Monday, January 26, 2026

බාලදක්ෂ සංගමයත් මාලිමාකරණයට; නුසුදුසු නීතිඥ මනෝජ් නානායක්කාර ප්‍රධාන කොමසාරිස්ධුරයට – ලසන්ත රුහුණගේ

බාලදක්ෂ සංගමයත් මාලිමාකරණයට ලක්කරයි, ප්රධාන කොමසාරිස් පුරප්පාඩුවක් නෑ, රෝධතා මැද සුදුසුකම් නැති මාලිමානුවකු ඒ සඳහා පත්කරයි.

රටේ විගණකාධිපතිවරයෙක් මාස දහයකට අධික කාලයක් තිස්සේ නැත්තේ ඇයි? ඒ සඳහා සුදුසුකම් සපුරා නැති ජනාධිපතිවරයාට අවශ්ය පුද්ගලයකු පත්කර ගැනීම සඳහා දරන උත්සාහය නිසාය. විගණකාධිපති ධුරය යනු රජයේ ඉහළම තනතුරකි. ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන එකකි. මේ ආකාරයට රජයේ ඉහළ තනතුරුවලට තමන්ට හිතවත් සුදුසුකම් ඇති හෝ නැති පුද්ගලයින් පත්කිරීමට ජනාධිපතිවරයා හා ජාතික ජන බලවේග ආණ්ඩුව ගත් උත්සාහයන්වල ලැයිස්තුව දිගය.

එමෙන්ම රජයට යම් සම්බන්ධයක් ඇති රජයේ නොවන ආයතන හෝ සංවිධානවලටත් තමන්ට හිතවත් හෝ තම පක්ෂයේ පුද්ගලයන් පත්කිරීමේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ නිරුවත ප්රදර්ශනය කළේ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ යෞවන සමාජ සම්මේලනයේ රටපුරා ප්රාදේශීයව ක්රියාත්මක යෞවන සමාජ විසුරුවා හැර ඒ සඳහා ප්රාදේශීය වශයෙන් කටයුතු කරන ජාතික ජන බලවේග ක්රියාකාරීන් පත්කිරීම මගින්ය. ඒ ආකාරයෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් වූයේ ඔවුන්ගේ සංකල්පයක් අනුව රජයේ විමධ්යගත අරමුදල් ප්රාදේශීය මට්ටමේදි වියදම් කිරීමේ තීන්දු තීරණ ගැනීම සඳහා ඇතිකරන ලද ප්රජා සංවර්ධන සභාවල ප්රධානීන් වශයෙන් ඔවුන්ගේ පළාත් පාලන ආයතන සභිකයින් හෝ පළාත් පාලන ආයතනවලට තරගකර පරාජයට පත්වූ අපේක්ෂකයින් පත්කිරීමය.

මේ ආකාරයේම වූ තත්වයක් ශ්රී ලංකා බාලදක්ෂ සංගමයට (මෙය රාජ්ය සංවිධානයක් නොවේ) ජනාධිපතිවරයා කරන්නට උත්සාහ කරන බව අපට වාර්තා වූ අතර ඒ සම්බන්ධ කරුණු පරික්ෂා කරමින් සිටින විට වාර්තා වූයේ ප්රධාන බාල දක්ෂ කොමසාරිස් ලෙස මනෝජ් නානායක්කාර පත්කිරීමේ සිදුවීමයි. 2026 වසර ආරම්භව මෙම පත්කිරීම සිදුකරන විට දින 13ක කාලයක් ගෙවී තිබූ අතර එතෙක් පෝතක බාලදක්ෂයාගේ සිට ආරම්භ වන බාලදක්ෂයින්ට පුහුණුවීම් සිදුකිරීමට අවශ්ය 2026 වසරට අදාළ බලපත්ර ජනාධිපතිවරයා විසින් බාලදක්ෂ කොමසාරිස්වරු ඇතුලු ඉන් පහළ නිලධාරීන්ටලබාදී තිබුනේ නැත. එය මෙතෙක් සාමාන්යයෙන් සිදුවී නොතිබූ දෙයකි. වසරක් ආරම්භ කරන විට බාලදක්ෂ කොමසාරිස්වරුන්ගේ සිට පහළට එම බලපත්ර නිකුත් කිරීම හිටපු ජනාධිපතිවරුන් විසින් සිදුකර තිබුණි. ඒ රටේ බාලදක්ෂ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහාය.

