පාස්කු ඉරිදා ප්‍රහාරය සහ සලේ: විමල් වීරවංශගේ භයානක හෙළිදරව්ව සහ ඉතිරි සැකකරුවන් දෙදෙනා – සුනන්ද දේශප්‍රිය

“මෙවැනි මිතුරන් සිටින විට සතුරන් කුමටද” යැයි ඉංග්‍රිසි කියමනක් තිබේ. සුරේශ් සලේට විමල් වීරවංශ වැනි මිතුරන් සිටින විට සතුරන් අවශ්‍ය නැත.

අද දෙරණ’ විසින් උඩුගත කර තවමත් මුහුණ පොතෙහි ඇසිය හැකි වීඩියෝවක විමල් වීරවංශ කියන්නේ  2007 නොවැම්බර් 2 වන දින එල්ටීටීඊ දේශපාලන නායක තමිල් සෙල්වම් ඝාතන මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ සුරේශ් සලේ විසින් බවයි. ඔහු විශේෂ මෙහෙයුමක් සදහා කපිර් සහ තවත් ප්‍රහාරක ගුවන් යානාවක් සූදානම් කර තබන ලෙස නියෝග කර හරියටම ඉලක්කය දී තමිල් සෙල්වම් ඝාතනය කළේය.

ඒ වන විට සුරේශ් සලේ එනම් 2006-2009 අතර තුර සේවය කළේ පැරිසියේ ශ්‍රී ලකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් ලෙසය. රාජපක්ෂ පාලන කාලයන්හි යුරෝපයේ එල්ටීටීඊ ක්‍රියාකරකම් සහ රජයට විරුද්ධ පිරිස් සම්බන්ධ ඔත්තු සේවා පැවතියේ පැරිසියේ තානාපති කාර්යාලය යටතේය. සලේ යටතේ එකල දෙමළ සහ සිංහල ඔත්තුකරුවන් සිටින්නටද  ඇත. සමහර විට තමිල් සෙල්වම් පිලිබද තොරතුරු සලේට ලැබුනා ද විය හැකිය. මෙම ඝාතන විස්තරය විමල් වීරවංශට ලැබෙන්නට ඇත්තේද සලේ ගෙනි.

එක්කෝ මෙය ප්‍රබන්ධයකි. නැත්නම් සැතපුම් දහස් ගණනාවක් දුර සිට සන්නද්ධ ප්‍රහාර මෙහෙවීමේ බලය සලේ සතු වූ බව පෙන්වීමකි. පාස්කු ප්‍රහාර සිදු වන විට සලේ සිටියේ එතරම දුරක නොව ඉන්දියාවේය.

විමල් වීරවංශගේ භයානක හෙළිදරව්ව එය නොවේ. එකතට බලාත්මක වූ සටන් විරාම ගිවිසුම උල්ළංඝනයක කරන ලද්දේ සලේ ගේ මෙහෙයවීම මත බවට කරන ප්‍රකාශයයි. එනම් ලංකාණ්ඩුව විසින් කරන ලද උල්ළංගනයකි.

කෞශල්යන් ඝාතනය

ඒ එල්ටීටීඊ සංවිධානයේ මඩකලපුව – අම්පාර දිස්ත්‍රික් දේශපාලන අංශ නායකයාව සිටි ඊ. කෞශල්යන් ඝාතනය කිරීමයි. එම ඝාතනය සිදු කරන ලද්දේ 2005 පෙබරවාරි 7 වන දින රාත්‍රියේදීය. ඝාතනය සිදු කරන ලද්දේ කෞශල්යන් ඇතුළු පිරිස වන්නියේ සිට මඩකළපුව බලා යමින් සිටියදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සහ පුනානි අතර පිහිටි මඩකලපුව – හබරණ ප්‍රධාන මාර්ගයේදීය.  ඔවුන් ගමන් කළ වාහනයට වැලිකන්ද ප්‍රදේශයේදී සැඟවී සිටි සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට ජනාධිපති ධූරය දැරුවේ චන්ද්‍රිකා කුමාරතුංගය.

