බාලදක්ෂ මාවතේ ජනාධිපති ලේකම්කර්යාලයේ වාහන ගාල සහ රාජ්‍ය ආරක්ෂාවට, පුද්ගලිකත්වයට මුවා වී මහජන දේපළ තොරතුරු සැඟවූ හැටි

  • බාලදක්ෂ මාවතේ ජනාධිපති ලේකම්කර්යාලයේ වාහන ගාල: දේශපාලන ප්‍රකාශ සහ ලේඛනගත සත්‍යය
  • රාජ්‍ය ආරක්ෂාවට, පුද්ගලිකත්වයට මුවා වී මහජන දේපළ තොරතුරු සැඟවූ හැටි
  • කොමිසමේ නියෝගය හමුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දෙන්න වෙයි
  • පුද්ගලික තොරතුරුද? රාජ්‍ය වගවීමද? කොමිසම ලබාදුන් ඓතිහාසික තීන්දුව

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි.

2024 වසරේ ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය වෙනස් වීමත් සමඟ මහජන අවධානයට දැඩිව යොමු වූ කරුණක් වූයේ රාජ්‍ය වාහන අවභාවිතයයි. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ගාලු මුවදොර ආසන්නයේ බාලදක්ෂ මාවතේ ගාල් කර තිබීම සමාජය තුළ දැඩි කතාබහක් සහ දේශපාලන කතිකාවක් නිර්මාණය කළේය. මෙම වාර්තාව මඟින් එවකට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු වූ (වර්තමාන අමාත්‍ය) වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අනාවරණය වූ ලේඛනගත සාක්ෂි අතර ඇති සබඳතාවය විමර්ශනය කෙරේ.

2024 ජනාධිපතිවරණයෙන් පසුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු   2024 සැප්තැම්බර් 25 දින හෝ ඒ ආසන්න දිනක දී  බාලදක්ෂ මාවතේ සිට මාධ්‍ය ඇමතූ වසන්ත සමරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව තියෙන ගෝල් ෆේස් ඉදිරිපිට බාලදක්ෂ මාවතේ නවතා ඇති වාහන නැවතුම්පොළ මේ වාහන නවත්වන්න ඕන නිශ්චිත තැන නෙවෙයි… අපේ රටේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති උනාට පස්සේ මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවත්වල තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා, ඒ හේතුව තමයි මෙතෙක් කල් අපේ රටේ මහජන දේපල පාවිච්චිවෙලා තියෙන හැටි තමයි මේ… ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්, අපි අහනවා හිටපු ජනාධිපතිවරුන් මේ වාහන ගිලලද ගියේ… ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතයක් සම්බන්ධ එක සාක්ෂියක් තමයි මේ ඔබ දකින්නේ.”

කෙසේ නමුත් වසන්ත සමරසිංහ විසින් මේ ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයත් එහි ඇති සැබෑ සත්‍යයත් සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් 2024 නොවැම්බර් මස 12 දිනැතිව, 2025 ජනවාරි 29 දිනැතිව හා 2025 ජූලි 14 දිනැතිව අවස්ථා තුනකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්වරුන් ඇතුළු කාර්යමණ්ඩල භාවිත කරන ලද වාහන මෙන්ම කාර්යමණ්ඩල තොරතුරු හා වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල තොරතුරු හා ඔවුන් වෙනුවෙන් ලබාදී ඇති වාහන ඇතුළු තොරතුරු  ඉල්ලා සිටියත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  2025 ජනවාරි 29 දිනැතිව හා 2025 ජූලි 14 දිනැතිව සිදුකරන ලද තොරතුරු ඉල්ලීම්වලට අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර සිටින ලදී.

නමුත් 2024 නොවැම්බර් මස 12 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකළ තොරතුරු ඉල්ලුම්පත්‍රයට  අදාළ තොරතුරු ද නියමිත කාල වකවානුවේදී ලබා නොදීම හේතුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම වෙත අභියාචනා කරනු ලැබීමෙන් අනතුරුව 2025 ජනවාරි මස 22 දිනැතිව ලිපි අංක PS/RTIA/11/2024/66 යටතේ   අදාළ තොරතුරු ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කරන ලදී.

