පරිණාමන ජනවරම: වෙනසක පොරොන්දුව, යථාර්ථය සහ ශේෂ පත්‍රය – ලයනල් බෝපගේ
ජවිපෙ නායක අනුර කුමාර පත්‍රිකා බෙදමින්
(පළමුවන කොටස)
මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්‍රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්‍රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) පිළිබඳ සංකල්පය, සංක්‍රාන්ති යුක්තියේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව අතර පරතරය සහ බාහිර ආර්ථික පීඩන ඇතුළු ආර්ථික යථාර්ථයන් පරීක්ෂා කර බලනවා ඇත. තුන්වැනි කොටස සහභාගීත්ව පාලනය, නිලධරය තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාවය, දැවී යාම ඇතුළු නායකත්ව අභියෝග සහ තිරසාර පරිණාමනය සඳහා පවතින ඉදිරි මාවත ගවේෂණය කරනු ඇත.
ආණ්ඩු වෙනසකට වඩා වැඩි යමක්
2024 NPP මැතිවරණ ජයග්‍රහණය ආණ්ඩු වෙනසකට වඩා වැඩි යමක් නියෝජනය කලේය. පාර්ලිමේන්තු ආසන 225 න් 159 ක් ලබා ගෙන, NPP ය පෙර නොවූ විරූ මහජන කලකිරීමේ රැල්ලක් සමඟ බලයට පත් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම බලයට පැමිණියේ අනුග්‍රාහක දේශපාලනය අහෝසි කිරීම, අධික පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත් කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ 2022 ආර්ථික බිඳවැටීමෙන් තවමත් පීඩා විඳින පුරවැසියන්ට සහන සැලසීම යන අභීත ප්‍රතිඥාවන් සමඟිනි. ඡන්දදායකයින්ගේ පණිවිඩය සරල ය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති අතර, ක්‍රමයෙන් කරන ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රමාණවත් නොවනු ඇත. රට ඉල්ලා සිටියේ මූලික ක්‍රම වෙනසකි.
මෙම මැතිවරණ වරම ලැබුණේ වසර ගණනාවක් තිස්සේ ගොඩ ගැසී තිබූ දුක්ගැනවිලි වලින් මතු වී ආ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා ය. දේශපාලන ප්‍රභූ පැලැන්තීන් ප්‍රතිවිපාකවලින් ආරක්ෂාව සිටිනු පෙනුණු අතර පුරවැසියෝ තම ආර්ථිකය බිඳ වැටෙන ආකාරය, ඉතිරි කිරීම් වාෂ්ප වී යන ආකාරය සහ ජීවන තත්ත්වය පහත වැටෙන ආකාරය බලා සිටියහ. NPP පොරොන්දුව වූයේ පවතින ක්‍රම පද්ධති වඩා හොඳින් කළමනාකරණය කිරීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ බලය ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණයෙන් නැවත සකස් කිරීමකි. නව ආණ්ඩුව මුහුණ දුන් ප්‍රශ්නය වූයේ ආර්ථික යථාර්ථයේ සහ ජාත්‍යන්තර බැඳීම්වල සීමාවන් තුළ එවැනි පරිණාමනයක් සාක්ෂාත් කර ගත හැකිද යන්නයි.
IMF ද්වෛධය
බලයට පත් වීමෙන් පසු ඉක්මණින් ගැහැටකාරී පරස්පරයක් මතු විය. NPP පරිපාලනය, IMF ගිවිසුම පිළිබඳව කරන ලද දැඩි ප්‍රචාරක විවේචන තිබිය දී, අසමත් ප්‍රතිපත්තිවලින් සපුරා ඉවත් වීමේ පොරොන්දු තිබිය දී තමන් හෙළා දුටු පෙර පැවති ආණ්ඩුව ගත් හා ඒ හා සමාන වැනි මහා පරිමාණ ආර්ථික පියවර ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. ඩොලර් බිලියන තුනේ IMF ඇප දීම බාධාවකින් තොරව නොකඩවා කෙරුණේය. ආදායම පදනම් කර ගත් මූල්‍ය ඒකාබද්ධ කිරීම සැලසුම් කළ අන්දමට ඉදිරියට ගියේය. පුරවැසියන්ට විදුලිය සහ ඉන්ධන සඳහා වෙළඳ පල මිල ගණන් ගෙවීමට අවශ්‍ය කරන පිරිවැය-පිළිබිඹු කරන උපයෝගීතා මිල කරණය එලෙසින් ම පැවතුණි.