මෙම ප්‍රහාරයෙන් කෞශල්යන් ඇතුළු එල්ටීටීඊ සාමාජිකයින් තිදෙනෙකු (මතිමාරන් සහ කුමනන් ඇතුළුව) එම ස්ථානයේදීම මිය ගියහ. ඔවුන් සමඟ ගමන් කළ හිටපු ටීඑන්ඒ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රනේරු ආරියනායගම් ද බරපතල තුවාල ලබා පසුව මිය ගියේය.

මෙම ප්‍රහාරය කරන ලද්දේ එල්ටීටීඊ සංවිධානයෙන් කැඩී ගිය කරුණා – පිල්ලෙයාන් පාර්ශවය විසින් බවට  විශ්වසනීය තොරතුරු තිබේ.  මේ අවස්ථාව වනවිට පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සිටියේ එකම සංවිධානයකය. එහි සන්නද්ධ ක්‍රියාකාරකම් බාරව සිටියේ පිල්ලෙයාන්ය. මෙම ප්‍රහාරය සදහා ශ්‍රී ලංකා හමුදාව සහභාගී වූ බවට වාර්තා නැත.

2002 සිට පැවති සටන් විරාම ගිවිසුම  සමයේදී එල්ටීටීඊයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය වූ ප්‍රධානතම සිදුවීම මෙයයි. එය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් විය.

මෙම ප්‍රහාරය පිළිබඳව මෙතෙක් නොදැන සිටි රහසක් විමල් වීරවංශ ඉහත කී  වීඩියෝවෙහි දී ප්‍රකාශ කරයි. ඔහු කියන්නේ එම ඝාතනය ද මෙහෙයවන ලද්දේ සුරේශ් සලේ විසින් බවයි. ඊටත් වඩා බලගතු රහසක් ඔහු හෙළි කරයි. එනම් මෙම ප්‍රහාරය සදහා පාස්කු ඉරිදා ප්‍රහාර මෙහෙය වූ සහරාන් හෂීම්ගේ සහාය සලේ විසින් ලබා ගත් බවයි.  මෙම ප්‍රකාශය සලේ විසින් ප්‍රතික්ෂේප කර නැත. විමල් වීරවංශ කියන්නේ ඒ කාලයෙහි සහරාන් ත්‍රස්තවාදියකු නොවූ බවය.

විඩියෝව: https://www.facebook.com/reel/897482949940976

මෙම ප්‍රකාශයට අනුව සුරේශ් සලේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් මිනිස් ඝාතන කල පුද්ගලයකු වේ. තවද දෙමළ ජාතික සන්ධානයේ මංත්‍රීවරයකු වූ ඝාතනය කිරීමටද එනයින්  සුරේශ් සලේ වගකිව යුතුය. 2005 නොවැම්බර් මාසයේ ජනාධිපති ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ ද 2006 වසරෙහි දී එල්ටීටීඊය සමඟ සාම සාකච්ජාවක නිරත විය.

සටන් විරාම ගිවිසුම පැවති අවධියෙහි එය කඩකප්පල් කිරීමට සුරේශ් සලේ, සහරාන්ගේ සහාය ගත්තේ නම් එම සබඳතාවය දිගටම නොපැවතියේ යැයි කිව හැක්කේ කෙසේද? රනිල් වික්‍රමසිංහට අනුව නැගෙනහිර මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් ආරම්භ කරන ලද්දේ ද සලේ විසිනි.

සහරාන් සහ පිල්ලයොන් එක්ව කෞෂල්යන් ඝාතනය කරන ලද්දේ නම් ඒ පිටුපස සිටියේ සුරේශ් සලේ නම් එය අපට කියන්නේ කුමක්ද? ඔහු පාර රාජ්‍ය කණ්ඩායම් සමඟ දිගු කළක් වැඩ කළ බවයි.

මෙම හෙළිිදරව්ව කිරීම සම්බන්ධයෙන් අප විමල් වීරවංශට ස්තුතිවන්ත විය යුතුය.

දැන් මෙම සටහනෙහි දෙවැනි කොටසට යමු.

යාසින් ජෙගිල් පාස්

සුරේශ් සලේ තෙවැනි සැකකරු ලෙස නම් කර ඇති  නඩුවෙහි පළමු  සැකකරු වන්නේ යාසින් ජෙගිල් පාස් ය.

ඔහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණය හෙළිදරව් කිරීම වැළක්වීමට දැන දැන කටයතු කළේය යනුය.

