පිලිප් ගුණවර්ධන සහ අප්‍රේල් කැරැල්ල – සුනන්ද දේශප්‍රිය

පසුගිය සතියෙහි අප්‍රේල් කැරැල්ලට වසර පනස් පහක් පිරුණි.

ඊට සතියකට පෙර ලාංකික මාක්ස්වාදී සම්ප්‍රදායේ පුරෝගාමියෙකු වූ පිලිප් ගුණවර්ධනගේ මරණයට වසර පනස් හතරක් පිරුණි.

අප්‍රේල් කැරැල්ල, එහි අඩු පාඩු තිබියදීත් සමාජ අසාධාරණයට විරුද්ධ නැගිටීමකි. එහි දේශපාලන ලෙස සැලකුණේ මාක්ස්වාදයයි. අරමුණ වූයේ සමාජවාදයයි.

පිලිප් ගුණවර්ධන, ඔහුගේ පසුකාලීන දේශපාලනය කෙසේ වෙතත් ආරම්භයේ දී ඔහු සැලකුණේ මෙරට සමාජවාදයේ පියා ලෙසය. සමාජ සාධාරණය උදෙසා මෙය වසර සියයක තරම් පෙර ඔහු විසින් ඉදිරිපත් කල යෝජනා විමසා බැලීම ඉතිහාසීය වශයෙන් පමණක් නොව අනාගතය සඳහා ද වැදගත්ය.

පිලිප්ට තිබුණේ සරල සාමාන්‍ය පැවැත්මකි. එනමුදු ඔහු ධනවත් පවුලකින් පැවත ආ රටේ ප්‍රභූ පාසල්වල අධ්‍යාපනය ලද  ඇමරිකා එක්සත් ජනපදයේ උසස් මට්ටමේ විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබා ගත් අයෙක් විය. ඔහු ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය සහ ඉන්දියාව යන රටවල පුළුල් ලෙස සංචාරය කර තිබුණි.  සිංහල, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ ප්‍රංශ භාෂාව පිලිප්  චතුර ලෙස දැන සිටියේය.

1930 ගණන්වල පිලිප්ගේ දැක්ම

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු කාල පරිච්ඡේදයේ පිලිප්ගේ දේශපාලන ජීවිතය ගැන බොහෝ දෙනෙක් දනිති. නමුත් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන ඇත්තේ මද අවබෝධයකි. ඔහු 1936 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු ලෙසය.

මන්ත්‍රණ සභාවෙහි ඉදිරිපත් කරන ලද ගැට‍ළු පිළිබඳ සෑම විවාදයකටම සහභාගි වූ ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිත්‍ය කථිකයෙකු විය. ඊට අමතරව, සාමාන්‍ය ජනයාගේ ජීවිතය දියුණු කිරීම සඳහා ඔහු විසින් මන්ත්‍රණ සභාවෙහි බොහෝ යෝජනා ඉදිරිපත් කරන ලදී. යටත් විජිත රජය පිළිබඳ ඔහුගේ විවේචනය දෘඩ නමුත් නිර්මාණාත්මක  විය.

පිලිප් ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධානියකු ලෙස ජනතාවට සහන සැලසීම සඳහා  මූලික අරමුණු තුනක් දැක්වීය.  ඒවා නම්, පළමුව, නිෂ්පාදන මාධ්‍යයන් , බෙදා හැරීම සහ භාණ්ඩ හුවමාරුව සමාජගත කිරීමය. දෙවනුව, ජාතික නිදහස ලබා ගැනීමය.  තෙවනුව, පන්ති, ජාතිය, ආගම සහ ලිංගිකත්වය යන වෙනස්කම් නිසා පැන නගින දේශපාලන හා ආර්ථික අසමානතාවය සහ පීඩනය අහෝසි කිරීමයි.

ඒ සඳහා ඔහු ඉදිරිපත් කල යෝජනා කිහිපයක් දෙස බැලීමෙන් අද 76 වසරක ශාපය ගැන කැරෙන කතා බහ කොතරම් ඒක පාර්ශවීය ද  යන්න පැහැදිලි වෙයි. තවද එම යෝජනා  මෙරට මාක්ස්වාදී ව්‍යාපාරයේ පුරෝගාමීන් සතු වූ ඉදිරිගාමී දැක්ම මත ආලෝකයක් විහිදුවයි.

