ගල් අඟුරු හත් පොළේ ගා ගැනීම – චූලානන්ද සමරනායක

ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් කුකුසක් මතු වෙද්දී සහ විපක්ෂය එහිදී මහා වංචාවක් සිදුව ඇතැයි හඬ නගද්දී ජනතාව ආණ්ඩුව වංචාවකට සම්බන්ධ යයි කියන්නට හෝ චෝදනා කරන්නට හදිසි වූවේ නැත. එහෙත් දේශපාලනය සහ වෙළෙන්දන් සම්බන්ධ ඉතිහාසය තුළ ප්‍රසම්පාදන කටයුතු වලදී සිදුව ඇති නෙක චෞරකම් ගැන අත්දැකීම් ඇති ජනයා යම් අක්‍රමිකතාවක් හෝ වංචාවක් සිදුවන්නට ඉඩ නැතැයි යන්න බැහැර කළේද නැත.

එවැන්නක් සිදුව ඇත්නම් එහිදී ආණ්ඩුව වහා මැදිහත්ව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අදාල පාර්ශවයන්ට නිසි දඬුවම් දෙනු දැකීම ජනතා අභිලාෂයව තිබිණි. මේ ආන්ඩුව බලයට ආවේද ඒ පොරොන්දු සමගිනි. එහෙයින් දිගින් දිගිටම ප්‍රසම්පාදනයේදී දැවැන්ත වංචා සිදුවිණැයි නිතර කතාබහට ලක්වූ ගල් අඟුරු සම්බන්ධයෙන් අතීත ගනුදෙනු ගැන පරීක්ෂණ ආරම්භ විය යුතුව තිබුණේ ආණ්ඩුව බලයට පැමිණි විගසම ය. එහෙත් එවැන්නක් සිදුවූවේ නැත.

නමුදු සිදුවූවේ ආණ්ඩුවේ ආරක්ෂකයන් සහ හිතවාදීන් දිගින් දිගටම විපක්ෂයට පහර එල්ල කිරීම සහ තම ආණ්ඩුව යටතේ සිදුවූ ප්‍රසම්පාදනය පාරිශුද්ධ බව පෙන්වන්නට තර්ක ගොඩනැගීම පමණි.

ආණ්ඩුව බලයට ආ පසුව එතෙක් කප්පම් දෙමින් ව්‍යාපාර කළ ව්‍යාපාරිකයන්ට අනිසි බලපෑම් වලින් තොරව සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඇවැසි පරිසරය නිර්මාණය කළ බව සත්‍යයකි. එහෙත් එසේ නිදහසේ ව්‍යාපාර කරගෙන යාමට ඉඩ සැලසූ පමනින් ව්‍යාපාරිකයන් බෝසත්වරුන් වෙතැයි හෝ ගනුදෙනු වලදී අවංකව කටයුතු කරතැයි හෝ නැතිනම් සිය බදු මුදල් නියමාකාරයෙන් ගෙවනු ඇතැයි කියා අත බැඳගෙන සිටින්නට සිතන්නේ නම් එය අමන කමකි.

විගණන වාර්තාව එන්නේ ඒ අතරය. ඉන් තත්වයෙහි බරපතලකම හෙලිදරවු කෙරිණි.

ඉන්පසුව ආණ්ඩුවේ හිතවාදීන් ගොඩනැගූ තර්ක කිහිපයකි.

මෙතෙක් ගල් අඟුරු ප්‍රසම්පාදනයේ පැවති පිලිවෙත දූෂිතය.

ආණ්ඩුව එය කිවැරදි කර තිබේ.

දැන් නිසි ටෙන්ඩර් පරිපාටියක් අනුව වැඩේ යටින් නොව උඩින්ම යයි.

මෙතෙක් දූෂිත ක්‍රමවලින් ගල් අඟුරු සැපයූ සමාගම් සහ දේශපපාලකයෝ තමන්ට අහිමිවූ ලාභ කුට්ටි හේතුවෙන් කුපිතව සිටිති.

එහෙයින් ඔවුහු ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට සහ ආණ්ඩුවේ සුජාතභාවය කැලැල් කිරීමට දඟලති.

ජනතාව මේ කිසිවක් නැතැයි කීවේද නැති. ජනතාවට තරම් පසුගිය කාලයේ මෙරට පැවති දේශපාලනයේ නග්න තිරශ්චීනභාවය දේශපාලකයන්ටද දැනී නැත. ඔවුන් පසුගිය මැතිවරණයේදී ජාජබයට ඉතිහාසගත ජයක් ගෙන දුන්නේ එහෙයිනි.

ඉදින් ආණ්ඩුව කළ යුතුව තිබුනේ ඉතා සරල කාර්යයකි.

