බාල ඖෂධ නඩුව: කෙහෙළිය ඇතුළු පිරිස මිලියන125ක් දඩ. නඩු පවරන ලෙස අල්ලස් කොමිසමට ශ්‍රේෂ්ඨාධීකරණය නියෝගයක්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) විසින් ගොනු කරන ලද ඖෂධ ප්‍රසම්පාදන සම්බන්ධ නඩුවේදී, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, ගොනු කරන ලද SC/FR 65/2023 නඩුකරයට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේදී ලබා දෙමින් , හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක යන අය, ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට වගකිව යුතු බවට තීන්දු කරන ලදී. TISL ආයතනය විසින් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගෞරවයෙන් යුතුව පිළිගනු ලබයි.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පහත විනිශ්චයන්ට එළඹිණ:
-
-
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයක් (Waiver of Registration) ලබාදීම නීතිමය නියමවලට පටහැනිව සිදුකරන ලද වැරදි සහගත, අත්තනෝමතික මෙන්ම වගවීම් විරහිත ක්‍රියාවකි.
-
සෘජු කොන්ත්‍රාත්තුවක් හෝ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් කෙරෙන යෝජනාවක් (unsolicited basis) මත පදනම්ව සිදුකරන ලද මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය නීතිවිරෝධී මෙන්ම බලරහිත වන අතර, එය අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ නීතිමය ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට අපොහොසත්ව ඇත.
-
අදාළ සැපයුම්කරු ලියාපදිංචි නොවූවෙකි; අවශ්‍ය ලේඛනගත කිරීම් සහ තත්ත්ව සහතික සපුරා නොමැත; ස්ථාපිත ක්‍රියා පටිපාටි මඟහැර ඇත; එකී කරුණු සම්බන්ධව පූර්ණ අවබෝධයෙන් යුතුව අදාළ නිලධාරීන්ද කටයුතු කර ඇත.
-
එම වෛද්‍ය සැපයුම් 38 සම්බන්ධයෙන් ‘සේවරිට් ෆාමසූටිකල්’ (Savorite Pharmaceuticals (Pvt) Limited) ආයතනය වෙත කිසිදු ගෙවීමක් සිදු නොකළ යුතුය.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරන ලදී:
-
-
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් රුපියල් මිලියන 75 ක මුදලක් රජයට ගෙවිය යුතුය.
-
වගකිව යුතු අනෙකුත් වගඋත්තරකරුවන් විසින් රුපියල් මිලියන 50 බැගින් රජයට ගෙවිය යුතුය.
-
අදාළ සිදුවීමට සම්බන්ධ ක්‍රියාකලාපයන් පිළිබඳව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරව පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) නියෝග කෙරිණි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ, අගවිනිසුරු පී. පද්මන් සූරසේන, විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන තිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
මහජන සුභසාධනය උදෙසා වගඋත්තරකරුවන් 47 දෙනෙකු නම් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම 2023 පෙබරවාරි 16 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී. ස්ථාපිත නීතිමය සහ නියාමන ආරක්ෂණ ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ‘සේවරිට් ෆාමසියුටිකල්ස්’ (Savorite Pharmaceuticals (Pvt) Limited) නම් ලියාපදිංචි නොවූ ඉන්දීය පෞද්ගලික සමාගමකින්, ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් කෙරෙන යෝජනාවක් (unsolicited proposal) හරහා වෛද්‍ය සැපයුම් වර්ග 38ක් මිලදී ගැනීමට එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත් ක්‍රියාමාර්ග මාලාව මෙම නඩුව හරහා අභියෝගයට ලක් කෙරිණි.
2023 අප්‍රේල් 06 වන දින මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමින්, අදාළ ප්‍රසම්පාදනය යටතේ තවදුරටත් ඖෂධ ආනයනය කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කළේය. එමෙන්ම, ඒ වන විටත් ලැබී තිබූ ඖෂධ තොගයක් භාවිතයට ගැනීමට පෙර දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතු බවට ද එහිදී නියෝග කෙරිණි.
නඩු විභාගය අතරතුර, මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පැවති බරපතල අක්‍රමිකතා අනාවරණය විය. තෝරාගත් සැපයුම්කරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොමැති බවත්, අවශ්‍ය ලේඛනගත කිරීම් සහ තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන් අනුගමනය කර නොමැති බවත්, අදාළ නීතිමය සහ නියාමන රාමුවලින් බැහැරව මෙම ප්‍රසම්පාදනය සිදු කර ඇති බවත් සාක්ෂි මගින් තහවුරු විය. එමෙන්ම, ස්ථාපිත ක්‍රියා පටිපාටි මඟහැරීමට සාධාරණීකරණය කළ හැකි කිසිදු සැබෑ හදිසි තත්ත්වයක් හෝ ඖෂධ හිඟයක් නොතිබූ බව ද අධිකරණය මෙහිදී නිගමනය කළේය.
2026 මාර්තු 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චය කරන ලද්දේ, මෙම ක්‍රියාවලිය හේතුවෙන් මහජනයාට බරපතල හානියක් සිදුව ඇති බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතිය හමුවේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත්ය.
වගවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් මෑතකදී පෙන්වා දෙන ලද පූර්වාදර්ශයන් මත මෙම තීන්දුව තවදුරටත් ගොඩනැගී ඇති අතර, රාජ්‍ය නිලධාරීන් නීතියට අනුකූලව සහ සැමවිටම තමන් සේවය කළ යුතු ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින බවට වූ මූලධර්මය මෙයින් යළිත් තහවුරු වේ. මහජන අරමුදල්වලට සහ පුරවැසි සුභසාධනයට හානි වන අයුරින් රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස භාවිත කර ඇති ආකාරය අධිකරණය මෙහිදී අවධාරණය කළ අතර, නිලධාරීන් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු සිය වගකීම් පැහැර හරින අවස්ථාවලදී ඔවුන් වගවීමට බැඳ තැබීමේ සිය කාර්යභාරය අධිකරණය විසින් මෙහිදී යළිත් සහතික කරන ලදී.
ආණ්ඩුකරණය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, විශේෂයෙන්ම පුරවැසි ජීවිත අවදානමට ලක් වන ලෙස බලය අවභාවිත කිරීම් හෙළිදරව් කිරීමට සහ ඒවාට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය තවදුරටත් කැපවී සිටියි.
මෙම නඩු විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනානි දයාරත්න මහතා සමඟ නිෂාදි වික්‍රමසිංහ, ලසන්තිකා හෙට්ටිආරච්චි, ජනනි අබේවික්‍රම සහ මහේෂිකා බණ්ඩාර යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
(ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) නිවේදනයකි.)