දුෂ්කර තත්වයන් යටතේ වුව
කෙසේ වෙතත්, හැකි හැම තැනකම මෙම කටුක යථාර්ථයන් සැහැල්ලු කිරීමට ආණ්ඩුව උත්සාහ කළේය. දැඩි මූල්‍ය සීමාවන් තුළ කටයුතු කරමින්, ඔවුහු අවදානමට ලක් විය හැකි ජන කොටස් ආර්ථික කම්පනවලින් ආවරණය කිරීම සඳහා සහනාධාර ලබා දුන්හ. තරඟකාරී භූ දේශපාලනික අපේක්ෂාවන් සහිතව ණය සහ ආයෝජන ලබා දුන් කලාපීය දැවැන්තයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනය අතර ඔවුහු ප්‍රවේසමෙන් ගමන් කළහ. මෙම සියුම් රාජ්‍ය තාන්ත්‍රික නර්තනයට ජාතික ස්වෛරීභාවය රැක ගනිමින් ණය හිමියන් දෙදෙනාව ම සතුටු කිරීම අවශ්‍ය විය. එහෙත්, ආවේණික සීමාවන් තුළ ක්‍රියාත්මක වන විට වෙනසක් කෙතරම් අර්ථවත් විය හැකිද යන්න පිළිබඳ ප්‍රශ්න පැන නංවමින්, මූලික ආර්ථික රාමුව නොවෙනස්ව පැවතිනි.
මෙම අඛණ්ඩතාව NPP ය මුහුණ දෙන පුළුල් අභියෝගයක් පිළිබිඹු කරයි. ඔවුහු බලය දිනා ගත්තේ ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම නව මාවතක් හැඩ ගන්වන්නට අතීතයෙන් තීරණාත්මක ලෙස බිඳී යාමට පොරොන්දු වෙමිනි. ඒ වෙනුවට, ඔවුහු පෙර පැවති ආණ්ඩු විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර බැඳීම්වලින් කොටු වී සිටියහ. ඒ බැඳීම් කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකි දැඩි මූල්‍ය යථාර්ථයන් විය. ඒවා ණය අර්බුදය, ස්වාභාවික විපත් සහ ගෝලීය ආර්ථික බාධාවන්ට මුහුණ දෙන කුඩා දූපත් ආර්ථිකයකට ලබා ගත හැකි උපාමාරු අවකාශය දැඩි ලෙස සීමා කලේය.
ජයග්‍රහණ සහ නොනිමි අභියෝග
Verité Research හි ප්‍රතිපත්ති ප්‍රකාශන ලුහු බඳින අනුර මීටරයට (https://veriteit.github.io/Anurameter-eng/) අනුව, 2026 ජනවාරි වන විට NPP ආණ්ඩුව, විශේෂයෙන් මූල්‍ය විනය සහ දූෂණ විරෝධී ක්ෂේත්‍රය තුළ දෙන ලද එහි මූලික මැතිවරණ පොරොන්දුවලින් සැලකිය යුතු කොටසක් ඉටු කර ඇත. 2025 නොවැම්බර් වන විට, ආණ්ඩුව ප්‍රධාන පොරොන්දු 30 න් 10 ක් ඉටු කර තිබුණි. ඒ ජයග්‍රහණ සැලකිය යුතු ඒවා වේ. 2007 න් පසු ඉහළම රාජ්‍ය ආදායම අත් කර ගත් ආණ්ඩුව, 1977න් පසු අඩුම අයවැය හිඟය වාර්තා කළේය. එය ශ්‍රී ලංකාවේ මුල්ම ප්‍රාථමික ගිණුම් අතිරික්තය ද අත් කර ගත්තේය. හිටපු ජනාධිපතිවරුන්ට නිවාස, දීමනා සහ නිල කාර්ය මණ්ඩල ඇතුළු රාජ්‍ය අනුග්‍රහය ලත් ප්‍රතිලාභ අහිමි කිරීමට පාර්ලිමේන්තුව ඡන්දය දුන්නේය. මන්ත්‍රීවරු සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ද අහෝසි කරන ලදී.
