ඒකාබද්ධ ඉල්ලීම‍: දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවටපත් මලෛයහ දමිළ ජනතාවගේ ඉල්ලීම් ජනාධිපතිගේ අවධානයට

මලයියාහ ප්‍රජාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් ඔවුන්ගේ දුක්ගැනවිලි, විශේෂයෙන් දිට්වා සුනාමියෙන් පසු විසඳන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින් මලයියාහ ප්‍රජාව, දිගුකාලීන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ ව්‍යාපාරවල 300 කට අධික පිරිසක් විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක් නිකුත් කර  තිබේ. එය සම්පූර්නයෙන්ම පහත පළවේ.

2026 මාර්තු 30

දිට්වා ව්‍යසනයෙන් මාස කිහිපයක් ගතවී ඇතත්, පීඩාවටපත් මලෛයහ දමිළ පවුල් තවමත් අසරණ තත්ත්වයක දැඩි දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටිති. දිවයිනේ සෙසු ප්‍රදේශවල සහන සේවා, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතියක් තිබුණද, වතුකරයේ එම කටයුතු ඉතා මන්දගාමී මට්ටමක පවතී.

සිය ගණනක් පවුල් තවමත් පාසැල්, තාවකාලික කඳවුරු, කූඩාරම් සහ පැරණි විනාශවෙමින් යන වතු ගොඩනැගිලිවල කිසිදු ස්ථිර විසඳුමක් නොමැතිව ජීවත්වෙති. බොහෝ පිරිසක් නැවත නිවෙස් වෙත යවා ඇති නමුත් ඔවුන් පවසන්නේ එම නිවෙස් ජීවත්වීමට අනාරක්ෂිත බවයි. නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අපැහැදිලිතාවකි. රජය ප්‍රකාශයට පත් කළ සහන සහ වන්දි ලබාගැනීමේදී විධිමත් ඉඩම් හිමිකමක් නොමැති වතුකරයේ ජනතාව දැඩි දුෂ්කාරතාවලට මුහුණදෙති. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකුට කිසිවක් ලැබී නොමැත. වතුකර ප්‍රදේශයන්හි සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම පෞද්ගලික සමාගම් සතුද, නැතහොත් රජය සතුද පිළිබඳව නොවිසඳුණු තත්ත්වයක් තවමත් පවතී. මෙම පවුල් වර්තමානයේදී අත්විඳින පීඩාවන්ට ප්‍රධාන හේතුවක් වන්නේ රජයේ අපැහැදිලි ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බවයි.

එබැවින්, දිට්වා සුළි කුණාටුව මලෛයහ දමිළ ප්‍රජාව කෙරෙහි ඇති කළ දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින්, සහ පීඩාවට පත්වු වතු පවුල් තැනින් තැනට මාරු කිරීම නිසා ඇතිවී ඇති දැඩි පීඩාකාරී තත්ත්වය තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය වෙත අප ඉදිරිපත් කරන ඉල්ලීම් පහත පරිදි වේ:

  • නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ හෝ නැවත පදිංචි කිරීමට අවශ්‍ය මලෛයහ දමිළ පවුල් සඳහා රුපියල් මිලියන 5 ලබාදිය යුතුය. අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා රුපියල් මිලියන 5ක් දක්වාද ගෙවිය යුතුය. ඊට අමතරව, ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් ඇත්නම්, රුපියල් මිලියන 5ක් දක්වා වෙන් කළ යුතුය (NDRSC/02/04/10 චක්‍රලේඛණයට අනුව).

  • රටේ සෙසු පුරවැසියන්ට හා සමානව, කිසිදු වෙනස්කොට සැලකීමකින් තොරව සුදුසුකම් ලත් මලෛයහ දමිළ ජනතාවට නිවාස සහ අනෙකුත් හානි සඳහා සහන හා වන්දි ලබාදිය යුතුය. ආපදා සහන සැලසීමේදී සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී වතු සේවකයින් සහ සේවකයින් නොවන අය අතර කිසිදු වෙනසක් නොකළ යුතුය.

