Sunday, December 28, 2025

කොටි ගෝනි බිල්ලකෙුගේ කතාව (02) – සුනන්ද දේශප්‍රිය

අවසානයේ දී කගුස්තාන් සිය චරිතාපදානයෙහි සටහන් කරන පරිදි තීරණයක් ගත්තේය.  පොට්ටු අම්මාන්ගේ බුද්ධි අංශය එල්ටීටීඊය තුල සිටි ඉන්දීය රෝ  බුද්ධි ජාලය බිඳ දමා ඊට සම්බන්ධ ඔත්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. කගුස්තාන් පළමුවෙන් එල්ටීටීඊ අත්අඩංගුවෙහි සිටි නාවික හමුදා කමාන්ඩර් අජිත් බෝයගොඩ හමුවීමට සිර මැදිරි සංකිර්ණයට ගියේය. ශ්‍රී ලංකා නවික හමුදාව ගැන තීරණාත්මක තොරතුරු අජිත් බෝයගොඩ විසින් කගුස්තාන්ට ලබා දී තිබුණි. එබැවින් ඔහුට තොරතුරු ලබා ගැනීමේ මුවාවෙන් සිරමැදිරි සංකීර්ණයට යාමට ඒමට අවසර තිබුණි. කගුස්තාන් එහි ගියේ  එල්ටීටිඊය තුල රෝ ඔත්තු සේවා ජාලයේ සිය සම්බන්ධතාවය වූ ශ්‍රීනිවාසන් හමුවීමටය. තමා අත්අඩංගුවෙහි සිටින බව කෙසේ හෝ ඉන්දියාවට දන්වන්නැයි ඔහු කගුස්තාන්ගෙන් ඉල්ලා සිටියේය.

සමාව වෙනුවට රජයේ හමුදාට රිංගවීම

ඒ වෙනුවට කගුස්තාන් කළේ රෝ බුද්ධී අංශ ජාලය ගැනත් තමා ඊට හසු කර ගත් අන්දමත් ඔහුගේ එල්ටීටීඊ බුද්ධි ප්‍රධානියා වූ ශශිකුමාර් මාස්ටර්ට දැනුම් දීමයි. කගුස්තාන් සිය  පෙම්වතිය වූ නලා ද ඇතුළු කතාව මුල සිට කියා සමාව දෙන භජනය කළේය. තමාට තීරණයක් දිය නොහැකි බව කී ශශිකුමාර් මාස්ටර්, ඔහුගේ ප්‍රධානියාබ වූ තිනේශ් මාස්ටර් නම්  වෙත කගුස්තාන් ගෙන ගියේය.

එතැන ප්‍රභාකරන්ගේ උපදේශකයා ද විය. ඕනෑම තීරණයකට සූදානම් වන ලෙස කියූ තිනේශ් මාස්ටර් කගුස්තාන්ගේ දෑස් බැඳ රඳවා තබන ලදී. දෙදිනක් ගත වූ තැන පැමිණි තිනේශ් මාස්ටර් කීවේ තමා ප්‍රභාකරන් සමඟ සාකච්ඡා කළ බවත් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීම වෙනුවට වෙනත් තීරණයකට පැමිණි බවත්ය. එම තීරණය නම් කගුස්තාන් ශ්‍රී ලංකා හමුදාවට බාර වී එල්ටීටීඊ බුද්ධි සේවයට සේවය කිරීමයි. ඊට පෙර ඔහු ස්වයං ඝාතක කලු කොටි හමුදාවට බැදීමේ දිවුරුම දිය යුතු විය.

කුගස්තාන්තහනම් පෙම් සබඳතාවක් ඇති කර ගෙන තිබුණි.  නාවික හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියකු වූ ඔහු එල්ටීටීඊ පණිවිඩ හුවමාරු රහස් කේතයන් මෙන්ම බොහෝ එහි යුද්ධ නායකයින්ගේ නිවෙස් පවා දැන සිටියේය. එවැනි තරුණයකු ශ්‍රී ලංකා යුද හමුදාව තුළට ඔත්තුකරුවකු ලෙස යැවීමට ප්‍රභාකරන්  තීරණය කළේය යන්න පිළිගැනීමට දුෂ්කරය. ප්‍රභාකරන් වරදට සමාව දුන් අයකු නොවේ.  ඊටත් වඩා එය අනතුරුදායක තියුණු මුවාතක් සහිත දෙපැත්ත කැපෙන කඩුවකි. ඔහු එවැනි අවදානමක් ගත්තේ නම් එය මහත් විපතක් බව පසුව අවබෝධ වන්නට ඇත.

