමයෙන් වීම ය. මෙරටෙහි තීරණාත්මකම දේශපාලන තීන්දුව ගැනෙන්නේ ජනාධිපතිවරණයක දී ය. එවැනි අවස්ථාවක් සඳහා පුරවැසියාට දේශපාලන අවබෝධය ලබා ගැනීම සඳහා නීතියෙන් සළසා ඇති උපරිම කාලය ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලකුණ බව ඔබ වහන්සේ විසින් ද පිළිගන්නවා ඇතැයි සිතමි.

ඉතිහාසගත අඩුම කාලසීමාවකින් පැවැත්වෙන මෙම ජනාධිපතිවරණයට හේතුව ඔබ වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යැයි මැතිවරණ කොමසාරිස්වරයා දැන් නිල වශයෙන්ම ප්‍රකාශ කර තිබේ. ඔබ වහන්සේගේ සංචාරය යෙදී ඇත්තේ  ජනවාරි 13 -15  දාට ය. එවැනි සංචාරයක් යෙදි නොතිබුනේ නම්, මැතිවරණ කොමසාරිස්වරයාට අනුව, අපේ රටේ ජනයාට ජනාධිපතිවරණ සංවාද විවාද සඳහා වැඩි කාලයක් ලබා ගන්නට තිබුණි.

පෙනුමින් ප්‍රජාතන්ත්‍රවාදී වන නමුත් ශ්‍රී ලංකාවේ පවතින්නේ තනි පවුලක පාලනය මත රදා පවත්නා අර්ධ ඒකාධිපතිත්වයක් බව අන්තර් ජාතික ප්‍රජාව පවා දන්නා කරුණකි. මෙයට වසරකට තරම් ඉහතදී ඉදිරිපත් කරන ලද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන්නේ අත්තනෝමතිකත්වය කරා ය. ඔබ වහන්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගරු කටයුතු ලෝක ආයතනයක් ලෙස සළකන බව මම දනිමි. මෙරට සිදු වූ සහ සිදුවෙමින් පවත්නා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ථා ගණනාවක්ම ප්‍රසිද්ධ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයට පෙර එම වාර්තා පිළිබඳ අදහසක් හෝ ඇති කර ගැනීමට ඔබට අවස්ථාව ලැබේවායැයි පතමි.

රාජපක්ෂ පාලනය යටතේ මෙරට ආගමික නිදහස තොලොංචි කර දැමීම ගැන ද එම වාර්තාවන්හි පැහැදිලිව කරුණු දක්වා තිබේ. ක්‍රිස්තු ලබ්දිකයෝ ද අද මෙරට ආගමික නිදහස මර්දනයට ලක්වීමෙන් ඇති බැට කති. ඉස්ලාම් භක්තිකයින්ට එල්ල වන ප්‍රහාර ඉවරයක් නැත.

මෙරට තිබූ ස්වාධීන අධිකරණය අද දේශපාලන ගැත්තන්ගේ පරාදිසයකි. මානව හිමිකම් කොමිසමට පත් කැරෙන්නේ ජනාධිපතිවරයාගේ දේශපාලන අතකොලු ය. අපක්ෂපාතව නීතිය සහ සාමය රුකිය යුතු පොලීසියෙහි දේශපාලකයින්ගේ පා දෝවනය කරන අතවැසියෝ රජ කරති. පොදු රාජ්‍ය මන්ඩලයේ මහ ලේකම්වරයා පවා කියන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ස්වාධීන නැති බවයි. දේශපාලන අධිකාරිය තුලන සහ සංවරණ ලෙසින්  සමබර කැරෙන මෙකී සියළු ආයතන අද මෙරට ජනාධීපතිවරයාගේ අභිමතයට යටත් ය‍.