ප්‍රධාන බාලදක්ෂයාගේ අනිසි වැඩක්

ශ්රී ලංකා බාලදක්ෂ පනත අනුව රටේ ප්රධාන බාලදක්ෂයා වන්නේ ජනාධිපතිවරයාය. ඒ නිසා බාලදක්ෂ කොමසාරිස්වරු ඇතුළු ඉන් පහළට සිටින අයට බාලදක්ෂ කටයුතු කිරීම සඳහා වොරන්ට් හෙවත් බලපත්රය ලබාදෙන්නේ ඔහුය. මෙය හරියට ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා සේනාධිනායකයා වන සේය. ත්රිවිධ හුමදාපතිවරු පත්කිරීමද, ත්රිවිධ හමුදාවේ අධිකාරි ලත් නිලයන්ට පුද්ගලයන් පත්කිරීමද, ඔවුන්ට උසස් වීම් හා සේවා දිගු ලබාදීමද ජනාධිපතිවරයා සිදුකරන්නාක් මෙන්ය.

මෙම පත්කිරීමට පෙර ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ බලය නීත්යානුකූලව ලබා ගැනීමට නොහැකි නිසා ජාතික ජන බලවේගය විසින් වෙනත් බාලදක්ෂ සංගමයක් පිහිටුවා ඒ සඳහා අධ්යාපන අමාත්යාංශයේ අවසරය ලබාගැනීමට උත්සාහයක් ගෙන තිබූ අතර එයට ඉහළ අධ්යාපන බලධාරීන් අනුමැතිය ලබාදී නොතිබුණි. ඒ වසර සියයකට වඩා පැරණි ශ්රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ දශක ගණනාවක් තිස්සේ ඔවුන් කරන කටයුතු ඒ මගින් අවුල් විය හැකි යැයි කියමින්ය. පාසල්වලින් බාහිරව පිහිටුවා ඇති බාලදක්ෂ කණ්ඩායම් කිහිපයක් හැරුණ විට අති බහුතරයක් බාලදක්ෂ කණ්ඩායම් පවතින්නේ පාසල් කේන්ද්ර කරගනිමින් වීම එයට හේතුවයි.

ජනාධිපතිට යැවූ ලිපිය

ජනාධිපතිවරයා විසින් බලපත්ර නිකුත් නොකිරීමේ මෙම අර්බුදකාරි තත්වය තුළ 2026 ජනවාරි 05 දින සහිතව ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ යාවජීව සාමාජිකයන් හතර දෙනෙකු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ධුරයට විවිධ කණ්ඩායම් කිහිපයක් විසින් නම් කිහිපයක් යෝජනා කර ඇති බව ඔවුන්ට දැන ගන්නට ලැබී ඇති බවයි. එහෙත් ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ පනත හා රීතීන්ට අනුව ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ධුරයට තෝරා ගැනීමේ ක්රමවේදය පැහැදිලිව සඳහන් කර ඇති බවයි.

ඒ යටතේ එම ධුරය සඳහා ජනාධිපතිවරයාට යෝජනා වී ඇතැයි අනුමාන කරන නම් හා ඔවුන්ට එම ධුරය සඳහා ඉල්ලුම් කිරීමට නොහැකි හේතු දක්වා ඇත.

ඒ අනුව එක් නමක් වශයෙන් නීතිඥ කපිල කල්යාන පෙරේරාගේ නම සඳහන් කරන අතර ඔහුව ශ්රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ විධායක කමිටුව විසින් 2023 මැයි 27 දින වසර 05ක් සඳහා සංගමයේ කිසිදු නිලයක් දැරීමට නොහැකි ලෙස ඒකමතිකව යෝජනා සම්මත කරගෙන ඇති බව සඳහන් කරයි. ඒ 19 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට පෙර ශ්රී ලංකා බාලදක්ෂ සංගමයට රුපියල් ලක්ෂ 87කට ආසන්න මුදලක් අලාභ කිරීම හා ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වීමට සිටි පාසල් දරුවන්ට එයට සහභාගි වීමට නොහැකි වීම මත ඇතිවූ මානසික ආතතිය හේතුවෙනි. ඊට අදාලව ඇමුණුමක් එහි අමුණා ඇත.