අල්ලස් කොමිසම ප්‍රතිව්‍යුහගත කරන ලදි. ඉහළ පෙළේ දූෂණ නඩු විභාග කිරීමට නීතිපති කාර්යාලයට බලය ලැබුනේය. එහෙත්, ප්‍රතිඵල තවමත් දැක ගත නොහැකිය. අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසික ගෙවීම් රුපියල් 7,500 සිට 10,000 දක්වා වැඩි කරන ලදි. ආබාධිත පුද්ගලයින් සහ නිධන්ගත වකුගඩු රෝගීන් සඳහා ඒ හා සමාන වැඩි කිරීම් සිදු කර තිබේ. මලයියහ කම්කරුවන් සඳහා යෝජිත අවම දෛනික වැටුප වැඩි කිරීම මෙම මාසයේ සිට ආරම්භ වීමට නියමිත ය. ඒ සඳහා දිනකට රුපියල් 200 ක අමතර ආණ්ඩුවේ දිරි දීමනාවක් ද ඇතුළත් වේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
කෙසේ වෙතත්, සැලකිය යුතු අභියෝග ජය ගත යුතුව ඇත. ජාතික ජන බලවේගයේ ක්‍රම පද්ධති වෙනස් කිරීමේ න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය තේමාවක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තවමත් සාක්ෂාත් කර ගත යුතුව ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නව ත්‍රස්ත විරෝධී නීතියක් වන රාජ්‍යය ත්‍රස්තවාදයෙන් වැළැක්වීමේ පනත (PSTA) මගින් ප්‍රතිස්ථාපනය කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇත. කෙසේ වෙතත්, යෝජිත කෙටුම්පත, මර්දනකාරී බලතල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනවලට මුහුණ දෙයි.
ඇතැම් අන්තර්ගත පිළිබඳව ඇති වූ ප්‍රතික්‍රියා සහ ප්‍රමාණවත් උපදේශන නොමැති වීම හේතුවෙන් 6 වන ශ්‍රේණිය සඳහා ජාතික විෂය මාලාවට කරන්නට තිබූ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් තබන ලදී. තවමත්, මහ බැංකු බැඳුම් කර වංචාව වැනි ඉහළ පෙළේ නඩු පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග ඉතා අල්පය. අධිකරණ හා ස්වදේශ කටයුතු අතින් මුල් අවධියේ දී ඉහළම මට්ටම්වල සිදු කරන ලද ඇතැම් සම්මුති පිළිබඳව චෝදනා එල්ල වේ. ජාතික සංචිතවලින් සැලකිය යුතු සහන වියදම් යොදවා ගැනීම අවශ්‍ය කළ දිත්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීම කෙරෙහි ආණ්ඩුව සැලකිය යුතු අවධානයක් යොමු කරන බව පෙනේ.
ඊටත් වඩා සිත කලඹන කාරණය වන්නේ, කළු සල්ලි සහ මුදල් විශුද්ධිකරණ මෙහෙයුම්වල නියැලී සිටි බවට චෝදනා එල්ල වූ ඇතැම් පුද්ගලයින්, පවසන අන්දමට, වගවීම කට ලක් කර නොමැති බවත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කර නොමැති බවත් ය. මෙම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමෙන් වළක්වා ලන ඉහළම මට්ටම්වල සිටින සැක සහිත බලපෑම් කරන පුද්ගලයන් පිළිබඳ කටකතා පැතිර යයි.