නව රජය පත්වීමෙන් පසු ගාලු මුවදොර ආසන්නයේ බාලදක්ෂ මාවතේ ගාල් කර තිබූ වාහන 47ක් සම්බන්ධයෙන්  සමාජය තුළ දැඩි කතාබහක්   සහ දේශපාලන කතිකාවක් නිර්මාණය කෙරුණේ එම වාහන නියමිත පරිදි නියමිත තැන ගාල් නොකර දමා ගොස් ඇති බවට ඒ වනවිට වර්තමාන රජයේ අමාත්‍ය වරයෙකු වන වසන්ත සමරසිංහ විසින් මාධ්‍යට කරන ලද ප්‍රකාශයත් සමඟය. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව තහවුරු වුයේ එම සියලු වාහන නිත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ ජානාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදී ඇති බවයි. එම පිළිතුරේ සඳහන් වුයේ

‘’2024 සැප්තැම්බර් 23 දින ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ගෝල්ෆේස් පිටියට ගෙනවිත් දමා යෑමක් සම්බන්ධයෙන් කරුණු නිරීක්ෂණය නොවන බවත්, ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය අවසන් වීමත් සමඟ ජනාධිපති ධූර කාලයට පමණක් සීමාවන සේ පත්වීම් ලද නිලධාරීන්ගේ ධූර කාලය ද අවසන් වන බැවින් ධූරය අවසන් වීමත් සමඟ වාහන හිමිකම සහිත නිලධාරීන් සඳහා අනුයුක්ත කර ඇති වාහන ක්‍රමානුකූලව නැවත ජනාධිපති කාර්යාලය වෙත භාරදීමක් සිදු විය යුතු බවත්, ඒ අනුව එම නිලධාරීන් විසින් නැවත ජනාධිපති කාර්යාලය වෙත එම නිල රථ විධිමත් පරිදි භාරදීමට කටයුතු කර ඇති අතර එම වාහනවලින් කොටසක් හා ජනාධිපති කාර්යාලයේ පවතින රාජකාරිවලට අනුයුක්ත වාහන වලින් කොටසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන අංශය සතු සියලු වාහන නවතා තැබීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන අංශය විසින් වාහන 47 ක ප්‍රමාණයක් බාලදක්ෂ මාවතේ පැරණි ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා තිබූ භූමියේ තාවකාලිකව ගාල් කර තැබීමට කටයුතු කළ බවත් කාරුණිකව දන්වමි ‘’ යනුවෙනි.

එමෙන්ම උක්ත වාහන 47 අතරින් වාහන 16ක ප්‍රමාණයක් එම වාහනවල පරම හිමිකාරිත්වය ඇති අමාත්‍යංශය/ ආයතනය වෙත නැවත පවරා දීමට කටයුතු කර ඇති අතර, අංක 22/99 හා 1999.10.08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව නිල වාහන පහසුකම හිමි නිලධාරීන් සඳහා වාහන ලබා දීමට කටයුතු කර ඇති බවත්, දැනට ජනාධිපති කාර්යාලයේ කාර්යාලයීය නිල රාජකාරී සඳහා භාවිත කරනු ලබන අතර රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ අනුව කටයුතු කිරීමට නියමිත බවත්  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් පිළිතුරෙහි සඳහන් විය.

තොරතුරු ප්‍රතික්ෂේප කිරීමේ ද්විත්ව ස්ථාවරය

2025 ජනවාරි 29 සහ ජූලි 14 යන දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු අතරින් බහුතරයක් ලබාදීම, “පුද්ගලිකත්වය” සහ “ජාතික ආරක්ෂාව” යන කරුණු පදනම් කරගනිමින් ප්‍රතික්ෂේප විය. එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රතික්ෂේප කරන ලද්දේ:

වත්මන් (09 වන විධායක) ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට බඳවාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව, ඔවුන්ගේ තනතුරු ,ලබාදී ඇති වාහන හා අංක ඇතුළු  විස්තර මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු නැවත භාරදුන් වාහන, වෙනත් ආයතන හෝ අමාත්‍යාංශ වෙත ලබා දී ඇති පදනම සහ එම වාහනවල අංක ඇතුළත් විස්තර.

ජනාධිපති ලේකම් කාර්යාලය 2025 මැයි 15 දිනැති PS/RTIA/11/2025/06 දරන ලිපිය මඟින් මුලින් කියා සිටියේ මෙම තොරතුරු, පනතේ 5(1)(අ) වගන්තිය ප්‍රකාරව “පුද්ගලික තොරතුරු” බැවින් ලබා දිය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත කළ අභියාචනා (අංක: RTIC/Appeal/405/2025) විභාග වෙමින් පවතිද්දී, පොදු අධිකාරිය සිය ස්ථාවරය හදිසියේ වෙනස් කළේය. ඒ අනුව, අදාළ තොරතුරු ලබාදීම පනතේ 5(1)(ආ)(i) වගන්තිය යටතේ “රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්” බව පවසමින් ඔවුන් දෙවන වරටත් තොරතුරු හෙළිදරව් කිරීම මඟහැරීමට උත්සාහ කළහ.