ඊලඟ නම ලෙස සඳහන් කරන්නේ ශාන්ත මදුරාවේය. ඔහු සම්බන්ධයෙන් සඳහන් කරන්නේ පසුගිය වසර 10ක කාලය තුළ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ කිසිදු නිලයක් දරා නැති බව හා ඔහු ද්විත්ව පුරවැසියකු බවයි. ඒ සම්බන්ධයෙන්ද ඇමුණුමක් ඉදිරිපත් කර ඇත.

අනෙක් නම වශයෙන් සඳහන් කරන්නේ නීතිඥ මනෝජ් ලසන්ත නානායක්කාරයි. ඔහු පසුගිය වසර 05ක කාලය තුළ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ කිසිදු නිලයක් දරා නැති බවයි. ඒ සම්බන්ධයෙන්ද ඇමුණුමක් ඉදිරිපත් කර තිබේ. ඒ 2019 ජූලි 06 දින ශ්රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ මහා සභාවේදී සම්මත වූ යෝජනාවකි.

එහි පළමු යෝජනාව වශයෙන් සඳහන් වන්නේ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස්, නියෝජ්ය ප්රධාන කොමසාරිස්, ජාත්යන්තර කොමසාරිස්, ජාතික වැඩසටහන් කොමසාරිස් සහ සහාය ප්රධාන කොමසාරිස් යන තනතුරු සඳහා යම් තැනැත්තකු පත්කරනු ලබන්නේ නම් එම තැනැත්තා එකී පත්වීමට පෙර මූලස්ථාන කොමසාරිස්වරයකු ලෙස අවම වශයෙන් වසර 05ක සේවා කාලයක් තිබීම හෝ දිසා කොමසාරිස් ධුර කාල වන වසර 05 සම්පූර්ණ කාලයම බලපත්රලාභි දිසා කොමසාරිස්වරයකු ලෙස කටයුතු කර තිබීම සහ අවම වශයෙන් ජාතික පුහුණු කිරීමේ වැඩ සැලැස්මේ හතරවන අදියර ලී පදක්කම් උසස් පාඨමාලාව හදාරා තිබිය යුතුය යන්නයි.

එහි දෙවන යෝජනාව වශයෙන් සඳහන් වන්නේ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලස්ථාන කොමසාරිස් සහ සහාය මූලස්ථාන කොමසාරිස් යන තනතුරු සඳහා යම් තැනැත්තකු පත්කරනු ලබන්නේ නම් එම තැනැත්තා ඔහුට අදාල දිසාවේ දිසා ශාඛා සංගමයේ එකඟත්වය ලබාගත යුතු බව සහ බාලදක්ෂ ආචාර්යවරයකු ලෙස අවම වශයෙන් වසර දෙකක කාලයක් සඳහා අධිකාරි බලපත්රයක් දරා තිබීම සහ අවම වශයෙන් ජාතික පුහුණු කිරීමේ වැඩ සැලැස්මේ හතරවන අදියර ලී පදක්කම් උසස් පාඨමාලාව හදාරා තිබිය යුතුය යන්නයි.

එහි තුන්වන යෝජනාව ලෙස සඳහන් වන්නේ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් තනතුර සඳහා යම් තැනැත්තකු පත්කරනු ලබන්නේ නම් එම තැනැත්තා එම පත්වීමට පෙර ලෝක බාලදක්ෂ සංගමය විස්තර කර ඇති පරිදි ක්රියාකාරි පුහුණු කිරීමේ නායකයකු ලෙස අවම වශයෙන් වසර පහක කාලයක් සඳහා සේවා බාරකිරීමේ බලපත්රයක් දරා තිබිය යුතුය යන්නයි.

