මෙරට යුද්ධය පැවති අවසන් කාලයේදී හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම නැඟෙනහිර පළාතේ හිටපු මහ ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ඝාතන කණ්ඩායමේ සාමාජිකයෙකු වූ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතී යටතේ කටයුතු කළ දෙදෙනෙකු අත්අංගුවට ගෙන පැය 72ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටී.
වධ කඳවුරක් පවත්වාගෙන යාම සම්බන්ධව සහ නැඟෙනහිර පළාතේ සිදු කළ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යටතේ සේවය කළ වෙඩික්කරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා විමර්ශන ආරම්භ කර තිබිණි.
මේ අතර පසුගිය අප්‍රේල් 08 වනදා හෝ ඒ ආසන්න දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම නැඟෙනහිර පළාතේ හිටපු මහ ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් පසු 2025 ජුලි 06 වනදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගැනීමේ සිදුවීමට අදාළව ඉනිය භාරතී හෙවත් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
ඉන් පසු අගෝස්තු 13 වනදා හෝ ඊට ආසන්න දිනකදි පිල්ලෙයාන් විසින් සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතන සිද්ධීන්වල ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ වනිවට ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර එම පැහැරගැනීම් සහ ඝාතනවලට සම්බන්ධ කණ්ඩායමේ තවත් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබිණි.
කිරාන්හි පදිංචිකරුවන් වන 54 හා 52 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුවන් එරාවුර් අධිකරණයට ඉදිරිපත් කර පැය 72ක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට නියෝගයක්ද ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පිල්ලෙයාන් විසින් 2007 – 2008 කාලයේදී මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මඟින් එම කාලයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාතේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කළ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇතැයිද පැවසේ.