කෙසේ වෙතත්, 2026 ජනවාරි 13 දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ තොරතුරු කොමිසම අවධාරණය කළේ, පොදු අධිකාරිය දක්වන එම ස්ථාවරය පිළිගත නොහැකි බවයි. මෙරට බදු ගෙවන පුරවැසියන්ගේ මුදලින් නඩත්තු වන කාර්ය මණ්ඩල විස්තර සහ වාහන අංක ලබාදීමෙන් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්, ප්‍රමුඛතම පොදු අධිකාරියක් ලෙස ජනාධිපති කාර්යාලය මහජනතාවට වගකීමට බැඳී සිටින බවත් කොමිසම සිය නියෝගයෙන් තහවුරු කළේය.

මෙම ක්‍රියාවලියම වත්මන් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කර ඇති වාහන විස්තර (නම, තනතුර සහ වාහන අංක) ඉල්ලා සිටි අවස්ථාවේදී ද දක්නට ලැබුණි. එහිදී ද “පුද්ගලිකත්වය” හුවා දක්වමින් තොරතුරු ප්‍රතික්ෂේප කළ ද, කොමිසම විසින් 2026 ජනවාරි 29 දින ලබාදුන් අංක RTIC/Appeal/1188/2025 දරන නියෝගය හමුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට එම තොරතුරු මුදා හැරීමට සිදු විය.

මුලින් “පුද්ගලික තොරතුරු” ලෙසත්, පසුව “රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්” ලෙසත් කරුණු දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දැක්වූ මෙම ද්විත්ව ස්ථාවරය හරහා පැහැදිලි වන්නේ, දත්තමය සත්‍යය මහජනයාගෙන් වසන් කිරීමට තිබූ දැඩි උත්සාහයයි.”රාජ්‍ය දේපළ භාවිතය පිළිබඳ විනිවිදභාවය ඉල්ලා සිටින පාලනයක් තුළ, එම දේපළ පිළිබඳ තොරතුරු ලබාදීම ‘රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්’ ලෙස හැඳින්වීම හාස්‍යජනක කරුණකි.”

කිවූ හැටි හා වත්මන් තත්ත්වය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු විශ්ලේෂණයේදී අනාවරණය  වූයේ පෙර පරිදිම ජානාධිපති ලේකම් කාර්යාලය යටතේ ද සැලකිය යුතු කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර ඔවුන් සඳහා අවශ්‍ය වාහන අනුයුක්ත කිරීමේදී ගාලු මුවදොර ආසන්නයේ බාලදක්ෂ මාවතේ ගාල් කර තිබු අතීතයේ “අවභාවිතය” ලෙස හැඳින්වූ වාහන බොහොමයක් වර්තමානයේදී ද ජනාධිපති කාර්යාලය යටතේම ඒ ඒ නිලධාරීන්ගේ භාවිතයට ලබාදී  පවතින බව යි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව විසින් RTIC/APPEAL/405/2025අභියාචනා අංකය යටතේ ලබාදුන් නියෝග අනුව  2026 ජනවාරි 19 දිනැතිව ලිපි අංක PS/RTIA/11/2025/06 යටතේ  ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව හිටපු ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වාහන 68ක ප්‍රමාණයක් නැවත භාර දී ඇති අතර එම වාහන නැවත වත්මන් ආණ්ඩුව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වාහන 57ක් හා ඉතිරි වාහන 11 තවත් රාජ්‍ය ආයතන කීපයකට ලබාදී තිබේ.

එමෙන්ම ඒ අතරින් ඉහතින්  සඳහන් කරනු ලැබූ ගාලු මුවදොර ආසන්නයේ බාලදක්ෂ මාවතේ ගාල් කර තිබී වර්තමාන ආණ්ඩුව යටතේ නැවත ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු තවත් ආයතන කීපයකට ලබාදී ඇත. එම  වාහන  අතර  KX -8220, CAP-9828 , KR-3510 , KO -4470, GE -1748, PH – 3644, PJ – 0809, PJ – 0815, PF – 7306, CAD – 7194, PJ -0797, PJ – 0806, KR – 3962, KU = 9556, KJ – 7542, KQ – 7547, KJ- 3891, CAL – 3016, CAE – 9623, KI – 2903, CAS – 9010, KL – 2769, KI – 3159, KA – 1016, CAE – 7830, PJ – 0800, KO – 4467 …. අංක දරන වාහන ඉන් කීපයකි. අනෙකුත්  වාහනවල අංක සහිත තොරතුරු හා භාවිත කරන නිලධාරීන්ගේ තොරතුරුද මේ ආකාරයෙන්ම තොරතුරු කොමිසමේ නියෝග අනුව  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබෙන බවද පෙන්වාදිය යුතුය.