ප්රධාන බාලදක්ෂයා වන ජනාධිපතිවරයා විසින් ප්රධාන කොමසාරිස්, ජ්යෙෂ්ඨ කොමසාරිස්වරුන් සහ දිස්ත්රික් කොමසාරිස්වරුන් ගේ ධුරවලට අදාල බලපත්ර අලුත් කිරීම හෙවත් යාවත්කාලීන කිරීම කළ යුතුවේ. ඒ අනුව ශ්රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ විධායක සභාව 2025 දෙසැම්බර් මස පැවති රැස්වීමේදී සියලුම බලපත් අලුත් කිරීමට ඒකමතිකව අනුමත කර ඇති අතර ඒවා ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර තිබේ.

2026 වර්ෂයට වගකීම් අලුත් කිරීම යටතේ 2025 දෙසැම්බර් 11 දින ප්රධාන බාලදක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් බාලදක්ෂ කවුන්සිලයේ විධායක කමිටුව වෙනුවෙන් එහි සභාපති හා ලේකම් දැනුම් දෙන්නේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස්ගේ වරෙන්තුව හෙවත් බලපත්රය 2026 සැප්තැම්බර් 30 දක්වාද, නියෝජ්ය ප්රධාන කොමසාරිස්ගේ බලපත්රය 2026 දෙසැම්බර් 31 දක්වාද, ජාතික පුහුණු කොමසාරිස්ගේ බලපත්රය 2026 දෙසැම්බර් 31 දක්වාද සහකාර ප්රධාන කොමසාරිස්වරුන් 06 දෙනෙකුගේ බලපත්ර 2026 දෙසැම්බර් 31 දක්වාද දීර්ඝ කරන ලෙසය.

එමෙන්ම 2025 දෙසැම්බර් 29 දින සහිතව ශ්රී ලංකා බාලදක්ෂ සංගමය ජනාධිපතිවරයාට තවදුරටත් ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ පනත අනුව සාදන ලද බාලදක්ෂ කවුන්සිලයේ රීති අනුව ප්රධාන කොමසාරිස්, නියෝජ්ය ප්රධාන කොමසාරිස්, ජාතික පුහුණු කොමසාරිස් හා දිස්ත්රික් කොමසාරිස් යන අයගේ ධුර කාලය වසර 05කට සීමා වන බව හා එම වසර පහ තුළ එම කොමසාරිස්වරුන්ට සෑම වසරකම දෙසැම්බර් 31 දක්වා වලංගු වරෙන්තුවක් හෙවත් බලපත්රයක් නිකුත් කරන බවය. එමෙන්ම වත්මන් ප්රධාන කොමසාරිස්වරයා 2021 ඔක්තෝබර් 01 දින පත්කර ඇති බැවින් ඔහුගේ වසර 05ක කාලය 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන බවයි. තවද වරෙන්තු හෙවත් බලපත්ර අලුත් කිරීම 2026 ජනවාරි 01 දින සිට ක්රියාත්මක විය යුතු බවයි.

එමෙන්ම ප්රධාන බාලදක්ෂයා වන ජනාධිපතිවරයා ආසන්න වශයෙන් වරෙන්තු හෙවත් බලපත්ර 100කට පමණ අත්සන් තැබිය යුතු බවද, ප්රධාන කොමසාරිස් විසින් නිකුත් කරනු ලබන හා ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ සියලු නායකයින්ට වාර්ෂිකව නිකුත් කරනු ලබන වරෙන්තු හෙවත් බලපත්ර 5000ක් පමණ ඇති බවද, ඒවා වලංගුව පවතින්නේ 2025 දෙසැම්බර් 31 දින දක්වා පමණක් බවද, බලාත්මක කළ වරෙන්තුවක් අත්හිටුවීම, අවලංගු කිරීම හෝ ආපසු කැඳවීම සිදුකර නොමැති බවද සඳහන් කර ඇත.

