අනුර කුමාර දිසානායකගේ ජනාධිපති සිය ධුර කාලයෙන් මාස 18ක් ගත කර අවසානය. ඔහුට තව මාස 42ක් තිබේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කේන්ද්‍රය ද සංකේතය ද වන්නේ ඔහුය.
ඔහු යාපනයට ගිය විට වඩා ප්‍රචාරය වන්නේ කොට කළිසමක් හැඳ උදෑසන හිස් පාරක ව්‍යයාමය පිණිස ඇවිදිමත් ඒ අතර අවට නිවැසියන් සමඟ කතා බහ කරන්නට නතර වන හැටිය.
තවත් දවසක සාමාන්‍ය ඇදුමකින් සැරසී කොහේදෝ හෝ යන අතර වාරයෙහි අලුත්ම වීත්ත සහ හැට්ටවලින් සැරසුණ කදුරට තේ දලු නෙළන්නියන් සමඟ සුහද කතා බහක යෙදී සිටින සිනා මුසු මුහුණුය.
පසුගිය 14 දා අප දුටුවේ දිත්වා සුළි කුණාටුවෙන් පිඩා විදි ගැමි පවුලක් සමඟ ජනාධිපතිවරයා අලුත් අව්රුද්ද සමරණ හැටිය. ඔහු එම පවුලේ දියණියගේ අතින් අල්ලා ගෙන සුහද කතා බහත යෙදෙන සැටිය.
දේශපාලන සංකේතමය භාෂාව – අලුත් බොතලයක පරණ වයින්
මේ වර්ගයේ දේශපාලන සංකේතමය භාෂාව අප රටට අලුත් දෙයක් නොවේ.
මෛත්‍රීපාල තාප්ප මත වාඩි වී අහස දෙස බලා ගෙන සිටියේය. වරක් සාමන්‍ය තේ කඩයක තේ බොමින් සිටියේය. යාපනයේ දෙමළ වැසි නිවසක අල්ලාප සල්ලාපයේ යෙදුණේය. රනිල් රජපක්ෂ ගැටවර ගැටවරියන් සමඟ දේශපාල කතා බහක යෙදුණි. එකම වර්ගයේ කලිසම් කමීස හැඳ සිය ගජයා සමඟ ඇවිද යන පින්තූර මාධ්‍යට නිකුත් කළේය. මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළහි දී මහ පොළව සිප ගත්තේය. ප්‍රසිද්ධ රැස්වීම් අතර තුර සූදානම් කළ බිළින්දන් වඩා ගත්තේය.
මේ සිව් දෙනා අතර ඇති පොදු සාධකය නම් බෞද්ධ භික්ෂුන් කොරෙහි ඇති සිය ව්‍යාජ ගරුත්වය ඇත්තක් ලෙස ජායාරූපයට නැගීමේ කලාවයි.
එනමුත් ඇත්ත දේශපාලනය ඊට එහා යන දෙයකි. අනුර කුමාරට ජනයා සිය කැමැත්ත ප්‍රකාශ කළේ ඔහු භික්ෂුන් ඉදිරියෙහි වැඳ වැටෙන නිසා හෝ ඩබල් පොකට් කමීස නිසා හෝ නොවේ.
2022 මෙරට ඇති වූ ජන අරගලයේ අපේක්ෂාවන්හි සංකේතය ලෙස මතුවීමට ඔහු සහ ජාතික ජන බලවේගය සමත් වූ නිසාය. ජාතික ජන බලවේගය බලයට පත් වූයේ 2022 අරගලය විසින් මුදා හරින ලද නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයේ කුණාටුවට සිය රුවල සවි කර ගැනීමට එයට හැකි වූ නිසාය.
පිලිපීනයේ ජන අරගලය මතකද?
අද වයස් ගත අප පරම්පරාව කැළඹූ එවැනි අරගලයක් 1986 දී සිදු විය. ඒ පිලිපීනයේ මාර්කොස් ඒකාධිපතිත්වයට එරෙහි නැගුණු මහා ජන අරගලයයි. එහි ප්‍රතිපලයක් ලෙස කොරසොන් ඇකීනෝ ජනාධිපතිවරිය ලෙස පත්විය. මෙරට රූපවාහිනී තිර මත එම ජනතා නැගිටීම ප්‍රදර්ශනය වූයේ 2022 අරගලය තරම්ම සජීවී ලෙසය.
ඇයගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය කරා යම් දුරකට පිලිපීනය ගෙන යාමට සමත් විය. ඇයගේ පාලනය යහපත් විය. මහජනයා නිදහස භුක්ති විදීමට පටන් ගත්හ. එසේ වුවද සිය වසරකට පසු ඇයට ධුරය අතහැර යාමට සිදු විය.
ඇයගේ පාලන කාලය තුළ හමුදා පිරිස් විසින් රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ උත්සාහයන් 7ක් පමණ සිදු කරන ලදී. මෙයින් 1987 සහ 1989 වසරවල සිදු වූ උත්සාහයන් අතිශය දරුණු වූ අතර, එමගින් රජයේ ස්ථාවරභාවය දැඩි ලෙස සෙලවුණි.
1991 දී පිනාටුබෝ ගිනි කන්ද (Mount Pinatubo) පුපුරා යාම සහ විශාල භූමිකම්පා හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය. මෙය සහන සේවා සැපයීමේදී රජය අපහසුතාවයට පත් කළේය. ඇයට බොහෝ විවේචන එල්ල විය.
1990 දශකයේ මුල් භාගයේදී පිලිපීනය දැඩි විදුලි කප්පාදුවකට මුහුණ දුන්නේය. දිනකට පැය 8-12 දක්වා විදුලිය විසන්ධි වීම නිසා කර්මාන්ත කඩා වැටුණු අතර ජනතාව රජය කෙරෙහි කලකිරුණි.
ඇයගේ පවුලට අයත් “හසෙන්ඩා ලුයිසිටා” වතුයාය සම්බන්ධයෙන් වූ ඉඩම් ආරවුල් සහ ගොවීන්ට ඉඩම් ලබා දීමේ පොරොන්දුව නිසි ලෙස ඉටු නොවීම නිසා ඇයගේ “ජනතා බලයේ” ප්‍රතිරූපයට හානි සිදු විය.
මාකෝස් පාලනයට වඩා වෙනස් වනු ඇතැයි අපේක්ෂා කළද, ඇයගේ පරිපාලනයේ සමහර නිලධාරීන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම ජනතාවගේ විශ්වාසය බිඳවැටීමට හේතු විය.
දැන් අපට ඇකීනෝ වෙනුවට අනුර කුමාර ආදේශ කර යුද හමුදා කුමංත්‍රණ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය, වෛද්‍ය සංගමය, විදුලි ඉංජිනේරු සමිති යනාදිය ආදේශ කළ හැකිය.
පිනාටුබෝ ගිනි කන්ද වෙනුවට දිට්වා සුළි කුණාටුව ආදේශ කළ හැකිය.
මැද පෙරදිග යුද තත්වය නිසා ඇතිව තිබෙන ඉන්ධන සහ ගැස් අර්බූදය, එරට ඇතිවූ විදුලි අර්බූදය වෙනුවට ආදේශ කළ හැකිය.
ජාතික ජන බලවේග ආණ්ඩුවට එල්ල වන දූෂණ චෝදනා රාජපක්ෂ සමයට ළගා නොවන නමුත් දැනටමත් මහජන අප්‍රසාදය ඉහළ යන බලපෑමක් බවට පත්ව තිබේ.

එක දිගට අනා ගැනීම්
ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනා ගත්තේය. ව්‍යාජ අධ්‍යපාන සහතික ඉදිරිපත් කළ හිටපු කතානායකවරයාට විරුද්ධව විනය පියවර ගත්තේ නැත. ජවිපෙ නායකයකු වන කෝටි 27ක පුද්ගලික ධනයක් ඇති ජවිපෙ නායකයකු ඇමතිවරයකු ලෙස කටයුතු කරයි. ඔහු සතුව ධම්මික පෙරේරාගේ සමාගම්හි කොටස් ද මෙරට නීත්‍යනූකූල නොව ක්‍රිප්ටෝ මුදල් ද තිබේ. රාජ්‍ය සේවකයින්ට මාක්ස්වාදය උගන්වන සහ ලෙනින් කියවීමේ ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන අමාත්‍ය ලාල් කාන්ත පටලැවුණූ නිවාස ප්‍රශ්නය තවත් අපවාදයකි. ඇමති කුමාර ජයකොඩි අධිකරණය හමුවෙහි දූෂණ චෝදනා ලබා සිටී. අලුත්ම එක ඕස්ට්‍රේලියිවට යැයි සිතා ඩොලර් මිලියන2.5ක් හැකරුන්ට ජූජා කිරීමය.රටකින් රටකට මුදල් සම්ප්‍රේෂණය කිරීමේ ආරක්ෂක පියවර එහිදී ගෙන නැත. අඩුම වශයෙන් මුදල් ලේකම්වරයා මෙම වගකීම බාර ගෙන ඉල්ලා අස්විය යුතුය. මෙරට අන්තර් ජාල හැකරුන්ගේ තිප්පොළක් වී තිබෙන්නේ ද ඩිජිටල් සුරක්ෂිතතා දුර්වල නිසාය.
