එකම ආදායමට පුරවැසියන් රුපියල් 55,000 ක් බදු ගෙවන වි‍ට මන්ත්‍රීවරුන් 17,000 පමණක් ගෙවූ රනිල් රාජපක්ෂ ක්‍රමය ජාජබ යටතේ 7,500 දක්වා පහළට!

 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා 2026 මාර්තු සඳහා ඔහුගේ පාර්ලිමේන්තු වැටුප් පත්‍රිකාව ප්‍රසිද්ධ කර  ඇති අතර, ඔහු කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මංත්‍රීවරියන් ලබන ඉපැයීම් පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු බවයි. මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ කරන ලද ලේඛනයට අනුව, දළ මාසික වැටුප සහ දීමනා රු. 415,169.93 ක්  වේ. රු. 19,308.71 ක මුළු අඩු කිරීම් වලින් පසු, ඔහුගේ ගිණුමට බැර කරන ලද ශුද්ධ වැටුප රු. 395,861.22 කි.

රු. 415,169.93 ක දළ වැටුපක් සඳහා, පෞද්ගලික හෝ රජයේ අංශයේ සේවය කරන ඕනෑම අයෙකු සාමාන්‍යයෙන් රු. 55,000+ ක් බදු වශයෙන් ගෙවිය යුතුය. නමුත් මන්ත්‍රීවරුන් ගෙවන්නේ රු. 7,500+ ක් පමණ පමණි. හේතුව, පසුගිය රජය මන්ත්‍රීවරුන් සඳහා වෙනස් බදු ව්‍යුහයක් වෙනස්  ලෙස නිර්මාණය කර තිබීමයි.

 මන්ත්‍රීවරුන් සහ ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් බදු අය කළ හැකි ආදායම ගණනය කරන්නේ  මෙසේය.

 නව 36% උපරිම ආදායම් බදු ක්‍රමය රනිල් රාජපක්ෂ යටතේ  2023 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළ අතර එයට පෙර  මන්ත්‍රීවරුන්  වෙනත් ඕනෑම බදු ගෙවන්නෙකු මෙන් ඔවුන්ගේ ආදායම මත බදු ගෙවූහ.

 කෙසේ වෙතත්, ඊළඟ මාසයේම (2023 පෙබරවාරි), ආදායම් බදු දෙපාර්තමෙන්තුව විසින් මුදල් නොවන ප්‍රතිලාභවලට අදාළ සංශෝධනයක් හඳුන්වා දෙන ලදී. මෙය මන්ත්‍රීවරුන්ට සැලකිය යුතු ලෙස වාසිදායක වන ආකාරයෙන් නිර්මාණය කර ඇත: සංශෝධනය යටතේ, ඔවුන්ගේ වාහන, ඉන්ධන සහ සන්නිවේදන දීමනා වලින් 25% ක් පමණක් බදු අය කළ හැකි ආදායමක් යැයි සැලකේ. පුදුම නමුත් ඇත්තය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ එම පිළිවෙතෙහි එහි ප්‍රතිඵලයක් ලෙස, මන්ත්‍රීවරුන්ගේ බදු වගකීම රු. 76,000 සිට රු. 17,000 දක්වා පහත වැටුණු අතර, නිත්‍ය බදු ගෙවන්නන් සඳහා කිසිවක්  වෙනස් නොවීය. මෙය පැහැදිළිවම දේශපාලන පංතිය සදහා නිර්මානය කරන ලද වරදානයකි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ  2025 බදු සංග්‍රහය සංශෝධනය කිරීමත් සමඟ, විශේෂයෙන් 12% බදු කාණ්ඩය ඉවත් කිරීමත් සමඟ, මන්ත්‍රීවරුන් සඳහා බදු වගකීම තවදුරටත් රුපියල් 5,000 සිට රුපියල් 7,500 දක්වා අඩු කරන ලදී. ඒ හා සමාන ආදායමක් උපයන අනෙක් අය රුපියල් 55,000 කට වඩා ගෙවමින් සිටිති.

ජාතික ජන බලවේගයේ මංත්‍රී වැටුප කෙලින්ම පක්ෂ අරමුදලට යන බැවින් මෙම පියවර මගින් පක්ෂයේ අරමුදල් තර කරගැනීමට තවත් අවස්ථාවක් උදා කෙර ගෙන ඇත. එමගින් මාසිකව පක්ෂ අරමුදලට ලැබෙන මුදල් ප්‍රමාණය 10,000 X 152 = රුපියල් 152,000,0 කින් එනම් මිලියන 1.5 කින් වැඩි   කර ගැනීමට සමත්  වී තිබේ. වසරකට එය රුපියල් මිලියන 18කි. මෙම වරප්‍රසාදය විපක්ෂයේ සියලු මංත්‍රීන් ද භුක්ති විදිති.

( Numbers.lk සටහනක කරුණු ඇසුරණි. විග්‍රහය අපෙනි)

Archive

Latest news

Related news