ක්ෂණික ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා (1936)

193 ගණන් අවසන් භාගයේ දී පිලිප් ගුණවර්ධන අවශ්‍ය බවට තර්ක කළ ක්ෂණික සමාජ සාධාරණත්ව පියවර කිහිපයක් දෙස බලමු.

  • ගෘහස්ථ හෝ කාර්මික ළමා ශ්‍රමය සූරාකෑම අහෝසි කිරීම

ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉතා පීඩාකාරී ආකාරයේ ළමා ශ්‍රමය තහනම් කිරීමට පියවර ගත්තේ 1999 දී ය. එනයින් බලන විට පිලිප් කාලයට කොපමණ ඉදිරියෙන් සිටියේ ද යන්න පෙනේ. ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  එම ප්‍රඥාප්තිය අනුමත කළේ 2001 දී ය. පිලිප්ගේ යෝජනාවෙන් දශක හයකට පසුය.

  • ප්‍රාථමික පාසල්වල දරුවන්ට නොමිලේ පාසල් පොත් සැපයීම.

  •  ප්‍රාථමික පාසල්වල සියලුම දරුවන්ට නොමිලේ ආහාර සහ කිරි සැපයීම.

ඉහත සඳහන් කරුණූ දෙකට අදාළ පහසුකම් ලබා දීමට මෙරට ආණ්ඩු ආරම්භ කළේ නිදහසින්  කලකට පසුය.   පුළුල් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක කොටසක් ලෙස 1980 දී මෙරට  සියලු සිසුන්ට නොමිලේ පෙළ පොත් ලබා දීමට ආණ්ඩුව පටන් ගත්තේය. 1993 දී සියලු සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමෙන් මෙය ශක්තිමත් කරන ලදී. ප්‍රාථමික පන්තිවල සිසුන්ට නොමිලේ දිවා ආහාර සැපයීම ආරම්භ කළේ පිලිප්ගේ යෝජනාවෙන් දශක නවයකට පමණ පසු 2024 දී ය.

  •  සෑම ග්‍රාමීය දිස්ත්‍රික්කයකම නොමිලේ තණබිම් ඇති කිරීම

මෙම පහසුකම මෙරට කිරි ගොවීන්ට තවමත් ලබා දී නොමැත. ගොවීන් කිරි ගොවිතැනට යොමු කිරීම දිරිමත් කිරීම සහ එමඟින් රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම පිලිප් ගේ යෝජනාවෙහි පසුබිම විය. එම කාලයේ රජය සතු බොහෝ ඉඩම් තිබූ අතර අද මෙන් ජනගහණ තදබදයක් ද නොවීය. එවැනි කාලයක එම පියවර සාර්ථක කළ හැකිව තිබුණි.

  •  ගොවීන්ට පොලි රහිත  මිලකට  බීජ වී සැපයීම

ශ්‍රී ලංකාව තවමත් ගොවීන්ට මෙම පහසුකම ලබා දී නැත.1962 දී ආරම්භ කරන ලද කෘෂිකාර්මික  සහනාධාර යෝජනා ක්‍රමය වැඩිදියුණු කරමින්  පොහොර සහනාධාර සැපයීමේ සැලසුමක් 2005 දී ආරම්භ කරන ලදී.

  • වාරිමාර්ග අනුපාත ස්ථිර ලෙස අහෝසි කිරීම

රජය විසින් වාරිමාර්ග අනුපාත අහෝසි කිරීමෙන් මෙය සම්මත කරන ලද්දේ 1970 දී පමණි. ( වාරිමාර්ග අනුපාත යන කෘෂි ඉඩමකට ලබා දෙන වතුර ප්‍රමාණය ගණනය කර ඒ සදහා මුදල් අය කිරීමයි. යටත් විජිත පාලකයින් විසින් 1926 දී මෙම ක්‍රමය ඇති කරන  ලදී.)

  • තේ සහ රබර් සඳහා කූපන් පත් පැවරීමේ හැකියාව අහෝසි කිරීම

1930 මහා අවපාතය හා සම්බන්ධ ආර්ථික පසුබෑම අතරතුර ද්‍රවශීලතාවය හේතුවෙන් නිෂ්පාදකයින් විසින් විකුණන ලද තේ සහ රබර් සඳහා ගෙවීමට මෙම කූපන් ක්‍රමය හඳුන්වා දී තිබුණි. නිෂ්පාදකයින්ට ක්ෂණික මුදල් ගෙවීම් නොලැබුණු බැවින් එය ඔවුන්ට දුෂ්කරතාවට පත්  විය. කෙසේ වෙතත්, රටට අවපාතයෙන් මිදීමට හැකි වූ පසු, මෙම කූපන් ක්‍රමය අහෝසි කරන ලදී. පිලිප් 1936 දී එය යෝජනා කරමින් ඒ සඳහා මග පෑදීය.