බාබු අනුකරණය

මේ වන විටත් ජනාධිපති  ප්‍රේමදාස සමඟ ඇසුරක් සදා ගෙන සිටි බාබු නම් තරුණයා 1991 මැයි දිනය දා ස්වයං ඝාතනයක් මගින් ජනාධිපති ඇතුළු ගණනාවක්ම ඝාතනය කර තිබුණි. බාබු අවස්ථාව එන තුරු සුචරිතය අසල වෙළදාමක් කර ගෙන ගියේය. බාබු මෙහෙය වූයේ ජෙනන් මාස්ටර් විසින් බවත් වසර හතක්ම ඔහු නිහඩව සිට අවසානයේ දී සිය නියෝගය ක්‍රියාත්මක කළ බවත් තිනේශ් මාස්ටර් කීවේය. ‘අපේ නියෝගය ලැබුණූ පසු කළ යුත්ත කිරීමට ඔබ සූදානම් වෙන්න ඕන’ යැයි අවසාන නියෝගය විය. ඒ කුගස්තාන් පාලනය කිරීමේ ඇපකරුවන් ලෙස ඔහුගේ පවුලේ සියලු දෙනා තබා ගන්නා බවට අනතුරු හැඟවීමක් ද සමඟය. ඔවුන් ඒ වන විට ජීවත් වූයේ එල්ටීටී්‍ය පාලනය කළ යාපනයේ තෙල්ලිපලෙයිහිය.

රජයේ ආයතන හෝ හමුදාව තුළට රිංගා ස්වයං ඝාතනයක් කර ගත් හෝ ඉහළ පෙළේ එල්ටීටීඊ ඔත්තුකරුවකු ලෙස සිටි කිසිවකු ගැන යුද වාර්තාවන්හි සඳහන් නොවේ. කුගස්තාන් එවැනි පළමුවැනියා විය යුතුය.

අවසානයේ දී කගුස්තාන් සුදු කොඩියක් ඔසවා ගෙන ගොස් යාපනයේ පලාලි යුද හමුදා කඳවුරට බාර විය. ඔහුගේ වචනයෙන් කියන්නේ නම් අනතුරුව ඔහු එල්ටීටීඊය පරාජය කිරීම අරමුණූ කරගත්  යුද හමුදාවට සේවය කරන ‘ගෝනි බිල්ලකු’ බවට පත් විය.

එල්ටීටීඊයෙහි දී කගුස්තාන් ළමා සොල්දාදුවකු ලෙස අනේක විධ දුෂ්කරතාවයන්ට පත් විය. ශ්‍රී ලංකා හමුදාවට බාර වීමෙන් පසු ඔහු දැරිය නොහැකි මානසික ආතතියකට ලක් විය. ‘ඔබට ඔබේ කැමැත්ත අනුව කටයුතු කළ හැකිය. නමුත් එම කැමැත්ත තීරණය කරන්නේ බාහිර සාධක විසිනි’ යන කියමන කගුස්තාන්ගේ මිලිටරි ජිවිතය පුරාම දිව යන බව මෙම චරිතාපදානයෙන් පෙනේ.

හමුදාවේ අඩත්තෙට්ටම් මැද

යුද හමුදාවට බාර වීමෙන් පසු කුගස්තාන් දින ගණනාවක් පුරා වධහිංසාවන්ටද ප්‍රශ්ණ කිරීම්වලටද ලක් විය. ඒ වන විටත් හමුදා අත්අඩංගුවට පත්ව තොරතුරුකරුවකු බවට පත්ව සිටි කෙනඩි නම් කළු කොටි සාමාජිකයා පුහුණු කරන ලද්දේ තමා විසින් බව සනාථ කිරීම කුගස්තාන් කෙරෙහි විශ්වාසයක් ඇති කිරීමට හේතු විය.

පලාලි කඳවුරෙහි යුද හමුදා පොලිස් සිර මැදිරියක රඳවා සිටි කුගස්තාන් එහි  බුද්ධි සේවා නිලධාරියා වූ මේජර් නිරෝශන හේරත් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු  යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානියා  වූ මේජර් ජෙනරාල් ශ්‍රී ලාල් වීරසූරිය හමුවට පත් කරන ලදී. නිරෝශන හේරත්ගේ බිරිද සහ කුගස්තාන්ගේ නෑනා රුසියාවෙහි වෛද්‍ය විද්‍යාව හදාරා තිබුණේ එකටය. අපේ ලෝකය කුඩාය.