ජනාධිපති අනුර කුමාරගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත් කර ගත් සූරියබණ්ඩාර ‘සිරස’ වෙනුවන් කඩේ යමින් ජනමාධ්‍යවේදින් දෙදෙනෙකුට පහර දී තිබේ. දීපචෙල්වන්ගේ පොත් තහනමට වඩා අජූත වී ඇත්තේ ජාජබවාදී කලාකරුවන්ගේ සේදීමය.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන පිළිබඳ ආණ්ඩුවේ වාර්තාව ඉතා දුර්වලය. එය රාජ්‍ය මාධ්‍ය සිය දේශපාලන මෙවළමක් ලෙස දිගටම පාවිච්චි කරයි. එය විසින්ම හෙළා දුටු සමාජ මාධ්‍ය ආරක්ෂන පනත ඉවත් කිරීමට පියවර ගෙන නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ආ කෙටුම්පත දෙස් විදෙස්හි දැඩි විවේචනයට ලක් විය. එය විසින් පොරොන්දු වූ ස්වාධීන අභියෝජක කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ දින කාල වනවානු නියමයක් නැත.දස වසරක කාලයක් පවත්වා නැති පලාත් සභා මැතිවරණය පැවැත්වීමට දින වනවානු නියමයක් නැත. වාහන අංකවල පලාත දැක්වෙන අකුරු ඉවත් කර ඇත්තේ බලය බෙදීමට විරුද්ධ ගොන් පාට් නිසාය.
මේ අඩුපාඩු සහ දුර්වලතා ලෙහෙසියෙන් ජයගත හැකිව තිබූ ඒවාය. එම අවකාශය අවසන් නැත. ආණ්ඩුවට තවත් වසර තුනහමාරක් තිබේ. එසේ වුවත් මෙම දුබලතා ජය ගැනීමට අවශ්‍ය හානි අවම කර ගැනීමේ සහ පාලනය කර ගැනීමේ යාන්ත්‍රණයක් සහ දේශපාලන අධිශ්ඨානයක් ජාතික ජන බලවේගයට ඇති බවක් පෙනෙන්නට නැත.
ජවිපෙ ආරම්භයේ සිටම සෑම මටට්මකම කර ගෙන ආ විවේචන ස්වයං විවේචන සම්ප්‍රදාය තවමත් එහි දේශපාලන මණ්ඩලයෙහි සිදු වන්නේ නම් එහි කොතරම් චන්ඩ මාරුත හට ගනු ඇත්ද?
ගල් අඟුරු වංචාව පිළිබඳ අනුර කුමාර ආණ්ඩුව දක්වන අනිසි සහ පාරදෘශය නොවන ආකල්පය එක්තරා අන්දමක තීරණාත්මක හැරීමක් පෙන්නුම් කරයි. එනම් නව දේශපාලන සංස්කෘතියක් සඳහා ජාතික ජන බලවේගයේ ඇති දේශපාලන කැමැත්ත දියවී යමින් ඇති බවය.
බස් නැවතුම් පොළවල් සහ දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම හෝ අධිවේගී මාර්ග ගොඩ නැගීම මගින් දේශපාලන වෙනසක් ඇති වන්නේ නැත. මෙරට මහා මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම රාජපක්ෂ සමයෙහි තරම් සිදු වූ කාලයක් නැත. නමුත් එහි ප්‍රතිපල නෙළා ගැනීමට නොහැකි වූයේ දේශපාලන වෙනසක් ඇති කිරීමට රාජපක්ෂවරුන්ට නොහැකි වූ නිසාය. දූෂණය රාජපක්ෂ සමයේ ලාංචනය වූ නිසාය. රාජපක්ෂ දේශපාලනඥයින්ගේ ඔලුව ඉදිමුණු නිසාය.