දූෂණ විරෝධී ව්‍යාපාරය: සංකේත වාදය සහ භාවාර්ථය
ස්වාධීන විශ්ලේෂකයෝ, මැතිවරණ පොරොන්දු සහ 2025 පුරා සැබෑ ක්‍රියාකාරිත්වය අතර පුළුල් වන පරතරයක් ලේඛනගත කිරීමට පටන් ගත්හ. දූෂණ විරෝධී මෙහෙයුම සිත් ඇද ගන්නා සිරස්තල උත්පාදනය කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු ප්‍රබලයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීම හඟවා ලූයේ, නව ආණ්ඩුව වගවීම ගැන බැරෑරුම් ලෙස කටයුතු කරන බවයි. අවසානයේ, ජාතික සම්පත් කොල්ල කා තිබුණු අයට ප්‍රතිවිපාක විඳින්නට සිදු වන බවක් පෙනුණේය.
එහෙත් මෙම ඉහළ පෙළේ අත්අඩංගුවට ගැනීම් බොහෝ දුරට නාට්‍යමය, සංකේතාත්මක ජයග්‍රහණ බවට විචාරකයෝ තර්ක කළහ. ඒවා අවධානය දිනූ නමුත් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා පාලනයට යටින් පැවති සංකීර්ණ අනුග්‍රාහක ජාල බිඳ දැමීමට අසමත් විය. සැබෑ පරීක්ෂාව වූයේ ප්‍රමුඛ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නොව ක්‍රම පද්ධතිය ම වෙනස් කරනු ලැබේවිද යන්නයි. සාක්ෂිවලින් පෙනී යන්නේ එය එසේ නොවන බවයි. තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය කිරීමට ලක් කරන බවට කලින් පොරොන්දු වුවද, ඒ ආයතන පෙර පරිද්දෙන් දිගටම ක්‍රියාත්මක වේ.
ඊටත් වඩා සිත කලඹන කාරණය වන්නේ, කළු සල්ලි සහ මුදල් විශුද්ධිකරණ මෙහෙයුම්වල නියැලී සිටි බවට චෝදනා එල්ල වූ ඇතැම් පුද්ගලයින්, පවසන අන්දමට, වගවීම කට ලක් කර නොමැති බවත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කර නොමැති බවත් ය. මෙම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමෙන් වළක්වා ලන ඉහළම මට්ටම්වල සිටින සැක සහිත බලපෑම් කරන පුද්ගලයන් පිළිබඳ කටකතා පැතිර යයි. මෙම රටාව, ක්‍රම පද්ධතික වෙනසක් සඳහා ආණ්ඩුව කොපමණ කැප වී ඇත් දැයි යන්නට එදිරිව, මුල් හේතු ආමන්ත්‍රණය නොකොට, වගවීම සඳහා පවතින මහජන ඉල්ලීම සපුරා ලන කාර්ය සාධන කටයුතුවල නිරත වීමට ආණ්ඩුවේ ඇති කැමැත්ත පිළිබඳ මූලික ප්‍රශ්න මතු කරයි.
රාජ්‍ය ව්‍යවසාය අර්බුදය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය රටේ ආර්ථික අර්බුදයට බරපතළ ලෙස දායක වේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා දුම්රිය වැනි ප්‍රමුඛ මෙහෙයුම් ද ඇතුලත් ව ආණ්ඩුව පවත්වා ගෙන යන ආයතන රාශියක් දැවැන්ත පාඩු, නිධන්ගත අවකළමනාකරණය සහ නිර්දය දේශපාලන මැදහත් වීම් හා සමාන වචන බවට පත්ව ඇත. හීන වන ප්‍රතිලාභ ලබා දෙමින්, සමස්ත ආර්ථිකය ම අඩපණ කරන මූල්‍ය කළු කුහරයක් බිහි කරන ඒ ව්‍යවසායයන් මහජන අරමුදල් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරයි. විමර්ශන මණ්ඩල පත් කර, වාර්තා නිකුත් කරන ලද නමුත්, බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තිය දෙගුණ කරමින්, ඒ වාර්තා කඩිනමින් ම බැහැර කරන ලදි.