පළමුව මතුව ඇති සැකය සැලකිල්ලට ගෙන තමන් මේ ගැන පරීක්ෂණයක් කරන බව/ වහාම පරීක්ෂණයක් කරන බව ජනතාවට කියා සිටීම සහ ඉන්පසුව අදාල පුද්ගලයන්ට සහ ආයතනවලට කිසිදු වෙනසකින් තොරව දඬුවම් කරන බවට සහතිකයක් දීම සහ ඒ අනුව අදාල පියවර ගැනීම!

මෙහිදී අමාත්‍යවරයාහට කළ හැකිව තිබූ පළමු දෙය වනුයේ එවන් පරීක්ෂණයකට තමන් සියළු සහය දෙනබවත් එය හමාර වන තෙක් තමන් ආමාත්‍යධූරයෙන් ඉවත්වන බවත් ප්‍රකාශ කිරීමය. නව හරවත් සම්ප්‍රදායන් ඇති කළ හැක්කේ එවන් ක්‍රියාවලිනි. වරක් එවන් යහ සම්ප්‍රදායක් ඇති කළ පසුව මතු දේශපාලකයන්ට එය කඩ කළ නොහැකි වනු ඇත. මේ ආණ්ඩුව ආවේ දේශපාලන වෙනසක් ගැන දැඩි විශ්වාසයක් ජනතාවට දෙමිනි. තමන් පසුගිය දේශපාලන අව සම්ප්‍රදායන් වෙනස් කරන බවට දිවුරමිනි.

මෙහිදී ආණ්ඩුව පැත්තේ හිතවතුන්ගෙන් ආ අදහසක් වූවේ එසේ අස්වෙන්නට ගියහොත් විපක්ෂය මෙලෙසින්ම තවත් අයෙකුට චෝදනා එල්ල කළහොත් අස්වන්නට සිදුවන සම්ප්‍රදායක් ඇතිවිය හැකි බවත් එය අවාසියක් බවත්ය.

එහෙත් විපක්ෂය කෙතරම් වලිකෑවද ජනතාව ඔවුන් කියනා ආකාරයටම නටන්නේ නැති බව ආණ්ඩුව වටහා ගත යුතුව තිබිණි. ආණ්ඩුවටත් වඩා ජනතාව විපක්ෂය ගැන දනිති. ජනතාවගෙන් විරෝධයක් ආණ්ඩුවට ආ පලමු අවස්ථාව රන්වල නාටකයයි. එය අතිශය සාධාරණය. එහෙත් ආණ්ඩුව එහිදීද තම සගයා ආරක්ෂා කරන්නට ගොස් නාගත්තේ බාල්දිය සහ කඹය තමන්ම ගොස් කඩෙන් ගෙන ළිඳද කපාගනිමිනි. ගෑ සබන් වර්ගය අප දන්නේ නැත.

අවම තරමින් ආණ්ඩුව රන්වල නාටකයෙන් පාඩමක් උගත යුතුව තිබිණි.

පක්ෂයක් විප්ලවවාදී නම් කවර අවස්ථාවකදී වුව පියවරක් ගත යුතු තීරණාත්මක මොහොතක පුද්ගල සාධකය ගැන සිතන්නේ නැත. ඒ සඳහා හොඳම උදාහරණයක් දෙවන ලෝක සංග්‍රාම අවධියෙහි ලොව දරුණුම පාලකයෙකු ලෙස සැලකෙන ස්ටාලින් දී තිබේ. යුද්ධයේදී සිය පුත්‍රයා නාසින්ට අසුවූ විට ස්ටාලින්හට නාසින්ගෙන් ලැබෙන යෝජනාව වනුයේ රුසියානු හමුදා යටතේ ඉන්නා නාසි ජෙනරාල්වරුන් කිහිප දෙනකු නිදහස් කරන්නේ නම් ඒ වෙනුවෙන් ස්ටාලින්ගේ පුත්‍රයා නිදහස් කරන බවකි. එහෙත් හුවමාරුවේදී එවන් පියවරකට යනුයේ සමාන මට්ටමේ නිලධාරීන් පමණි. පක්ෂයේ තීරණය වනුයේ ස්ටාලින්ගේ පුත්‍රයා වෙනුවෙන් නාසින් ඉල්ලන නිලධාරීන් ඉතා ඉහල මට්ටමේ අය බවත් පුත්‍රයාගේ නිලය ඊට පහල බවත් එහෙයින් මෙය නොකළ යුතු බවත්ය. ස්ටාලින් තම පුත්‍රයා වෙනුවෙන් ඒ තීරණය වෙනස් කරන්නට ගියේ නැති. ඔහුට පුතා අහිමිවිණි. එය ඔහුගේ ජීවිතයේ දැවැන්ත අහිමිවීමකි. එහෙත් ඔහු සැලුනේ නැති.