2018 නොවැම්බර් 30 දිව වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමට  සහරාන් කණ්ඩායම සම්බන්ධ බව අනාවරණය වීම වැළැක්වීමට ඔහු තවමත් කටයුතු කරන බවට අධිකරණය හමුවෙහි ඇති ලේඛන මගින් ඔහුට චෝදනා එල්ල වේ.

ඊට හේතුව නම් එම ඝාතනයෙන් පසු  බුද්ධි අංශ විසින්ම ගෙනැවිත් දමන ලද  බවට සැක කරන ජැකට්ටුව සොයා ගත් බුද්ධි නිලධාරියා ඔහු වීමය. එම ඝාතන එල්ටීටීඊයට බැර කිරීමට කුමන්ත්‍රණයක් තිබූ බව සියයට සියයක්ම තහවුරු වී තිබේ. පොලිසියට පැමිණෙන ලෙස ලද පණිවිඩයක් අනුව සිය යතුරු පැදියෙන්  එහි ගිය අජන්තන් හැඳ සිටියේ එම ජැකට්ටුවයි. පසුව ඔහු බැලීමට ආ බිරිඳ එම ජැකට්ටුව නිවසට ගෙන ගියේය. බුද්ධි අංශ නිලධාරීන් නිවසින් එය සොරා ගෙන බෝක්කුව යටට දැම්මේය.  ඒ වන විටත් මෙම ප්‍රහාරය කරන ලද්දේ සහරාන්ගේ කණ්ඩායම විසින් බවට වාර්තාවක් බුද්ධි අංශ වෙත ලැබී තිබුණි. මෙම ජැකට්ටුව දැමීමත් අජන්තන් අත්අඩංගුවට ගැනීමත් සහරාන්ගේ කණ්ඩායමේ අපරාධය වසං කිරීමට කරන ලද කුමංත්‍රණයකි. මෙම කුමංත්‍රණය පිටුපස සිටියේ කුමන බුද්ධි ආයතනයක්ද කවර පුද්ගලයෙක් යන්න සොයා ගැනීම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගැනීමට මහඟු අත්වැලක් වනු නියතය.

එසේ නමුත් එම තොරතුරු යාසින් ජෙගිල් පාස්  අනාවරණය කරන්නේ නැත. ඔහු එම ජැකට්ටුව බොක්කුව යට සොයා ගත්තේ සිය ජංගම දුරකතනයට ලද පණිවිඩයකින් බව කියයි.  එනමුත් එම පණිවිඩය එවූ පුද්ගලයා නොදන්නා බව කියයි. ඔහුගේ සිම් පත අයත් වූ හච් සමාගම තවම අදාළ තොරතුරු ලබා දී නැත.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ ජැකට්ටුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් තොරතුරුකරු හෝ එම තොරතුරුකරුගේ දුරකථන අංකය විමර්ශන නිලධාරීන් වෙත අනාවරණය නොකිරීමෙන් පාස්කු ප්‍රහාරය දක්වා අතිශයින් බරපතළ අපරාධ සිදු කිරීමට මෝමඩ් සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් වෙත අවකාශය සලසා දීමට කටයුතු කළ කුමන්ත්‍රණයේ අභ්‍යන්තර මෙහෙයුම්කරුවන් අනාවරණය වීම ඕනෑකමින්ම වැළැක්වීමට ජෙගිල් බාවා කටයුතු කරන බවයි.

එම ප්‍රහාරය සහරාන් කණඩායම විසින් කරන ලද බවට ඊට පසුදා බුද්ධි තොරතුරුකරුවකු වාර්තාවක් ඉදිරිපත් කළේය. එහි ඔහු සදහන් කරන ලද තවත් කරුණක් නම් එදින සහරාන් කණ්ඩායම ගපූර් මාමාගේ නිවසට ගොස් එලුවකු කපා ආහාරයට ගත් බවයි. පසුව සහරාන්ගේ රියදුරු ලෙස ද ශරීෆ් ආදම් ලෙබ්බේ නොහොත් ගපූර් මාමා සේවය කළේය.

වව්නතිව් පොලිස් මුරපොළට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් ගපූර් මාමා ද අත්අඩංගුවට ගෙන පොලිසියේ සිටියේය. එනමුත් ඔහු නිදහස් කර යවන ලද්දේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවය. එලෙස නිදහස් කිරීමද පාස්කු ප්‍රහරයට මඟ සැලසීමේ කුමන්ත්‍රණයේම කොටසකි.