තිනේශ් මාස්ටර් ශ්‍රී ලංකා යුද හමුදාව තුලට රිංගා කළ යුතු දේ සහ කළ යුතු සැටි ගැන කුගස්තාන්ට දීර්ඝ දේශණයක් දී තිබුණි. කුගස්තාන් දැන සිටි රජයේ පාලන ප්‍රදේශ සහ වරාය වැනි ස්ථානයන්හි සේවය කළ එල්ටීටිඊ තොරතුරුකරුවන් පාවා දී විශ්වාසය ගොඩ නඟා ගන්නා ලෙස ද තිනේශ් මාස්ටර් කීවේය. තවද කුගස්තාන් ද්‍රෝහියකු ලෙස රජයේ හමුදාවට එක් වී ඇති බව එල්ටීටීඊ මාධ්‍ය ප්‍රචාරය කළේය. එමෙන්ම එල්ටීටීඊය සැලසුම් කර ඇති ප්‍රහාරයන් ගණනාවක් හමුදාවට හෙළි කරන ලෙසද ඔහුට උපදෙස් දෙන ලදී.

රවිරුස මෙහෙයුමට දායක වීම

කුගස්තාන් සඳහන් කරන්නේ තමා සතු වූ එල්ටීටීඊය පිළිබඳ දැනුම නිසා ක්‍රමයෙන් යුද හමුදා ප්‍රධානීන් ඔහු විශ්වාස කරන්නට පටන් ගත් බවයි. ඒ කොතෙක්ද යත් එකකට බ්‍රිගේඩියර්වරයකු වූ ජානක පෙරේරා  පවා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පැමිණියේය. කුගස්තාන් කියන්නේ ජෙනරාල් කොබ්බබෑකඩුව ඝාතනයෙන් පසු එල්ටීටීඊය ප්‍රධාන හමුදා ප්‍රතිවාදියා ලෙස ජානක පෙරේරා නම් කර ඇති බව ඔහුට කී බවයි. කුගස්තාන් ජානක පෙරේරාගේ පදිංචිය, බිරිඳ සහ දරුවන්ගේ විස්තර කට පාඩමින් කියා සිටියේය.  ජානක පෙරේරා ඔහුට යුද හමුදාවට බැදෙන ලෙස කියා සිටි අතර තවත් යෝජනාවක් වූයේ යුද හමුදා සෙබළියක විවාහ කර ගැනීමයි.

යුද හමුදාවට බැදී නිලයක් ලබා ගැනීමට කුගස්තාන් තුළ වූ කමැත්ත හමුදා බුද්ධි අංශයේ කර්නල් රිස්වි සාකි විසින් බිඳ දමන ලදී. සාකි ඔහුට කීවේ, ‘හමුදාව තුල පළමුවෙන්ම සැක කරන්නේ ඔහු වැනි මුස්ලිම් අය බවත් දෙමළ ජාතිකයකු බව කුගස්තාන් හමුදාවෙහි ප්‍රීතිමත් ජීවිතයක් නොලැබෙනු ඇති’ බවත්ය. ඒ වෙනුවට පිටරටකට යන ලෙස රිස්වි සාකි ඔහුට උපදෙස් දුන්නේය.

අවසානයක් නැති පාවා දීම්

කුගස්තාන් රිස්වි සාකිට තමාට  බුද්ධි තොරතුරු ලබා දුන් ත්‍රිකුණාමල වරායේ දෙමළ ජාතික කරණවෑමියා, කොළඹ නාවික හමුදා ඉංජිනේරු ශිෂ්‍යයකු සහ තවත් අයගේ විස්තර ලබා දුන්නේය. තවද එල්ටීටීඊ මාධ්‍ය ඒජන්තවරයකු වූ බීබීසී දෙමළ සේවයේ කොළඹ වාර්තාකරු සහ කොළඹ දෙමළ පුවත්පතක ප්‍රධාන කතුවරයාද හෙළි කළේය. කුගස්තාන් සඳහන් කරන පරිදි තමා තොරතුරු ලබා ගත් ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරිකයකුව සිට පසුව දි අයිලන්ඩ් පුවත්පතෙහි ආරක්ෂක තොරතුරු වාර්තාකරු බවට පත් සහ බ්‍රිගේඩියර් තෙන්නකොන් ඇසුරු කළ මාධ්‍යවේදියකු ද හෙළි කළේය. පෙනෙන විදිහට ඔහු සඳහන් කරන්නේ 2004 වසරෙහි ටැමිල් නෙට් කතුවරයාව සිටියදී ඝාතනය කරන ලද සිවරාම් ගැනය.

මේ වන විට කුගස්තාන් එල්ටීටීඊය පරාජය කිරීම අරමුණූ කර ගත් තොරතුරුකරුවකු බවට පත්ව සිටියේය. තමාගේ ළමා විය සොරා ගැනීම ගැනත් එල්ටීටීඊයේ අමානුශික පිළිවෙත් ගැනත් ඔහු වෛරයෙන් පසු විය.