ගැටලුව හුදු අකාර්යක්ෂමතාවට වඩා ගැඹුරු ය. ඉහළ තනතුරු දරන ඇතැම් සේවකයින් ආයතනික වියදමින් රහසිගත ලාභ ලබා ගැනීම සඳහා තම තනතුරු යොදා ගන්නා බව කියනු ලැබේ. එහෙත්, අනතුරු ඇඟවීමේ සංඥා පුරෝකථනය කළ හැකි බොහොමයක් රටාවන් අනුගමනය කළ යුතු අතර එවැනි සංඥා සොයා ගත හැකිය; ඒවා සොයා ගත යුතුය. උදාහරණයක් ලෙස, පාඩු ලබන ආයතනවල පුද්ගලයින් හදිසියේ ම ඔවුන්ගේ නිල වේතනවලට නොගැළපෙන අන්දමේ ජීවන රටා වැඩිදියුණු වීම් පෙන්නුම් කිරීම; නිශ්චිත කාර්යයන් හෝ සේවාදායකයින් සම්බන්ධයෙන් සන්තක කර ගන්නා ආකාරයේ හැසිරීම් ප්‍රදර්ශනය කිරීම; එදිනෙදා කරන කටයුතු සම්බන්ධයෙන් අසාමාන්‍ය ලෙස රහසිගත වීම හෝ ආරක්ෂාකාරී වීම; පුද්ගලික ව්‍යාපාරවල ට මුක්කු ගසන්නට ආයතනික සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම දැක්විය හැකිය. වෙළඳපළේ පවතින තත්ත්වයන්ට අනුරූපී නොවන පැහැදිලි කළ නොහැකි අන්දමේ ලාභ පහත වැටීම් මූල්‍යමය අවදානම් පෙන්වා දෙනු ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමස්ත ගුවන් යානා බළඇණිය යලි සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පැවැත්වීමට නිර්දේශ කළ වැලිඅමුණ වාර්තාව (https://tinyurl.com/bdzcpr67) කැපී පෙනෙන නිදසුනකි. එය නිගමනය කර තිබුනේ, ආයතනයේ කළමනාකරණ සංස්කෘතිය සහ එහි ව්‍යාපාර මෙහෙයුම් වෙත කරන බාහිර මැදිහත් වීම් ඊට දායක වන ප්‍රධාන සාධක බව යි. එකල සිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා වාර්තාවේ සඳහන් මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් නෛතික (forensic) විගණනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. එහෙත්, පෙනෙන අන්දමට, අමාත්‍යවරයා “අධික පිරිවැය” හේතුවෙන් එම තීරණය අත්හැර දැමුවේය (https://www.srilankan.com/en_uk/corporate/news-details/194). කෙසේ වෙතත්, වාර්තාවේ ඉස්මතු කර ඇති අභ්‍යන්තර හා විනය ගැටළු විසඳීමට හැකි සෑම පියවරක් ම ගෙන ඇති බව ගුවන් සමාගම ප්‍රකාශ කර සිටියේය.
