ජාතික ජන බලවේගය (NPP) රජය විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දු සහ ජාතික සංහිඳියාවේ අවශ්‍යතාවය උපුටා දක්වමින්, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින දිගුකාලීන දෙමළ දේශපාලන සිරකරුවන් 10 දෙනෙකු කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස රැඳවියන්ගේ පවුල්, සිවිල් සමාජ සංවිධාන, ආගමික නායකයින්, වෘත්තීය සමිති සහ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත පුළුල් සන්ධානයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ඒකාබද්ධ අභියාචනයකදී, මෙම සිරකරුවන් – සමහරු දශක තුනකට ආසන්න කාලයක් – අඛණ්ඩව රඳවා තබා ගැනීම බරපතල අසාධාරණයක් සහ ශ්‍රී ලංකාවේ නීතිමය සහ දේශපාලන පද්ධතිවල දිගුකාලීන අසාර්ථකත්වයක් නියෝජනය කරන බව ඒකාබද්ධ ප්‍රකාශනය සඳහන් කරයි.
මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ හදිසි නීති රීති සහ මර්දනය පිළිබඳ පුළුල් ඉතිහාසය තුළ මෙම ගැටලුව ස්ථානගත කරයි. 1970 සහ 1980 ගණන්වල ජවිපෙ නැගිටීම්, දශක තුනක සිවිල් යුද්ධය, මුස්ලිම්වරුන්ට පශ්චාත් පාස්කු ඉරිදා ප්‍රහාර මර්දනය සහ මෑතකදී, 2022 අරගල විරෝධතා ව්‍යාපාරයෙන් පසුව, විසම්මුතිය මර්දනය කිරීම සඳහා අනුප්‍රාප්තික රජයන් හදිසි නීති රෙගුලාසි සහ “ත්‍රස්ත නීති” භාවිතා කර ඇති බව එය පෙන්වා දෙයි.
අභියාචනයට අනුව, දෙමළ රැඳවියන් 10 දෙනෙකු වසර 15 ත් 30 ත් අතර කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවමත් සිරගතව සිටිති. ඔවුන්ගෙන් දෙදෙනෙකු – සෙල්වරාජා කිරුපහරන් සහ තම්බයියා ප්‍රගාෂ් – 2009 අගෝස්තු මාසයේදී සිවිල් යුද්ධය අවසානයේ අත්අඩංගුවට ගන්නා ලද අතර තවමත් ඔවුන්ගේ නඩු විභාග අවසන් වි නැත.
“දඬුවම් නියම නොකර ඔවුන්ගේ සිරගත කර ගෙන සිටීම දශක දෙකකට ආසන්න කාලයක් සිරගත කිරීමකට සමාන වේ,” අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වන තෙක් බලා සිටින අතරතුර ඔවුන්ගේ මුළු තරුණ කාලය සහ වැඩිහිටිභාවයෙන් වැඩි කොටසක් අහිමි වී ඇති බව ප්‍රකාශය සඳහන් තරයි.
ඉතිරි රැඳවියන් අට දෙනා, වරදකරුවන් වුවද, එක් එක් අය වසර 15 කට වැඩි කාලයක් සිරගත කර සිට ඇති අතර, දෙදෙනෙකු වසර 30 කට ආසන්න කාලයක් රඳවාගෙන ඇත. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් සහ සෙසු රැඳවියන් අතින් බොහෝ දෙනෙකු වධහිංසා, හිරිහැර සහ අවමන් සහගත සැලකිලි විඳ ඇති බවත්, නීතිමය ක්‍රියාවලියේ අත්තනෝමතික ප්‍රමාදයන් සහ ක්‍රියා පටිපාටිමය අඩුපාඩු ඇති බවත් අභියාචනයේ සඳහන් කරයි.
සිරකරුවන්ගේ පවුල් සහ සහායක සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සංහිඳියාවේ ක්‍රියාවක් ලෙස සහ ජාජබ මැතිවරණ ප්‍රකාශනයේ දී කරන ලද කැපවීමක් ඉටු කිරීමක් ලෙස ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට අවසර දෙන ලෙසයි. ඔවුන් තර්ක කරන්නේ අඛණ්ඩව රඳවා තබා ගැනීම යුක්තිය ප්‍රතිසංස්කරණය සහ පශ්චාත් යුධ සංහිඳියා උත්සාහයන් කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කරන බවයි.
මෙලෙස දිර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ක් පෙර නොවූ විරූ දෙයක් නොවන බව අභියාචනයේ සඳහන් වේ. 1971 කැරැල්ලෙන් පසු අපරාධ යුක්ති කොමිෂන් සභා පනත යටතේ වරදකරුවන් වූ ජවිපෙ සාමාජිකයින් නිදහස් කළ එවකට ජනාධිපති J.R. ජයවර්ධන විසින් 1977 නොවැම්බර් මාසයේදීෙ පොදු සමාවක් දී නිදහස් කරන ලද බව ප්‍රකාශය පෙන්වා දෙයි.
රාජ්‍ය මර්දනය අත්විඳ ඇති වත්මන් ආණ්ඩු පක්ෂය, ඒ හා සමාන පියවරක් ගැනීමට සුදුසු බව ප්‍රකාහයට අත්සන් කළ පිරිස් කියා සිටිති.
රැඳවියන් 10 දෙනා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට අමතරව, අභියාචනය පුළුල් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අත්අඩංඟුවට ගෙන ත්‍රස්ත පනත යටතේ රඳවා සිටින රැදවියන්ගේ කඩිනම් සමාලෝචනයක් කිරීම ඇතුළුව, එම රැඳවියන්ට විධිමත් ලෙස චෝදනා එල්ල කරන ලෙස හෝ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස එය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
වසර ගණනාවක් – සමහර විට දශකයකට වැඩි කාලයක් – රඳවා තබා ගැනීමෙන් පසු නිදොස් කොට නිදහස් කරන ලද පුද්ගලයින් සඳහා සාධාරණ හා සමානුපාතික වන්දි ගෙවීමක් ද එම ප්‍රකාශය ඉල්ලා සිටින අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අවලංගු කරන ලෙස ද ඉල්ලා සිටී. එවැනි අවලංගු කිරීමක් බලාත්මක කරන තෙක්, ත්‍රස්ත පනත භාවිතා කිරීම සඳහා වහාම තාවකාලික තහනමක් පැනවීමට ප්‍රකාශය රජයෙන් ඉල්ලා සිටී.
තවද, අභියාචනය යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) ට හෙළා දකින අතර, එය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ත්‍රස්ත පනතෙහි හ විධිවිධාන පිළිබිඹු කරන ආදේශක නීති හඳුන්වා නොදීමට පොරොන්දු වන ලෙසත් රජයෙන් ඉල්ලා සිටී.
මානව හිමිකම් කණ්ඩායම්, කාන්තා ව්‍යාපාර, ආගමික ආයතන, වතු හා ධීවර සංවිධාන, තරුණ කණ්ඩායම්, ශාස්ත්‍රඥයින්, නීතිඥයින් සහ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින්, දුම්රිය සේවකයින් සහ ඇඟලුම් සේවකයින් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිති ඇතුළු පුද්ගලයින් සහ සංවිධාන 300 කට වැඩි පිරිසක් විසින් මෙම අභියාචනයට අත්සන් කර ඇත.
මෙම ලිපිය පල කැරෙන අවස්ථාව වන තුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.
සම්පූර්ණ ප්‍රකාශය:Sin_20-_20FINAL_20-_20Public_20Petition_20-_20Release_20all_20long-term_20Tamil_20Political_20Prisoners_compressed_compressed