නීතිමය සහ සදාචාරාත්මක ගැටළු 

රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරි අවශ්‍යතාවය මත තනතුරු අනුව අවශ්‍ය වාහන ලබාදීමේ කිසිදු ගැටළුවක් අපද දකින්නේ නැත. එය කුමන රජයක් පැවතියත් සිදුවිය යුතු දෙයක් වේ. එය හුදෙක් මෙරට පමණක් නොව ලොව ඕනෑම රටක අඩු වැඩි වශයෙන් සිදුවන ක්‍රියාවකි. නමුත් එම වාහන අයුතු  ලෙස භාවිතය වළක්වමින් ජනතා සේවයට, රාජ්‍ය සේවයට පමණක් යොදා ගැනීමට සැලැස්වීම ආණ්ඩුවක වගකීමකි. නමුත් අදාළ වාහන සම්බන්ධයෙන්    වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයෙන් හැඟවුණේ මෙම වාහන කිසිදු වගකීමක් නැතිව පාරේ දමා ගොස් ඇති බව මෙන්ම මිට පසු එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ භාවිතයට නොගන්නා ස්වරුපයක් වේ.  එහෙත් ලේඛන විමර්ශනයේදී පෙනී යන්නේ ඒවා නිල වශයෙන් භාරදී ඇති බවත් නැවත එම වහාන ජානාධිපති ලේකම් කාර්යාලයේ භාවිතයටද ගෙන ඇති බවයි.

විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අප පෙන්වා දෙන්නේ  දේශපාලනඥයන් විසින් ජනතාව තුළ ක්‍රෝධයක් හෝ ද්වේශයක් මෙන්ම නොමඟ යැවීමක් ඇති වන පරිදි කරුණු ඉදිරිපත් කිරීමේදී ලේඛනගත සත්‍යය සමඟ එය සැසඳීම මාධ්‍යයේ වගකීමක් ලෙසය.

විශේෂයෙන්ම 2022 වන විට වාහන 29ක් අතුරුදහන් වී ඇති බවට වන චෝදනාව බැරෑරුම්ය. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව එම වාහන 29 න් 19ක් සම්බන්ධයෙන් මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව හෙළි වේ. මෙය වසර කිහිපයක් තිස්සේ ඇදෙන නීතිමය ක්‍රියාවලියක් මිස 2024 පාලන වෙනසත් සමඟම ඇති වූවක් නොවේ.කෙසේ නමුත් එසේ වාහන අස්ථානගතවීමක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් කොට එම කරනු ජනතාවට අනාවරණය කිරීම ආණ්ඩුවේ වගකීමකි.

රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම පිළිබඳ වත්මන් රජයේ දැඩි ස්ථාවරය අගය කළ යුතු වුවත්, දේශපාලන වාසි තකා කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම නීතිමය වශයෙන් අභියෝගයට ලක් විය හැකි කරුණක් බවද පසක් කළ යුතුය.එමෙන්ම ආණ්ඩුව සම්බන්ධයෙන් සුළු හෝ අසත්‍ය කරුණක්  සමාජ ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සේ නිතිය ක්‍රියාත්මක කිරීමට පෙලබෙන ආණ්ඩුවේ මහජන නියෝජිතයින් විසින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරනවිටදී බිහිරන්සේ සිටීම හාෂ්‍යජනකය.කසේ නමුත් මේ සියලු කරනු මගින් තව දුරටත් තහවුරු කාරන්නේ    බාලදක්ෂ මාවතේ තිබූ වාහන “අතහැර දමා ගිය” ඒවා නොව, රජයේ ක්‍රමවේදය අනුව නැවත භාර දුන් ඒවා බවත් නැවතත් ඒවා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය  ආයතන වල නිලධාරීන්ගේ පරිහරණයට ලබාදී තිබෙන බවයි. කෙසේ නමුත්   ඉදිරියේදී යම් ආකාරයක  වාහන  අවභාවිතයන් වැළැක්වීමට නම් පුද්ගල චරිතවලට වඩා ශක්තිමත් පද්ධතියක් (System) ජනාධිපති කාර්යාලය තුළ පමණක් නොව සමස්ත රාජ්‍ය තුලම ස්ථාපිත කළ යුතු බව අවධාරණය කළ යුත්තකි.

Archive

Latest news

Related news