  • මේ රටේ භූමිය සමඟ මලෛයහ දමිළ ජනතාවගේ සම්බන්ධතාව සහතික කිරීම සඳහා, වතුකරයේ ප්‍රදේශ තුළ විධිමත් ඉඩම් ඔප්පු සහිත තනි නිවාස ලබාදිය යුතුය. වතුකර ප්‍රදේශවල මහල් නිවාස ආකාරයේ (බහු මහල්) නිවාස ව්‍යාපෘති ප්‍රතික්ෂේප කළ යුතුය.

  • ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය දිට්වා ව්‍යසනය සඳහා සහන සැලසීමට හෝ වෙනත් මාර්ගයකට යොමු නොකළ යුතුය. එය වෙනම, සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස පැවතිය යුතු අතර මුලින් සැලසුම් කළ පරිදි කඩිනම් ආකාරයකින් ක්‍රියාත්මක කළ යුතුය.

  • දිට්වා නිවාස ව්‍යාපෘති මගින් වතු ජනාවාස නිසි මාර්ග, විධිමත් ලිපිනයන්, විදුලිය, පානීය ජලය, සමාජ යටිතල පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම්වලින් සමන්විත ඒකාබද්ධ ගම්මාන ලෙස නැවත ගොඩනැගිය යුතුය. මෙම ක්‍රියාවලිය “වතු පද්ධතිය” අහෝසි කිරීමට සහ ඒවා “නව ගම්මාන” බවට පරිවර්තනය කිරීමට පහසුකම් සැලසිය යුතුය.

  • ඉඩම් අයිතිය සහ ‘නව ගම්මාන’ නිර්මාණය සහතික කිරීම සඳහා, වැවිලි සමාගම් සමඟ ඇති බදු ගිවිසුම් වහාම සංශෝධනය කළ යුතුය.

  • තාවකාලික කඳවුරු, කූඩාරම් සහ වෙනත් ස්ථානවල දැනට දුක් විඳින ජනතාව විවිධ ස්ථානයන්ට මාරු කරනවා විනා, ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතුය. අතිශයින් වැදගත් වන්නේ, නව නිවාස සඳහා ඉඩම් හඳුනාගැනීම සම්බන්ධ තීරණ ගැනීම කළ යුත්තේ බලපෑමට ලක්වූ පවුල් සමඟ සාකච්ඡා කිරීමෙනි.

  • ඉඩම් හිමිකාරිත්වයේ අයිතිය කාන්තාවන්ට සමානව ලබාදිය යුතුය.

  • ඉඩම් හිමිකාරිත්වය සහිත ස්ථිර නිවාස විසඳුමක් ලබාගන්නා තෙක්, සුදුසු ස්ථානවල සංක්‍රාන්ති නිවාස වහාම ලබාදිය යුතුය. මෙම නිවාස මූලික පහසුකම්වලින් සමන්විත විය යුතු අතර ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන්ට (SPHERE ප්‍රමිතීන්ට) අනුකූල විය යුතුය.

  • කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ව්‍යවසාය සහ ජීවනෝපාය ආශ්‍රිත හානි ආවරණය කරමින් මලෛයහ දමිළ පවුල් සඳහා රජයේ සහන සහ වන්දි ලබාදීමේදී, ඔවුන්ගේ නිශ්චිත අවදානම් සහගත තත්ත්වයන් විසඳීම සඳහා හුදෙක් විධිමත් සමානාත්මතාවයෙන් ඔබ්බට ගිය සාධාරණ (equitable) ප්‍රවේශයක් රජය විසින් අනුගමනය කළ යුතුය.

  • ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම පුරවැසියන්ට මෙන්, මලෛයහ දමිළ ප්‍රජාව සඳහා සහන සහ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හරහා යොමු කළ යුතුය. මේවා පෞද්ගලික සමාගම්වලට හෝ වැවිලි මානව සංවර්ධන භාරයට (Plantation Human Development Trust – PHDT) පවරා නොදිය යුතුය.

  • මලෛයහ දමිළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. සියලුම අයදුම්පත්, නිල නිවේදන සහ සන්නිවේදනයන් දෙමළ භාෂාවෙන් ලබාදිය යුතුය. රජයේ කාර්යාල මෙම පවුල් සමඟ ඔවුන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කරන බවට සහතික කළ යුතුය.

  • සහන සහ වන්දි ලබාගැනීමේදී දුෂ්කරතා හෝ දුක්ගැනවිලි තිබේ නම්, කාලෝචිත විසඳුම් ලබාදීම සඳහා විධිමත් දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණ ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් ස්ථාපිත කළ යුතුය.

  • කිසිදු කෙටි කාලීන ආපදා සහන පියවරක් මලෛයහ දමිළ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිවාසිකම් සඳහා වන දිගුකාලීන ඉල්ලීම් හෝ අරගලයට පටහැනි යමක් නොකළ යුතුය.

  • දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතුවල පාලම්, මාර්ග, පඩිපෙළ, රැඳවුම් බිත්ති සහ ප්‍රජා ගොඩනැගිලි ඇතුළු ප්‍රජා යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය සම්පූර්ණ වගකීම භාරගත යුතුය. පළාත් පාලන ආයතනවලට අරමුදල් වෙන් කිරීමට සහ වතු තුළ යටිතල පහසුකම් අලුත්වැඩියාව සහ සංවර්ධනය සිදු කිරීමට ඉඩ සලසන නීතිමය විධිවිධාන පිළිබඳව රජය ප්‍රාදේශීය සභාවලට පැහැදිලි උපදෙස් ලබාදිය යුතුය. මෙම ප්‍රදේශවලට පළාත් පාලන ආයතනයන්හි මැදිහත්වීම වළක්වන ආකාරයේ කිසිදු නීතියක් දැන් නොමැති අතර, ඒ පිළිබඳව අපැහැදිලි බවක් තිබේ නම්, එය පැහැදිලි කළ යුතුය.

ප්‍රතිපත්තිමය හිඩැස් පැහැදිලි කිරීමට හා අවශ්‍ය පරිපාලන නියෝග නිකුත් කිරීමට සහ මලෛයහ ප්‍රදේශවල සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගේ සහ අගමැතිනියගේ සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු. මෙම තීරණාත්මක ගැටළු විසඳීමට සහ විසඳුම් කරා ගමන් කිරීමට සාකච්ඡාවක් සඳහා වහාම අවස්ථාවක් ලබාදෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිනියගෙන් ඉල්ලා සිටිමු.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පීඩා විඳින මලෛයහ දමිළ ජනතාව වෙනුවෙන්, වර්තමානයේ ඇති ප්‍රගතියක් නොමැති බව නිවැරදි කිරීම සඳහා අපි සියලු දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විද්වතුන්ගේ සහාය අපේක්ෂා කරමු. විශේෂයෙන්, ජාතික ජනබලවේගයේ (NPP), දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) සාමාජිකයින් ඇතුළු මලෛයහ දමිළ ජනතාවගේ පාර්ලිමේන්තු නියෝජිතයින් මෙම ඉල්ලීම් අනුමතකර රජය තුළ තීරණ ගන්නන්ට බලපෑම් කරනු ඇතැයි අපි විශ්වාස කරමු. දුක් විඳින පවුල්වල ගෞරවනීය හා ඉක්මන් ප්‍රතිසාධනයක් සඳහා එකමුතුවෙන් එක්ව කටයුතු කරන ලෙස අපි ඔවුන් සැමට විවෘත ආරාධනයක් කරන්නෙමු.

Archive

Latest news

Related news