  • දැව ඉවත් කිරීම සහ දැව ප්‍රවාහනය සම්බන්ධ වන නීති අහෝසි කිරීම

දැව ප්‍රවාහනය සඳහා නිදහස ලබා දීමෙන් ජාවාරම්කරුවන් බලවත් වී  රට තුළ වන ආවරණය අඩු වීම ඇති ඉඩ සහ දැව ජාවරම්කරුවන් වනාන්තර විනාශ කරනු ඇති  බැවින් මෙම යෝජනාව ක්‍රියාත්මක කර නැත. පිලිප් යෝජනා කල කාලය සහ අද දැව ප්‍රවාහණය සම්බන්ධයෙන් පවතින තත්වය වෙනස්ය. 1936 දී යටත් විජිත පාලකයින් එම නීති පණවන ලද්දේ දේශීය දැව ව්‍යාපාරයෙන් ලාභ ඉපයීමටය.

  • සියලු සේවකයින් සඳහා විරැකියා රක්ෂණයක් ස්ථාපිත කිරීම

  •  අවශ්‍යතා ඇති සියල්ලන්ට රැකියා හෝ නඩත්තු සැපයීම

  • සියලු සේවකයින්ට යහපත් ජීවන මට්ටමක් පවත්වා ගත හැකි වන පරිදි අවම වැටුපක් ස්ථාපිත කිරීම

විරුකියා රක්ෂණය යනු රැකියාවක් අහිමි වූ අයකුට යළි රැකියාවක් සොයා ගැනීමට සහය වන සහ නිසි නිරීක්ෂණයකින් යුතු මාසික දීමනාවක් ගෙවීමයි. බොහෝ සංවර්ධිත රටවල මෙවැනි සුබ සාධක ක්‍රම ස්ථාපිත කර ඇතත් මෙරට ඒ ගැන සාකච්ඡාවක් හෝ නැත.

දුගී පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම ආරම්භ කරන ලද්දේ ජනාධිපති ප්‍රේමදාස යටතේ 1980 ගණන් අවසානයේ ය. දශක හතරකට පසු ය. අද අස්වැසුම ලෙස ක්‍රියාත්මක වන්නේ එහි අනුවර්තනයකි.

මෙරට වැඩ කරන ජනයා සඳහා අවම වැටුපක් නීතිගත කර ඇත්තේ පෞද්ගලික අංශයේ සේවකයන්ට සහ වතු ක්ෂේත්‍රයේ සේවකයන්ට පමණි. එය සිදු වූයේ  පිලිප්ගේ යෝජනාවෙන් දශක පහකට පසු 2016 දීය. ගෘහ සේවක සේවිකාවන්ට හෝ දෛනික කුලීකරුවන්ට අවම වැටුපක් නීතිගත කර නැත.

  • සියලු සේවක සේවිකාවන් සඳහා පැය 8 ක වැඩ දිනයක් ස්ථාපිත කිරීම

සේවකයින්ගේ රැකියා නියාමනය සහ වේතනය සම්බන්ධ සාප්පු සහ කාර්යාල සේවක පනත බලාත්මක කිරීමෙන් පැය 8 වැඩ දිනය (සතියකට පැය 45ක්) හඳුන්වා දෙන ලද්දේ පිලිප්ගේ යෝජනාවෙන් දශක දෙකහමාරකට පසු 1954 දීය.

  • යහපත් සේවා කොන්දේසි සහතික කිරීම සඳහා කර්මාන්තශාලා නීති

1942 දී යටත් විජිත රජය විසින් කර්මාන්තශාලා ආඥා පනත පැනවීමෙන් මෙම පියවර ස්ථාපිත කරන ලදී.