1996 වසරෙහි යාපනය අල්ලා ගැනීමේ යුද හමුදා මෙහෙයුම අතරතුර එල්ටීටීඊ උපාය උපක්‍රම මෙන්ම ඔවුන්ගේ කඳවුරු පිහිටි ස්ථාන යනාදිය පෙන්වා දෙමින් තමා මූලික වැඩ කොටසක් කළ බව ඔහු සඳහන් කරයි. ඒ කොතෙක්ද යත් ශ්‍රී ලංකා හමුදාවට යාපනය  යළි අල්ලා ගැනීමට ලැබුණේ තමා නිසා බව කුගස්තාන් සදහන් කරයි.

ඔහු යුද ටැංකියක නැගී යුද පෙරමුණට ගියේය. එල්ටීටීඊ කඳවුරු ඇති මානයන් පෙන්වීය. පලාලි කඳවුරෙහි සංඥා මැදිරිය සහ මෙහෙයුම් මැදිරිය අතර සිය තොරතුරු සම්බන්ධීකරණය කළේය. ඔහු එල්ටීටීඊ පණිවිඩ හුවමාරුවලට සවන් දී කේතයන් විසඳා ප්‍රභාකරන්ගේ යුද සැලසුම් හමුදා මෙහෙයුම් මැදිරියට ලබා දුන්නේය. වරක් ඔහු බ්‍රිගේඩියර් නීල් ඩයස් සමඟ යුද ටැංකියක ගමන් කරමින් එල්ටීටීඊ උපායන් විස්තර කළේය.

ගොනි බිල්ලන් බිලගත් 600ක්

රිවිරැස මෙහෙයුමට පෙර කුගස්තාන්ට පැවරී තිබූ කාරියක් වූයේ හමුදා පාලින ප්‍රදේශයන්ට රිංගා එන එල්ටීටීඊ කළු කොටි ඇතුලු අනෙක් සටන්කාමීන් අල්ලා දීමයි. ඔහු දිනකට 5-10 අතර පිරිසක් අල්ලා දිය යුතු විය. ඔහු විසින් අල්ලා දෙන ලද අනෙක් එල්ටීටීඊ සටන්කාමීන්ද එම කෝටාවම අල්ලා දිය යුතු විය. තමා යුද හමුදාවෙහි සැපෙන් ජීවත් වන සේ ජීවත් වීමට නම් සැකකාර පිරිස් අල්ලා දෙන ලෙස කුගස්තාන් ඔවුන් ඇන්දුවේය.

එම සංඛ්‍යා ලබා දීම දුෂ්කර වූ බැවින් තමන් ඇතුළු අනෙක් අය සාමාන්‍ය සිවිල් තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට හමුදාව යෙද වූ බව කුගස්තාන් කියන්නේ පශ්චාත්තාපයෙන් යුතුවය. එලෙස තමන්ගේ මෙහෙයවීමෙන් අල්ලා දෙන ලද 600-700 අතර පිරිසක් යුද හමුදාව විසින් ඝාතනය කළ බව ඔහු ප්‍රකාශ කරයි.

අරුමය වන්නේ මෙයයි. තමා ද හවුල් වී කරන ලද එකී අපරාධ සම්බන්ධයෙන්  ස්වකීය වගවීම ඔහු කිසි විටෙක බාර නොගැනීමයි. ඒ වෙනුවට කුගස්තාන් යුද අපරාධකරුවන් ලෙස ඔහු විසින් තොරතුරු ලබා දුන් යුද හමුදා ප්‍රධානීන් ගණනාවක ගේ නම් පමණක් පොත අවසානයේ සඳහන් කරයි.

හමුදාව යාපනය අල්ලා ගැනීමෙන් පසු කුගස්තාන්ගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා සහිතව කොලඹටත් එතැනින් කැනඩාවටත් යවන ලදි.

1995 ඔක්තෝබර් 17 වනදා අරම්භ වූ රිවිරුස මෙහෙයුමෙහි ප්‍රථම අදියර දෙසැම්බර් 02 දා අවසන් විය. අනතුරුව පැවති උත්සවයේ දී එවකට ආරක්ෂක ඇමති වූ අනුරුද්ධ රත්වත්තේ සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් දලුවත්ත කුගස්තාන්ට ස්තුති කළේය. ඔහු කැමැති රටකට යැවීමට පොරොන්දු විය.

ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ප්‍රධානී බී. රාමන්ගේ මැදිහත් විම නොවන්නට කුගස්තාන්ට රටින් පලා යාමට නොලැබෙන්ට ඉඩ තිබුණි. ඔහු කැනඩාවට ගොස් කැනඩාවේ බුද්ධි අංශ වෙත සිය තොරතුරු ලබා දුන්  ත්‍රිත්ව ඒජන්තවරයකු බවට පත් විය.

මෙම ලිපිය සම්මුති – විසම්මුති තීරු ලිපියය යටතේ පසුගිය අනිද්දා පුවත්පතෙහි මුල් වරට පළවිය.

 

Archive

Latest news

Related news