පිලිපීනයේ මාර්කොස් විරෝධී ජන නැගිටීම තරමටම නැතත් 2022 වර්ශයේහි දී ලතින් ඇමෙරිකාවේ චිලි රටෙහි ඇති වූ දේශපාලන වෙනසක් ද අප රටෙහි කතා බහට ලක් විය. එනම් 2022 මාර්තු 21 දා එරට ජනාධිපතිවරණයෙන් වාම අපෙක්ෂකයා වූ 35 හැවිරිදි ගේබ්‍රියල් බොරිච් බලයට පත් වීමයි. එය ලතින් ඇමරිකානු වාමාංශය උද්දාමයට පත් කළේය.
ගේබ්‍රියල් බොරිච් චිලි රාජ්‍යයෙහි ඉතා වැදගත් ජන හිතකාමී ප්‍රතිසංස්කරණ ඇති කළේය. එනමුත් ඔහුට අත්‍යවශ්‍ය ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණයය කර ගැනීමට නොහැකි විය. අපරාධ ඉහළ ගියේය. අන්‍ය ජාතිකයින්ට එරෙහි වර්ගවාදය ඉහළ නැගුණි. ඔහුගේ ධූර කාලය 2026 මාර්තුවෙහි දී අවසන් විය.
2026 පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ අන්ත දක්ශිනාංශික අපේක්ෂකයා වූ ට්‍රම්ෆ්වාදී හොසේ ඇන්ටෝනියෝ කාස්ට්ය.

ගේබ්‍රියල් බොරිච්ගේ ජයග්‍රහණය එක්තරා දුරකට අනුර කුමාරගේ ජයග්‍රහණයට සමාන විය. ඔහු බලයට පැමිණියේ ශිෂ්‍ය – තරුණ ව්‍යාපාරයෙන් සහ නාගරික ප්‍රගතිශීලී මධ්‍ය පන්තියෙන් ලැබුණු සහය මතය. එවැනි සමාජ තීරු ඉක්මණින් වෙනස් වෙයි.
රාජපක්ෂවරුන් රදා පැවතියේ සිංහල බෞද්ධ ආන්තවාදී මතවාදය මතය. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ විසින් එය කාබාසීනියා කරන තුරුම නාගරික මධ්‍යම පංතියේ සහ ගොවි ජන පදනමක් තිබුණි. ශ්‍රිලනිප එහි සාර්ථකත්වය ලබා ගත්තේ වාම -මධ්‍යස්ථ සිංහල පංච මහා බලවේග මගිනි.
ජාතික ජන බලවේගය යනු ජවිපෙ සඳහා හුදු කඩතුරාවක් බව අපි දනිමු. එසේ නම් ජනතා විමුක්ති පෙරමුණෙහි ජන පදනම සියයට තුන නොවේ නම් කුමක්ද යන ප්‍රශ්නට ආණ්ඩුව පිළිතුරක් සොයා ගත යුතුය.
ජාතික ජන බලවේගයෙහි දේශපාලන පැවැත්ම තීරණය වන්නේ එහි සාර්ථකත්වයට වඩා අඳබාල සහ දැක්මක් නැති විපක්ෂය නිසාය. එනමුත් හංගේරියාවෙහි අයෝමය බලවතා ලෙස සැළකුණූ ඔර්බාන්ට විරුද්ධ අභියෝගයක් පැන නැගී ඔහු පෙරළා දැමුනේ දෙවසරකට පෙර ආරම්භ වූ දේශපාලන ව්‍යාපාරයකිනි.
සුන් බුන් විපක්ෂය යැයි බාල් නටා වූන් ගැනීම ප්‍රඥාගෝචර නොවන්නේ, රතු සහෝදරවරුනි එනිසාය!
( සම්මුති විසම්මුති තීරු ලිපිය ලෙස අද නිකුත් වූ අනිද්දා පුවත් පතෙහි පළ වූ ලිපියෙහි සංස්කරණය කරන ලද පිටපතකි)