කිව යුතුම තවත් කරුණක් තිබේ. එනම් මෙරට ජනමාධ්‍ය සහමුලින්ම වාගේ අර්ධ ඒකාධිපති රාජපක්ෂ පාලනය යටතේ ඇති බව ය. මහා ජනයාගේ විසවාදී අදහස් තලා පොඩි කර දමනවා පමණක් නොව ඒවාට ජනමාධ්‍ය යේ කිසිදු ප්‍රචාරයක් ලැබෙන්නේ ද නැත. දේශපාලන විපක්ෂයට හිමිව ඇත්තේ එම සන්තෑසියම ය.

එවැනි රටක තීරනාත්මකම දේශපාලන අවස්ථාවක මහා ජනයා සතු අයිතිය ඔබ වහන්සේගේ නාමයෙන් කප්පාදු කැරෙන විට ශුද්ධෝත්තම පියතුමනි කොතැනක හෝ මහා වරදක් සිදුව ඇතැයි ඔබ නොසිතන්නේ ද?

කියන්න, වැදගත් ඔබ වහන්සේගේ සංචාරය ද? මහා ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අයිතිය ද?

මෙරට සියළු ජනයාට ජනයාට ස්වකීය ජන්ම උරුමයන් වන මානව හිමිකම් භුක්ති විදීමට නම් දේශපාලන වෙනසක් අත්‍යවශය ය. පාලක පක්ෂය හැර අන් සියළු ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ සහ සංවිධාන ද සිවිල් සමාජ කන්ඩායම් ද එක් පිලකට පැමිණ අද එම වෙනස ඇති කර ගැනීමේ උතුම් ව්‍යායාමය නිරත වෙමින් සිටිති. අප ඉතා තිරණාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් සිටින්නේ යැයි මා කලින් කීවේ මෙන්න මේ නිසා ය.

එලඹෙන ජනාධිපතිවරණයෙහිලා විපාක්ෂික බලවේග සතු ප්‍රධාන ප්‍රචාරක අවස්ථාවන් වනු ඇත්තේ විවිධ තලයන්හි කැරෙන මහා ජන ඇමැතිම් ය. ජනාධිපතිවරණ දේශපාලන ප්‍රචාරණ කාළ සීමාව ඉතිහාසගත අයුරින් කප්පාදු කර ඇත්තේ අන්න එම අවස්ථාව විපක්ෂ පොදු ව්‍යාපාරයට නොදී ඇරීමට ය. අහෝ, ඊට හේතුව වශයෙන් යොදා ගෙන ඇත්තේ ඔබ වහන්සේගේ සංචාරය යි.

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ඇති ජනමාධ්‍ය විසින් දැනටමත් ඔහුගේ දේශපාලන ප්‍රචාරය ( ඔබ වහන්සේගේද ආශිර්වාදය ඇතිව!)  මහා පරිමාණයෙන් දියත් කොට තිබේ. ඔබට මෙවැනි අපහාසයක් කළ වෙනත් රාජ්‍ය නායකයෙක් වෙත් ද?

මා ඔබ වහන්සේගෙන්  එක් කරුනක් දැන ගැනීමට කැමැත්තෙමි. පසුගිය ඔත්තොම්බර් 03 දා ජනාධිපති රාජපක්ෂ ඔබ වහන්සේට 2015 ජනවාරි 13-15 දිනයන්හි ශ්‍රී ලංකාවට සැපැත්වන සේ ඇරයුම් කිරීමට පැමිණි අවස්ථාවෙහි, ජනවාරි මාසයෙහි මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඔබට කීවෙහි ද? නැත් ද?

ජනාධිපති රාජපක්ෂ ඔබ වහන්සේ හමුවට පැමිණියේ ජනවාරි මාසයෙහි ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීමෙන් පසුව බව සුප්‍රසිද්ධ රහසකි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට අනුව ජනධිපතිවරණය පැවැත්විය දිනය වශයෙන් ඔහුගේ නැකැත්කරුවන් විසින් ජනවාරි 08 දා  නියම කර තිබූණි. ජනාධිපතිවරණය පවත්න දිනය තමා දන්නේ යැයි රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍ය ඇමැති ප්‍රකාශක රඹුක්වැල්ල ප්‍රසිද්ධියේ කීවේ ජනාධිපති රාජපක්ෂ ඔබ හමුවීමටත් පෙර ය. ගුප්ත බලවේග කෙරෙහි මහත් බියක්  සහ ගරුත්වයක් දක්වන ජනාධිපති රාජපක්ෂ ගේ සුභ අංක වන්නේ 08 යැයි නැකැත්කරුවන් නිගමනය කොට තිබේ.