  •  නිවාස කුලී බදු සීමා කිරීමේ පනතක් හඳුන්වා දීම

පිලිප් එය යෝජනා කිරීමෙන් බොහෝ කලකට පසුව 1972 දී  නිවාස කුලී බදු පනත පැනවීමෙන්  රජය එම යෝජනාව පිළිගත්තේය. එනමුත් වර්ථමානයෙහි එම පනත බලාත්මක වන්නේ නැති තරම්ය. එම පනත වෙනුවට ජාජබ ආණ්ඩුව විසින් කෙටුම්පති කරන ලද  ‘පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත’ විවිධ විරෝධතා නිසා අත්හිටවන ලදී. බොහෝ සංවර්ධිත රටවල කුලී නිවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ නීති රීති පනවා තිබේ.

  • නාගරික පැල්පත් ඉවත් කිරීම සහ කම්කරුවන් සඳහා වඩා හොඳ සහ ලාභදායී නිවාස ලබා දීම

මෙය අද පවා සියලු දේශපාලන පක්ෂවල ප්‍රමුඛ න්‍යාය පත්‍රයකි. එනමුත් මෙම ඉලක්කය සපුරා ගැනීමේ ප්‍රගතිය ඉතා මන්දගාමීය. විශේෂයෙන්ම අනවසර පැල්පත්වාසීන් ඉවත් කිරීමේ දී මානව හිමිකම් ආරක්ෂා වන පරිදි එය ක්‍රියාත්මක කිරීමට පසුගිය ආණ්ඩු අසමත් විය.

  • පහළ අධිකරණවල සහ පොලිස් ස්ථානවල ඇතුළත් කිරීම් සහ වාර්තා කරනු ලබන ප්‍රකාශ සඳහා ස්වභාෂා භාවිතය සහ මෙම භාවිතය සියලුම රජයේ දෙපාර්තමේන්තු වෙත ව්‍යාප්ත කිරීම

ලංකාව මෙම ප්‍රතිපත්තිය නාමිකව හෝ පිළිගත්තේ පිලිප්ගේ යෝජනාවෙන් දශක හතරකට පසු  1970 දශකයේ මුල් භාගයේදීය. එය භාවිතාවෙන් තවමත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවේ. විශේෂයෙන්ම දෙමළ භාෂාව කතා කරන ජනයා තවමත් මෙම ප්‍රශ්නයට මුහුණ දෙති.

  • අසනීප ප්‍රතිලාභ, මහලු වියේ ප්‍රතිලාභ සහ මාතෘ ප්‍රතිලාභ ගෙවන ජාතික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම

පිලිප් යෝජනා කළේ සෞඛ්‍ය සේවාව, නිෂ්පාදනය සහ බෙදා හැරීමේ වානිජ ව්‍යාපාර නියාමයන්ගෙන් වෙන් කිරීමටය. මෙය 1951 දී මහජනතාවට නොමිලේ විශ්වමය සෞඛ්‍ය සේවා හඳුන්වා දීමෙන් වෙනත් ආකාරයකට  සිදු කරන ලදී. එය පිලිප් යෝජනා කළ දෙයට පටහැණි වුවද, රටේ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ පුරෝගාමියා ලෙස ඔහුගේ නම ඉතිහාසයේ ලියැවේ.

  • ඉහළ ආදායම් සඳහා ආදායම් බද්ද තියුණු ලෙස ඉහළ නැංවීම

යම් දුරකට මෙම පිියවර වර්තමානයෙහි ක්‍රියාත් වන නමුත්  සහල් මාෆියා වැනි බිලියනපතියෝ තමන්ට පැනවී ඇති 34% ආදායම් බද්දට විරුද්ධ වෙති. සංවර්ධිත බොහෝ රටවල්හි ඉහළ ආදායම් ලබන සියලු දෙනා 30-40% දක්වා ආදායම් බදු ගෙවිය යුතුය. දියුණු සමාජ සුබසාධනයක් පවත්වා ගෙන යන සමහර රටවල සුපිරි ආදායම් කාණ්ඩ ගෙවිය යුතු  බදු 50% ඉක්මවයි.

පිලිප් ගුණවර්ධන සතු වූ සමාජ සුබ සාධන සහ අනාගතවාදී  දැක්ම අද පාලන බලය දරන මාක්ස්වාදී  දේශපාලන පක්ෂ නායකයින් සතු දැයි තීරණය කිරීම ඔබ සතුය.

(ආචාර්ය ඩී.ආර්. විජේවර්ධන විසින් දෙවසරකට පෙර පල කරන ලද ලිපියක කරුණු ද අනුසාරයෙනි)

– මෙම ලිපිය මුල්වරට අද නිකුත් වූ අනිද්දා පුවත් පතෙහි පල විය

 

Archive

Latest news

Related news