ඒ සමානවම, ජාතික විගණන කාර්යාලය (NAO) ශ්‍රී ලංකා දුම්රිය සේවය තුළ ක්‍රම පද්ධතික අවකළමනාකරණය සහ දූෂණය හඳුනා ගත්තේය (https://www.themorning.lk/articles/rwXNynsq4fGd0TYNrQhr). නිධන්ගත අවිශ්වාසනීයත්වයට සහ දුර්වල පහසුකම් වලට මං පාදමින් මගීහු නොකඩවා සිදු වන දුම්රිය ප්‍රමාදයන් අත් වින්දෝය. අඛණ්ඩ ආයෝජන තිබියදීත්, මෙහෙයුම් අකාර්යක්ෂමතා බහුලව පැවතුණි. විගණනයකින් හෙළි වූයේ තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරවන අසාර්ථක ප්‍රසම්පාදන පිළිවෙත් සහ නිලධාරීන් අතර දඬුවම් නොලැබීමේ සංස්කෘතියකි. අතීත අසාර්ථකත්වයන් ඉස්මතු කරන්නේ ආයතනය තුළ පවතින නොසැලකිලිමත් කම සහ අවකළමනාකරණය පිළිබඳ අප්‍රසන්න උරුමයකි. 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අවසාන විගණන වාර්තාව ද (https://www.parliament.lk/uploads/documents/paperspresented/1758191292038263.pdf) එතරම් සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් නොකරයි.
රජය සතු ව්‍යවසායයන් පීඩාවට පත් කරන ව්‍යුහාත්මක ගැටළු ආමන්ත්‍රණය කිරීමෙන් තොරව, මූල්‍යමය තිරසාර බව අදෘශ්‍යමාන ලෙසත්, ආර්ථික ප්‍රතිසාධනය හිස් පොරොන්දුවක් ලෙසත් පවතිනු ඇත.
මෙම තත්ත්වය එවැනි ආයතනවලට බලපාන දිගටම පවතින අඛණ්ඩ ගැටළු විසඳීම සඳහා ක්‍රමවත් ආරක්ෂණ ක්‍රමවල අවශ්‍යතාවය ඉස්මතු කරයි. සබැඳියා ගැටුම් සොයා ගැනීම සඳහා ආයතන සේවක වාර්තා සමග වෙළෙන්දාගේ තොරතුරු තහවුරු කළ යුතුය. සැලකිය යුතු ගනුදෙනු සඳහා ද්විත්ව අවසරයක් අවශ්‍ය කළ යුතු අතර, එමඟින් තනි පුද්ගලයෙකු සැක සහිත ගනුදෙනු අනුමත කිරීමෙන් වළක්වා ලයි. අසාමාන්‍ය දත්ත හුවමාරු කිරීම් නිරීක්ෂණය කළ යුතුය. සේවකයෝ බාහිර ව්‍යාපාරික ඵල ප්‍රයෝජන හෙළි කිරීම කළ යුතුය. සැක සහිත කටයුතු මතු වන විට, විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර, අධිකරණයේ වගවීම තහවුරු කිරීම සඳහා ලබා ගන්නා නීතිමය උපදේශන සහිතව, විධිමත් විමර්ශන මගින් ස්ථිර සාක්ෂි එක් රැස් කළ යුතුය.
මෙම ව්‍යවසායයන් අර්ථවත් අන්දමින් ප්‍රතිසංවිධානය කිරීමට NPP ය අසමත් වීම විසින් නියෝජනය කරනු ඇත්තේ එහි පරිණාමනීය න්‍යාය පත්‍රය පිළිබඳ තීරණාත්මක පරීක්ෂාවකි. රජය සතු ව්‍යවසායයන් පීඩාවට පත් කරන ව්‍යුහාත්මක ගැටළු ආමන්ත්‍රණය කිරීමෙන් තොරව, මූල්‍යමය තිරසාර බව අදෘශ්‍යමාන ලෙසත්, ආර්ථික ප්‍රතිසාධනය හිස් පොරොන්දුවක් ලෙසත් පවතිනු ඇත. ප්‍රශ්නය වන්නේ වත්මන් අක්‍රිය ක්‍රම පද්ධතියෙන් ප්‍රතිලාභ ලබන මුල් ඇද ගත් වරප්‍රසාද වලට මුහුණ දෙන්නට තරම් දේශපාලන අධිෂ්ඨානයක් තිබේද යන්නයි.
මතු සම්බන්ධයි.
2026 ජනවාරි 26 වන දා