මා නම් අදහන්නේ ජනාධිපති රාජපක්ෂ ජනවාරි මාසයෙහි ජනාධිපතිවරනයක් පැවැත්වෙන බව  ඔබ වහන්සේට නොකී බව ය. එමගින් ඔහු ඔබට වංචාවක් නොකලේ ද?  ඔහු එසේ නොකීවේ ඔබ උගුලකට හසු කර ගැනීමට ය.

වැරදිමකින් හෝ එසේ කීවේ නම් ඔබ වහන්සේ මෙම සංචාරය කල් දැමිය යුතුව තිබුණි. දැන් ඔබ උගුලට හසු වී හමාරය. ඊට අර්ධ ඒකාධිපති රාජපක්ෂ සමඟ එක පතේ වළදන ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානීන්  ද වග කිව යුතු ය‍. ඔබගේ රටෙහි ද දස දහස් ගනනින් මහා ජනයා ඝාතනය කළ මිලිටරි පාලනය වෙනුවන් යාඥාකළ නිවට  ආගමික නායකයින් නොවීද?

කිසිදු ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ඔබ වහන්සේ රටක සංචාරය නොකරන්නේ ය යන පිළිවෙත ඇමක් ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ මහා ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය හකුළා දැමිමට එනම් ජනවාරි 13 දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට රාජපක්ෂ පාලනය යෙදූ කූටෝපායට ශුද්ධෝත්තම පියතුමනි, ඔබ හසුවී ද? නැත්නම් මෙරට රාජපක්ෂවාදී කතෝලික ප්‍රධානීන් විසින් හසු කළේ ද?

ශ්‍රී ලංකාවේ දේශපාලන භාෂාවෙන් කියන්නේ නම් ජනාධිපති රාජපක්ෂ කලේ ඔබ වහන්සේ ඔහු වෙනුවෙන් කඩෙ යැවිම ය. ඔහු ඊට ගජ හපනෙකි. ටික කළකට පෙර දකුණු අප්‍රිකානු උප ජනාධිපති කඩේ යැවූ ඔහු දැන් කඩේ යවන්නේ (මට සමා වුව මැනව) ශුද්ධොත්තම පියතුමා ය.

ජනාධිපති රාජපක්ෂට අවශ්‍ය නම් ඔබ වහන්සේගේ සංචාරයට ඉතා සංසුන් පරිසරයක් ශ්‍රී ලංකාවෙහි නිර්මානය කිරීමට ඕනැවටත් වඩා අවස්ථා තිබුණි. ජනාධිපතිවරණය කල් දැමිය හැකිව තිබුණි. ඔබ සංචාරයට හුදෙක් දින පහකට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණය නීතියෙන් නියම කරන ලද එකක් නොව රාජපක්ෂ මහතාගේ නැකැත්කරුවන් සමඟ එක්වී  විසින් තීරණය කරන ලද එකකි.  තවත් දෙවසරක දුර කාලයක් තිබියදී ඔහු මෙම ඉක්මන් ජනාධිපතිවරණ තීරණය ගන්නා ලද්දේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී හිතැති විපාක්ෂික මහා ජනයාගේ දේශපාලන ප්‍රචාරණයේ අයිතිය කප්පාදු කර සිය බලය තව දුරටත් අනීතික ලෙස පවත්වා ගනු පිනිස ය.

දැන් එම කප්පාදුවට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔබ වහන්සේගේ සංචාරය යි. මේ වනාහී සමා කළ හැකි පවක්  දැයි පියතුමනි, මම නොදනිමි.

Archive

Latest news

Related news