Wednesday, January 21, 2026

ප්‍රගීත් ඝාතක චූදිත ටී.ඊ.ආර්. පීරිස් කර්නල් දක්වා උසස් කිරීම: ඇමතිට උඩින් හමුදාපති තීන්දුව දෙයි!

සුනන්ද දේශප්‍රිය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ අධිචෝදනා ලබා සිටින 9 වැනි විත්තිකරු වන ලුතිනන් කර්නල් ටී.ඊ.ආර්. පීරිස් (O/64454) හෙවත් ලුතිනන් කර්නල් එරන්ත රදීෂ් පීරිස් ජනවාරි 11 දා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් කර්නල් ධූරයේ සිට තාවකාලික බ්‍රිගේඩියර් ධූරයකට උසස් කිරීම  සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්සට උඩින් හමුදාපති තීන්දුවක් දී තිබේ.

මෙම උසස් වීම දෙන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.

මෙම උසස් කිරීම ප්‍රථමයෙන් වාර්තා කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙබ් අඩවියයි. එය මෙහි කියවිය හැකිය. ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන සැකකාර මිලිටරි නිලධාරියකුට කලු ජනවාරියේදී ජනපති දිසානායකගෙන් උසස්වීමක්

මෙම උසස් කිරීම නතර කරන ලෙස ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයින් යුක්තිය හමුවට පමුණූවා දඩ්වම් ලබා දෙන ලෙස වසර 16ක් පූරා අනවරත අරගලයක යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියේය. එම ලිපිය මෙහි කියවිය හැකිය:  ප්‍රගීත් ඝාතන නඩුවේ හමුදා සැකකරුවකුට දුන් උසස්වීම ඉල්ලා අස්කර ගන්නා ලෙස සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපති අනුර කුමාරට ලියයි!

ඉන්පසු විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු යැයි හදුන්වා ගත් පුද්ගලයකු විසින් ඇය මරා දමන බවට සන්ධ්‍යා එක්නැළිගෛාඩට තර්ජනය කළේය.

මෙම උසස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා කැබිනට් තීරණ දැනුම් දෙන පුවත්පත් සාකච්ඡාවෙහිදී ප්‍රශ්ණ කරන ලදුව කැබිනට් ප්‍රකාශන අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙසේ ප්‍රකාශ කළේය: “මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් තිදෙනාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් පරීක්ෂනයක් පවත්වනවා. ඒ කමිටුවේ තීරණ අනුව ආන්ඩුව තීරණයක් ගන්නවා.” (ලංකා ඊ නිවිස්)

එසේ නමුත් දැන් හොරාට කලින් කෙහෙල් කැණ වැට පැන තිබේ.

මෙම පරීක්ෂනය සඳහා පත් කරන සිටින යුද හමුදා මාණ්ඩලිික ප්‍රධානියාගේ ප්‍රධානියා වන යුද හමුදාපති ප්‍රකාශ කරන්නේ එම උසස් කිරීම නීත්‍යනුකූල බවයි. ඔහු දිවයින පුවත්පතට ප්‍රකාශ ක ර ඇත්තේ හමුදා නිලධාරියකුට නඩුවක් පැවරුව ද ඔහු නීතිය ඉදිරියේ වරදකරුවකු වන තුරු උසස්වීම් නොදී සිටිය නොහැකි බවයි.

 

මේ අනුව සිය උසස් නිලධාරියගේ තීරණයට පිටින් යෑමට හමුදා මාණ්ඩලික ප්‍රධානියාට නොහැකිවනු ඇත. අමාත්‍ය නලින්ද ජයතිස්සගේ කමිටුව තවත් ප්‍රෝඩාවක් බවට හමුදාපති විසින්ම පත් කර තිබේ.

යුද හමුදාවෙහි උසස් වීම් පාලනය වන්නේ ද ආයතන සංග්‍රහය යටතේය. ඒ අනුව අධිකරණ හමුවේ චෝදනා ලබන නිලධාරියකුගේ වැඩ තහනම් කළ යුතුය. නඩුවෙන් වැරදිකරු හෝ නිවැරදිකරුවීමෙන් පසුව පමණක් ඉදිරි පියවර ගත යුතුය.

දැන් හමුදාපතිට අනුව යුද හමුදාවට තියෙන්නේ වෙනම නීතියකි.

එනමුත් 2010 වසරෙහි දී ජෙනරල් සරත් පොන්සේකා අනීතිකව සිරගත කිරීමෙන් පසු ජෙනරල්වරු 09 දෙනෙකුගේ වැඩ තහනම් කළේ කිසිදු පරීක්ෂනයක් නොමැතිව බව හමුදාපතිවරයාගේ දැන ගැනීම පිණිස ලියා තැබිය යුතුය. පසුව හමුදාපති වූ ජෙනරල් මහේශ් සේනානායකද එලෙස වැඩ තහනමට ලක් වූ නිලධාරියෙකි.

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවෙහි චූදිතයින්ට ජනාධිපතිවරයා උසස්වීම් පිරිනමන විට සන්ධ්‍යා එක්නැළිගොඩට ලැබෙන්නේ මරණ තර්ජනය.

ජනවාරිය මාධ්‍ය මර්දනයෙන් කළු වූයේ අතීතයේ පමණක් නොවේ. ජාතික ජන බලවේගය යටතේද එම එලෙසම සිදුවෙයි.

සුනන්ද දේශප්‍රිය

Archive

Latest news

Related news