එමෙන්ම එහි අවධාරණය කරන්නේ එස්සීඑෆ්ආර් 335/2018 ශ්රේෂ්ඨාධිකරණ නඩුවේ පවා සඳහන් වන්නේ ජනරජයේ ජනාධිපතිවරයා ප්රධාන බාලදක්ෂයා වීම හුදෙක් චාරිත්රානුකූල තනතුරක් බැවින් එය ඔහුගේ හෝ ඇයගේ අභිමතය අනුව පිළිනොගැනීමට තීරණය කළ හැකි බවත්, එය පිළිගන්නේ නම් ඔහු හෝ ඇය බාලදක්ෂ සංගමයේ අනුශාසක බවට පත්වන බවත්, සංගමය විසින් ඔහුට හෝ ඇයට ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පමණක් ප්රධාන කොමසාරිස් ඇතුළු උසස් නිලධාරින් පත්කළ යුතු බවයි. එමෙන්ම අනෙකුත් නිලධාරීන් පත්කිරීම වාර්ෂික මහා සභාවේදී සාමාජිකයින් විසින් සිදුකරන බවයි.

ජාතික ජන බලවේගය වෙනුවෙන් පසුගිය කාලයේ පෙනී සිටි නීතිඥ මනෝජ් නානායක්කාර ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස්වරයා වශයෙන් පත්කිරීමට පෙර සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉහත සඳහන් කරන ලද කරුණු ආශ්රයෙන් තේරුම් ගත හැකිය.

ඉන් එකක් වන්නේ රජයට අයත් නැති ස්වාධීන සංවිධානයක ප්රධාන කොමසාරිස් ලෙස තමන්ට හිතවත් ජාතික ජන බලවේගයේ පුද්ගලයකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයා 2026 වසර ආරම්භ වීමත් සමඟ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු කරගෙන යෑමට අවශ්ය වොරන්ට් හෙවත් බලපත්ර අලුත් කිරීම් පමා කර ඇති බවයි.

තවත් එකක් වන්නේ ප්රධාන කොමසාරිස් ලෙස තවදුරටත් මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා කටයුතු කළ යුතු පුද්ගලයාගේ වොරන්ට් හෙවත් බලපත්රය අලුත් කිරීම ජනාධිපතිවරයා මඟහැර ඇති බවයි. ඒ වෙනුවට බාලදක්ෂ ප්රධාන කොමසාරි ධුරය සඳහා යෝජනා කිරීමේ බලය හිමි බාලදක්ෂ කවුන්සිලයේ යෝජනාවක් නොතිබුණ පුද්ගලයකු එම ධුරයේ පුරප්පාඩුවක් නොතිබියදී ජනාධිපතිවරයා විසින් ඒ සඳහා පත්කර ඇති බවයි. එසේම එසේ පත්කළ පුද්ගලයාට බාලදක්ෂ කවුන්සිලයේ රීති අනුව එම තනතුරට පත්වීමට අවම සුදුසුකම් පවා නොමැති බවයි.

මින් ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇත්තේ යම් පුද්ගලයකු යම් තනතුරකට පත්කිරීමේදී නීති රීති සම්බන්ධයෙන් මෙන්ම සුදුසුකම් පිළිබඳව ඔහු තැකීමක් සිදුකරන්නේ නැති බවයි.

අත්තනෝමතිකව ඔහු කටයුතු කරන බවයි. ආණ්ඩුව පමණක් නොව රජයද ජාතික ජන බලවේගයේ එකක් බවට පත්කිරීමේ වෑයම අනුව යමින් රජයේ නොවන ආයතන හා සංවිධානද ජාතික ජන බලවේගයේ එකක් බවට පත්කිරීමට උත්සාහ දරමින් සිටින බවයි. එයට හොඳම උදාහරණය වන්නේ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් ධුරයට සිදුකළ මෙම පත්කිරීමයි. බලයට පත්වීමට පෙර ජනාධිපතිවරයා ප්රසිද්ධියේ නොකී වෙනස එය විය හැකිය. එහෙත් ජනතාව බලාපොරොත්තු වූ වෙනස එය නොවන බව මතක් කළ යුතුය.

ලසන්ත රුහුණගේ Face Book වෙතිනි

Archive

Latest news

Related news