සුවඳරාළ සුදු නිලමේගේ සරත් සමන්ත

දෙවැනි සැකකරු වන සුවඳරාළ සුදු නිලමේගේ සරත් සමන්ත ද ව්වවනතිව් ඝාතන විමර්ශනය කළ බුද්ධි අංශ නිලධාරියෙකි. එවකට ඔහු මඩකලපු පොලිස් කොට්ඨාශ බුද්ධි අංශ ස්ථානාධිපති  විය.  ඔහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ අපරාධය එල්.ටී.ටී. ඊ. සංවිධානය විසින් සිදු කරන ලද අපරාධයක් බවට සමාජය තුළ  මතයක් තහවුරු කිරීම පිනිස තොරතුරු පොත්වල ව්‍යාජ සටහන් යොදා ඝාතකයා  අජන්තන් බවට නීතිමය රාමුව තුළට ගෙන ඒමට කටයුතු කිරීමය.

අජන්තන්  අත්අඩංගුවට ගැනීම  මඩකලපුව කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති වරයා වූ සරත් සමන්ත ඇතුළු නිලධාරීන්ගේ  තහවුරු කිරීම් මත සිදුකල බවට වව්නතිව් පොලිස් ස්ථානාධිපතිවරයා  සටහනක් යොදා තිබේ. පොලිස් වාර්තාවන්හි එම සටහන් යෙදුවේ ද සරත් සමන්තය.

දෙවන සැකකරු වන සුවඳරාළ සුදුනිලමේගේ සරත් සමන්ත යන අය වව්නතිව් ඝාතන සැකකරුවන්  වසං කිරීම සදහා සෘජු හෝ  වක්‍රාකාරව වගකිවයුතු බවට සාධාරණ යුක්ති සහගත ලෙස තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇති බව අධිකරණය වෙත අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතන අපරාධය සිදු කල මොහොමඩ් සහරාන්  කණ්ඩායමේ සාමාජිකයකු වන ගපූර් මාමා නැමැත්තා ප්‍රශ්න කිරීමට මඩකලපුව කොට්ඨාස බුද්ධි අංශය වෙත කැඳවා සිටිය දී  කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව මුදා හරින ලද බවට ද මෙම බුද්ධි අංශ ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

ගපුර් මාමා අත්අඩංගුවෙන් නිදහස් කිරීමට තමා නියෝග නොකළ බව එවකට මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති වූ කපිල ජයසේකර ප්‍රකාශයක් දී තිබේ.  ගපූර් මාමා නිදහස් කරන ලෙස කපිල ජයසේකර නියෝග කළ බවට සරත් සමන්ත කී බවට තවත් පොලිස් නිලධාරියකු ප්‍රකාශයක් දී තිබේ. සත්‍යය කුමක්වුවත් ගපූර් මාමා ප්‍රශ්න කිරීමකින් තොරව නිදහස් කිරීමෙන් පෙන්වන්නේ ද වවුනතිව් ඝාතන අපරාධකරුවන් හෙළිදරව් වීම වැළැක්වීමට පැහැදිලි කුමන්ත්‍රණයක් තිබූ බවය. පාස්කු ප්‍රහරයන්ගෙන් පසු අත්අඩංගුවට ගත් ගපූර් මාමා දැනට මහර බන්ධනාගාරයේ පසු වේ. මුල් අවස්ථාවෙහි දී ගපූර් මාමාගෙන් ප්‍රශ්න කරන ලද්දේ නම් සහරාන් කණ්ඩායමට පාස්කු ප්‍රහාරය තෙක් සැඟවී කටයුතු කිරීමට අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුනි.

මෙම සැකකරුවන් දෙදෙනා සහ ජෙනරල් සුරේශ් සලේ අතර වූ සම්බන්ධය කුමක්දැයි තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා නැත.

පරීක්ෂණ අවසන් නැත.

(මෙම ලිපිය සම්මුති විසම්මුති යටතේ අද නිකුත් වූ අනිද්දා පුවත්පතෙහි පළමු වර පළ විය.)

 

Archive

Latest news

Related news