අවසන විශ්වාස භංගයක් ගෙන එන තැනට මෙය තල්ලු කරගෙන යන්නට විපක්ෂය- මේ සුන්බුන් ගොඩ විපක්ෂයක් කිරීමේ ගෞරවයද භාරගත යුත්තේ ආණ්ඩුවමය-සමත්වූවේද ආණ්ඩුවේම පිලිවෙතයි.

විශ්වාස භංගයෙන් පසුව ආණ්ඩුව දී ඇති විසඳුම ද කදිමය.

මේ ප්‍රසම්පාදනය ගැන නොව අපි මෙතෙක් පැවති සියළු ප්‍රසම්පාදනයන් ගැනම පරීක්ෂා කරන්නෙමු.

අර්බුදයකින් ගොඩ එන්නට කටයුතු කිරීම වෙනුවට එහි කරවටක් ගිපෙලන්නේ කෙසේද යන්න ගැන මේ කදිම උදාහරණයකි.

ආණ්ඩුව ගල් අඟුරු ප්‍රසම්පාදනයන් ගැන මුල සිට පරීක්ෂණ අරඹනු ඇතැයි ජනයා අපේක්ෂා කළේ බලයට පැමිණි විගසමය. එහෙත් එදා එසේ නොකර දැන් තමන් හට චෝදනා එල්ල වෙද්දී හිටපල්ලකො අපි තොපේ ඒවත් හොයනවා වගේ උත්තරයක් දීමෙන් පවත්නා චෝදනාවට විසඳුමක් නොලැබෙයි. ඉන්වනුයේ පඹගාලක් නිර්මාණය කිරීම පමනි. මහා පරීක්ෂණ වැලක ගිල්වා වර්තමාන අර්බුදය යටපත් කිරීම පමණි. මේ ගැන විජයානන්ද ජයවීර මීට පෙර ලිවීය.

ආණ්ඩුව කළ යුතුව තිබුණේ තමන් යටතේ වූ ප්‍රසම්පාදනය ගැන ඉතා කඩිනම් පරීක්ෂණයක් පවත්වා එහි සියළු ප්‍රතිපල ජනතාවට අවංකව අනාවරණය කර අදාල පාර්ශවයන්ට නිසි පියවර ගෙන තමන් වගකිව යුතු ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේය යන සහතිකය යළි ජනතාවට දීමයි. එවැන්නක් පළමුවෙන්ම කිරීමෙන් පසුව අතීත ගනුදෙනු සම්බන්ධයෙන්ද කරනා පරීක්ෂන වලට ලැබෙන විශ්වාසය අතිමහත්ය. ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී යම් අක්‍රමිකතාවක් සිදුව තිබුණද වගවීමක් සහිත ආණ්ඩුවක් එය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මෙසේ යයි ඔවුන්ට නිසි ආදර්ශයක්දීමට මෙහිදී අවස්ථාව තිබිණි.

එහෙත් දැන් ඇද්ද තොපිට අපේ සෙද්ද හොයන්න ගිහින් ඔන්න අපි තොපේ සස්පෙන්ඩරේ හිල් ටික පෙන්නනවා කීමත් සමගම ඇතිවෙන හැඟීම වන්නේ අම්මට සිරි ඒ කියන්නෙ මේක ඇදුනෙ නැත්නං අරක ඇදෙන්නෙ නෑ වගේ හැඟීමකි.

හත්පොලේ ගාගන්නවා යනුවෙන් අපේ ජනවහරේ කීමක් තිබේ. එය නවීකරණය වී වර්තමානය වන විට බිහිව ඇති යෙදුම් මෙහි ලියන්නට නොහැකිය.

ආණ්ඩුවක් ආරක්ෂා කිරීම යන්නේ අර්ථය වන්නේ අතට හසුවන සියල්ලෙන් දමා ගසා ඇද්ද තොපිට යනුවෙන් ඇසීම නොවේ. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම යනුද එය නොවේ.

මේ ආණ්ඩුව යනු ඉතිහාසයේ වැඩිම ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුවයි. එයට වරදින්නට ඉඩක් නැතැයි කියා ජනයා විශ්වාස කරන්නේ නැත. එසේම වරදක් සිදුවූ පමණින් ආණ්ඩුව විපක්ෂයට භාරදී ගෙරද යා යුතු යයි කියා ජනතාව සිතන්නේද නැත. ජනතාව තවමත් ආණ්ඩුවේ ආරක්ෂකයන්ටත් වඩා ආණ්ඩු හිතවාදීය.

එහෙත් ජනයා එක් දෙයක් ඉල්ලා සිටිති. ඒ අන් කිසිවක් නොව තමන් පැවරූ විශ්වාසය රැකීමයි.

ආණ්ඩුව ඊට අසමත් යයි සිතන්නට ජනයා පෙළඹෙන දවසට සියල්ල අනෙක් පැත්තට හැරෙනු ඇත.

අප වටහාගත යුතුව ඇත්තේ එයයි.

 

Archive

Latest news

Related news